සිරකරුවන් දණගැස්වූ බවට චෝදනා ; බන්ධනාගාර රාජ්‍ය ඇමැති ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානය ඉල්ලයි

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් මරා දමන බවට තර්ජනය කළැයි චෝදනා එල්ලවන බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා වහාම ඇමැති ධුරයෙන් ඉවත් කර කඩිනම් විමර්ශනයක් පවත්වා ඔහු අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලයි.
දෙමළ ජාතික සන්ධානය මේ බව ප්‍රකාශ කරනුයේ ට්විටර් පණිවුඩයක් මඟිනි.
අදාල රාජ්‍ය අමාත්‍යවරයා බීමතින් අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන් පිරිසක් දණගස්වා ඔවුන්ගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කළ බවට ඊයේ (14) සහ අද (15) ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.
අවි ආයුධ සහිතව කිසිම පිටස්තරයකුට බන්ධනාගාරයට ඇතුළු විය නොහැකි බවත්, සිරකරුවන්ට කිසිම හිංසාවක් කිරීමට හෝ තර්ජනය කිරීමට කිසිවකුට අයිතියක් නැති බවත්, දඬුවමක් දිය හැක්කේ අධිකරණයක් මඟින් පවත්වන සාධාරණ නඩු විභාගයකින් පමණක් බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් පැවසීය. රාජ්‍ය අමාත්‍යවරයා ජනමාධ්‍ය වාර්තා කළ ආකාරයට හැසිරී ඇත්නම් එය බරපතල තත්ත්වයක් බවත්, වහාම ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු කීවේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාද ට්විටර් පණිවිඩයක් සටහන් කර ඇති අතර එහි අර්ථය පහද පරිදිවේ.
‘සැප්තැම්බර් 12 වෙනිදා සවස බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් දෙමළ දේශපාලන සිරකරුවන් කැඳවා ඔවුන්ගෙන් දෙදෙනෙකු ඔහු ඉදිරියේ දණ ගැස්වූ බව දෙමළ ජාතික ජනතා පෙරමුණට  (TNPF) තහවුරු කළ හැකිය.’
‘රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ පෞද්ගලික ගිනිඅවිය ඔවුන් වෙත යොමු කර ඇති අතර  එම ස්ථානයේදීම ඔවුන් මරා දමන බවට තර්ජනය කර තිබේ.’
‘රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම භයානක හැසිරීම දෙමළ ජාතික ජනතා පෙරමුණ  (TNPF) හෙළා දකී.   ඉතාමත් දරුණු නීතිවලින් එකක් වන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම ගැන දෙමළ දේශපාලන සිරකරුවන් දැනටමත් කම්පාවට පත් වී ඇත.’
‘වඩාත් නරකම දෙය නම් ඔවුන් වසර ගණනාවක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර සමහරුන්ට දශකයකටත් වැඩි කාලයක් තිස්සේ   සාක්ෂි නොමැතිව සහ අධිචෝදනා ගොනු නොකර තබා ගැනීමයි.’
‘දෙමළ ජාතික ජනතා පෙරමුණ  (TNPF) ඉල්ලා සිටින්නේ ඇමතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ඔහු  සියලු තනතුරුවලින් ඉවත් කරන ලෙසත්ය.’
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com
Previous articleසාලිට එරෙහිව බුදු පිළිම සිද්ධියට සාක්කි නෑ – සංස්කරණය කළ හඬපටියකින් සැකකරු හිර කරලා !
Next articleකොවිඩ් ආසාදිත සංඛ්‍යාව ; දිස්ත්‍රික් පහක දත්ත අතර වෙනස 90,000 පනී

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here