ඇමැති ලොහාන් ගැන විමර්ශනයක් කරන්න ; ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝග

අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී එහි රඳවා සිටින සිරකරුවන් පිරිසකට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන විමර්ශනයක් සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේය.
එමෙන්ම එලෙස තර්ජනයට ලක්වීයැයි කියන රැඳවූවන් පිරිස වෙනත් සුදුසු බන්ධනාගාරයකට මාරු කර ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ද නියෝග කළේය.
ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් එලෙස නියෝග කරනු ලැබුවේ තර්ජනයට ලක්වූ බව කියන රැඳවූවන් අට දෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.
ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව ගුණතිලක මහතා කරුණු දැක්වීය.
බන්ධනාගාර නීති හා රෙගුලාසි අනුව බන්ධනාගාර නිලධාරියෙකුට පවා ගිනි අවි සහිතව බන්ධනාගාරය ඇතුළුවීමට අවසර නැති බවත්, බන්ධනාගාරයට ගිනි අවි රැගෙන යෑමට අවශ්‍ය නම් ඊට අදාල පටිපාටිය අනුගමනය කළ යුතු බවත්, එවැනි නීතිමය පසුබිමක් තිබියදී වගඋත්තරකාර අමාත්‍යවරයා බන්ධනාගාරයට ඇතුළුවී පෙත්සම්කාර රැඳවූවන්ට ගිනි අවි පෙන්වා තර්ජනය කිරීම බරපතල වරදක් බවත් ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා පැවසීය.
පෙත්සම පෙබරවාරි 15 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
සැප්තැම්බර් 12 වැනිදා නීත්‍යනුකූල අවසරයකින් තොරව ගිනිඅවියක් රැගෙන අනුරාධපුර බන්ධනාගාරයට ගොස් රැඳවූවන් පිරිසකට මරණීය තර්ජනය කළ බවට එවකට බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට චෝදනා එල්ල විය. එම චෝදනාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට සහ ශ්‍රී ලංකා පොලීසියට පැමිණිලි ඉදිරිපත් වූ අතර මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ද ආරම්භ කර තිබිණි. චෝදනා එල්ලවීමෙන් පසු අමාත්‍යවරයා එම අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වූ අතර වෙනත් අමාත්‍යංශයක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියි.

සබැඳි පුවත් 

බන්ධනාගාර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්

ලොහාන් එක ඇමැතිකමකින් අස්වෙයි – අත්අඩංගුවට නොගන්නේ විශේෂ වරප්‍රසාදයක් නිසා ද?

සිරකරුවන් දණගැස්වූ බවට චෝදනා ; බන්ධනාගාර රාජ්‍ය ඇමැති ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානය ඉල්ලයි

MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com

 

Previous articleඇඟේ හයියට මේවා කරන්න බෑ – අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා
Next articleආණ්ඩුවේ බළල් අතක් නීතිපති දෙපාර්තමේන්තුවේ –  මුජිබර් රහුමාන්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here