මාධ්‍ය සාකච්ඡාවේ කළ ප්‍රකාශයට අසාත් සාලිට නඩු

මාධ්‍ය සාකච්ඡාවකදී බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන අවසන් කර ඔහුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත යටතේ අධිචෝදනා ගොනු කර ඇති බවත් දිලීප පීරිස් මහතා කීවේය.
ඔහු මේ බව දැනුම් දුන්නේ රඳවා තබාගෙන සිටින හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා වෙනුවෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (28) කැඳවූ අවස්ථාවේදීය. ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ ඒ.එච්.එම්.ඩී නවාස් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ නඩුව කැඳවිණි.
සාලි මහතා සම්බන්ධයෙන් විමර්ශන දෙකක් පැවැත්වූ බවත්, මාධ්‍ය සාකච්ඡාවකදී සිදු කළැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන අවසන්වී ඇති බවත්, බුදුපිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බවත් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේය.
ඔහු අසනීප තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ සිටින බැවින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ නොහැකි බවත්, ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට යෝග්‍ය තත්ත්වයකට පැමිණි පසු ඊට ඉදිරිපත් කළ හැකි බවත් ඒ මහතා කිවේය.
ඒ අනුව පෙත්සම සලකා බැලීම ජූලි 29 වැනිදා තෙක් කල් තැබිණි.
අසාත් සාලි මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා, නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ නීතිඥ එන් එම් ෂයික් යන මහත්වරු පෙනී සිටියහ.
සාලි මහතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන දෙකෙන් එක විමර්ශනයක් අවසන්ව ඇතැයි ද, අනෙක් විමර්ශනය අවසන් අදියරේ පවතින්නේයැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉකුත් ජූනි 14 වැනිදා ද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. ඒ අසාත් සාලි මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම එදින එල්.ටී.බී. දෙහිදෙනිය, ගාමිණී අමරසේකර සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
එදිනද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශනය අවසන් අදියරේ ඇති බවත්, සති දෙකකින් පමණ ඒ ගැන ද තීරණයක් ගත හැකි බවත් ය.
2021 මාර්තු 16 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ අසාත් සාලි මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටී.
Previous articleසෞඛ්‍ය බලධාරීන්ට පිටින් හමුදාවෙන් කොවිඩ් එන්නත? ; දෙහිඅත්තකණ්ඩියේ කම්හලක 150කට ආසාත්මිකතා
Next articleපාස්කු චෝදනා එල්ලවූවන්ටත් වැටුප් වර්ධක? ; දේශපාලන පළිගැනීම් පොලිස් ලැයිස්තුවට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here