අසාත් සාලිගේ විමර්ශනයක් අවසන් : ඉදිරි ක්‍රියාමාර්ග සතියක් තුළ – නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන දෙකෙන් එක විමර්ශනයක් මේ වන විට අවසන්ව ඇතැයි ද, අනෙක් විමර්ශනය අවසන් අදියරේ පවතින්නේයැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (14) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
අසාත් සාලි මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ එල්.ටී.බී. දෙහිදෙනිය, ගාමිණී අමරසේකර සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැනුම් දුන්නේ පසුගිය අප්‍රේල් මාසයේ දී මාධ්‍ය සාකච්ඡාවක කළ ප්‍රකාශයක් ගැන විමර්ශන අවසන් වී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගය ගැන සතියක් ඇතුළත තීරණය කළ හැකි බව ද ඔහු කීවේය. ඊට අමතරව මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශනය අවසන් අදියරේ ඇති බවත්, තවත් සති දෙකකින් පමණ ඒ ගැන ද තීරණයක් ගත හැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නේය.
අප්‍රේල් මස මාධ්‍ය හමුවේදී අසාත් සාලි මහතා වෛරී ප්‍රකාශයක් හෝ ජාතීන් අතර අසමගියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර නැති බවත්, මාවනැල්ලේ සිදුවීමට ද ඔහුගේ සම්බන්ධයක් නැති බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා අධිකරණයට දැනුම් දුන්නේය.ඒ අනුව පෙත්සම යළි කැඳවීම ජුනි 28 දක්වා කල් තැබිණි.
2021 මාර්තු 16 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ අසාත් සාලි මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටී.
Previous articleවාහන ගෙන්වීමට එරෙහිව අපි ලබන සතියෙ නඩු දානවා : පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරන්නෙ වැරදි ප්‍රකාශ – ජාතික ජන බලවේගයේ නීතිඥයෝ !
Next articleඇප දීමේ තීන්දුව හෙට : එක් කටඋත්තරයක් නිසා රිමාන්ඩ් කිරීම අසාධාරණයි – ශානිගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට කියයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here