ආණ්ඩුවේ බළල් අතක් නීතිපති දෙපාර්තමේන්තුවේ –  මුජිබර් රහුමාන්

(කෞෂල්‍යා නන්දසේන)
නව නීතිපති පත්වීමෙන් පසු දේශපාලන නායකයින්ගේ නඩු ඉල්ලා අස්කර ගෙන ඇති බවත්, නීතිපති දෙපාර්තමේන්තුව තුළ ආණ්ඩුවේ බළල් හස්තයක් ක්‍රියාත්මක වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
වතමන් අගවිනිසුරු එවක නීතිපති ව සිටියදී මේ නඩු සියල්ල පවරා ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව තුළ සාක්ෂි නොමැතිව නඩු පැවරිය නොහැකි බවත් එසේ බොරු නඩු පවරා ඇත්නම් ඒ නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගැනීමට ආණ්ඩුවට වගකීමක් ඇති බවත් ඒ මහතා පැවසීය.
මුජිබර් රහුමාන් මහතා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) අදහස් දක්වමිනි.
බැසිල් රාජපක්ෂ මහතාගේ  කෝටි තුන හමාරක ජීඅයි බට සිද්ධියේ නඩුවත්,පාවෙන අවි ගබඩාව සම්බන්ධ නඩුවත් ඉල්ලා අස් කරගෙන ඇති බව කී මන්ත්‍රීවරයා මල්වාන නඩුව ඉල්ලා අස්කර ගැනීමට යාමේදී පැනඩෝරා පත්‍රිකා එළියට ඒම නිසා එම නඩුව ඉල්ලා අස්කර ගැනීම පමා කර ඇති බවත් ප්‍රකාශ කළේය.
පසුගිය අවුරුදු එකහමාර තුළම ජනාධිපති බලයට පැමිණ කළ එකම දෙය තමන්ගේ හිතවත් දේශපාලන නායකයින්ගේ  නඩු ඉල්ලා අස්කර ගැනීම බව ද, ඔවුන් නිර්දෝෂී  නම් අධිකරණය ඉදිරියේ එය ඔප්පු කර ඔවුන් නිදහස් නොකරන්නේ මන්දැයි ප්‍රකාශ කරන ලෙස ද මුජිබර් රහුමාන් මහතා කීවේය.
නීතිපති දෙපාර්තමේන්තුව නඩත්තු වීමට බදු ගෙවන්නේ මේ රටේ පුරවැසියන් බවත්, ඊට මුදල් යොදවන්නේ දූෂිත දේශපාලනඥයන් නොවන බවත් මතක තබා ගත යුතු බව මුජිබර් රහුමාන් මහතා තව දුරටත් අවධාරණය කළේය. මේ රටේ නීතියේ ආධිපත්‍ය පිළිබඳ පිළිබඳව ජනතාවට ගැටලු මතුවී තිබෙන බවත්, මේ වන විට ජාත්‍යන්තරව අපේ නඩු ගැන නීතිය ගැන අධිකරණ පද්ධතිය ගැන විශාල සාකච්ඡාවක් පවතින බවත් ඔහු කීවේය.
 මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්. (වීඩියෝව උපුටා ගත්තේ නිව්ස් සෙන්ටර් යූටියුබ් නාලිකාවෙනි.)

සබැඳි පුවත්

නීතිපති අධිචෝදනා ඉවත් කර ගැනීම : අධිකරණයට මෙතැනදි බරපතළ වගකීමක් තියෙනවා – ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා

MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com
Previous articleඇමැති ලොහාන් ගැන විමර්ශනයක් කරන්න ; ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝග
Next articleසිරිල් ගාමිණී පියතුමා සීඅයිඩියට නොයයි ; අයිතිවාසිකම් කඩවීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here