ලොහාන් එක ඇමැතිකමකින් අස්වෙයි – අත්අඩංගුවට නොගන්නේ විශේෂ වරප්‍රසාදයක් නිසා ද?

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර තුළදී තමන් අතින් සිදුවූ සිදුවීම්වල වගකීම බාරගනිමින් ලොහාන් රත්වත්ත මහතා ඔහු දැරූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් වී ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.
අද (15) පෙරවරුවේ ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දුන් බවත්, ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම පිළිගත් බවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
වැලිකඩ සහ අනුරාධපුරය
පසුගිය 12 වැනිදා නීතිවිරෝධී ලෙස වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර දෙකට ඇතුළු වී ඇති ලොහාන් රත්වත්ත මහතා, වැලිකඩ බන්ධනාගාරයේ පෝරකය අසලට සිය මිතුරන් සමග ගොස් ඇත්තේ ද කිසිදු පූර්ව අවසරයකින් තොරව ය. එසේම අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් දෙදෙනෙකු දණ ගස්වා තර්ජනය කර ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජී.ජී.පොන්නම්බලම් මහතා අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවීම තහවුරු කර සිටී. මේ අතර දෙමළ ජාතික සන්ධානය අද (15) උදෑසන ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ලොහාන් රත්වත්ත ඇමැති ධුරයෙන් ඉවත් කොට, වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.
එක්සත් ජාතීන්ගෙන් ප්‍රකාශයක්
මේ අතර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකරණ කාර්යාලයේ ප්‍රධානී හැනා සිංගර් මහත්මිය පවසා තිබුණේ නෙල්සන් මැන්ඩෙලා රීතිවලට අනුව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බවයි. සිරගතව සිටිනි සියලුමදෙනාගේ අයිතිවාසිකම් තහවුරු කිරීම මෙන්ම සිරකරුවන්ට අයුතු ලෙස සැලකීම හෙළා දැකීමේ හැකියාව වැඩි කිරීමට ද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරන්තරයෙන් කටයුතු කරන බව ඇය සඳහන් කරයි.
කෙමසාරිස් ජනරාල් කියන දේ
කෙසේ වෙතත් ලොහාන් රත්වත්ත මීට අදාළ වගකීම බාරගෙන ඇමැති ධුරයෙන් ඉවත් වන බව සඳහන් කර තිබුණද, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඊයේ (14) මාධ්‍යවලට සඳහන් කර තිබුණේ මෙවැනි සිදුවීමක් එම දිනයේදී වාර්තා වී නැති බවයි. එසේම විෂය භාර ඇමැතිවරයාට අවශ්‍ය ඔ්නෑම අවස්ථාවක සිරකරුවන් මුණගැසීමේ හැකියාව ඇති බව ද ඔහු සඳහන් කර තිබිණි.
කොමසාරිස් ජනරාල්වරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇති ගැටළු පිළිබඳ විමසීමට ඔහු සම්බන්ධ කර ගැනීමට ඊයේ පස්වරුවේ සහ අද උදෑසන අවස්ථා ගණනාවකදී උත්සාහ කළද, ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.
විෂය භාර ඇමැතිට එහෙම බලයක් නෑ
මේ සිදුවීම පිළිබඳව අප කළ විමසීමකදී ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයකු සඳහන් කළේ අවශ්‍ය ඔ්නෑම අවස්ථාවක විෂය භාර ඇමැතිවරයාට සිරකරුවන් මුණැගසීමට කිසිදු නෛතික බලයක් නැති බවයි. බන්ධනාගාර ආඥා පනතේ 37(1) වගන්තියට අනුව එම බලය ඇත්තේ බන්ධනාගාර විචික්ෂණ මණ්ඩලයේ සාමාජිකයන්ටත්, මහාධිකරණ විනිසුරු ධුරයේ සිට ඉහළ විනිසුරුවරුන්ටත් පමණක් බව ඔහු සඳහන් පැවසීය.
චෝදනා රැසක් – අත්අඩංගුවට ගත යුතුයි !
එසේම විෂය භාර ඇමැතිවරයාට හෝ කිසිවකුට හෝ ගිනි අවි රැගෙන බන්ධනාගාරය තුළට පිවිසීමට කිසිදු හැකියාවක් නැති බවත්, එය මුළුමනින්ම නීතිවිරෝධී බවත් පැවසූ අදාළ කොමසාරිස් ජනරාල්වරයා, එසේම පස්වරු 5.30න් පසු මිතුරන් සමග එසේ යෑමට අවසරය හෝ අවස්ථාව ලබාදුන් පාර්ශ්වවල සිට සියල්ලන් මීට අදාළ වගකිවයුත්තන් බව ද සඳහන් කළේය. එසේ නීතිවිරෝධී ලෙස ගොස් සිරකරුවකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීම, සිරකරුවන් දණගැස්වීම වැනි කරුණු සමස්ත රට ම ලැජ්ජාවට පත්කරන්නක් බවත්, ඊට වගකිවයුතු සියලු පුද්ගලයන් අනිවාර්යෙන් අත්අඩංගුවට ගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
පෝරකය අසලට ගොස් එය නැරඹීමට බලයලත් නිලධාරියකුට අවශ්‍ය නම්, ඒ සඳහා විධිමත් අවසරයක් ලබාගත යුතු බවත්, එම ස්ථානයට ඇතුළු වීම පවා සීමා කර ඇති බවත් සඳහන් කළ අදාළ හිටපු කොමසාරිස් ජනරාල්වරයා, මේ සිද්ධියට අදාළ පිරිස් එය විහිළුවකට ගෙන ඇති බව ද පැවසීය. තමන් මේ වන විට බන්ධනාගාර ක්ෂේත්‍රයෙන් බාහිර ව, වෙනත් රැකියාවක නිරත වී සිටින නිසා නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි අදාළ හිටපු කොමසාරිස් ජනරාල්වරයා, බන්ධනාගාර නීති උල්ලංඝනය කිරීම, වධහිංසාව, ගිනි අවි පෙන්වා තර්ජනය කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ අදාළ වගකිවයුත්තන් කඩිනමින් අත්අඩංගුවට ගත යුතු බව ද පෙන්වා දුන්නේය.
ජනාධිපතිට වෙන්නෙ මොකක්ද?
මේ සිදුවීමට අදාළ ව නීතිය ක්‍රියාත්මක නොවුණහොත්, මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී මෙන්ම ලබන 21 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඇමතීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී ද ගැටළු ඇති වනු ඇතැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ඔහු ඉවත් වී ඇත්තේ බන්ධනාගාර විෂයට අදාල රාජ්‍ය අමාත්‍යංශයෙන් බවත්, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කරන බවත් රජයේ ආරංචි මාර්ග කියයි.
සබැඳි පුවත්
සිරකරුවන් දණගැස්වූ බවට චෝදනා ; බන්ධනාගාර රාජ්‍ය ඇමැති ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානය ඉල්ලයි
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com
Previous articleකොවිඩ් ආසාදිත සංඛ්‍යාව ; දිස්ත්‍රික් පහක දත්ත අතර වෙනස 90,000 පනී
Next articleබන්ධනාගාර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here