නැති කරගත් වටිනාම අයිතිය !

(ශලනි වත්සලා)
අවුරුදුවලින් කියන්නේ නම් මිනිස් ජීවිත කාලයක්ම අප සර්වජන ඡන්ද බලයෙන් පොහොසත් ජාතියක්ය. ඒ කියන්නේ 1931 සිට අපට සර්වජන ඡන්ද බලය හිමිය. ඉතින් අපි අවුරුදු හතර-පහකට සැරයක් ඒ බලය පාවිච්චි කරන්නෙමු. ඒ බලයට ඔය කොයි-කවුරුත් බයය. ලොකු සද්ද දාගෙන ඉන්න වීඅයිපී මහත්තුරුන් ඒ බලය ළඟ දෙකට නැමෙන්නේය. හතරට නැමී බුලත් දෙන්නේය. ඉතින් අපි කොයිතරම් පොහොසත්ද?
අප හම්බ කරගෙන කෑ යුතුය. අත හෙලෙව්වොත් කට හෙලවෙනවා කියන්නේ ඒකටය. අත හොලව-හොලවා ඉන්න හුඟදෙනෙක් හරියට කට හොල්ලන්නේ නැත. ඒ කියන්නේ දාඩිය මහන්සියෙන් වැඩ කරන ජනතාව අවශ්‍ය පරිදි කතා නොකරනවා කියන එකය. අවශ්‍ය වෙලාවට ඔවුන්ගේ කට හෙල්ලුනොත් ඔය හැම වීඅයිපී මහත්තයාම ඒකට බයය. ඒත් ඔවුන් සියල්ල ඉවසන්නේය. පටි තද කරගන්න කියපු ගමන් තද කරගන්නේය. බුරුල් කරගන්න කියපු ගමන් හරි ගාණට බුරුල් කරගන්නේය. වැඩවසම් යුගය අවසන් බවට පුරාජේරු කියෙව්වාට මේවාත් හොඳම වැඩවසම් ලක්ෂණය.
බීජ ටික වෙලාවට නොලැබුණාම ඒකට වගකිවයුත්තේ කරුමයය. පොහොර ටික වෙලාවට නොලැබෙන එකට වගකිවයුත්තේ රාහු-කේතු අපලය. බඩු මිල ඉහළ යන එකට කියන්නේ සෙනසුරු දසාව කියලාය.
මේ සියල්ල අස්සේ ජීවිතේ ණය ගෙවාගන්න බැරිව ගිය සතියේත් ගොවියෙක් වහ බිව්වේය. ජීවිතේ ණය කිව්වේ හිතාමතාමය. අපේ අත් වැඩ කළාට, කට හරියට වැඩ නොකරන නිසාය, මේ තරම් ණය වී ඇත්තේ. ඒ කියන්නේ මේ හුඟක් ජීවිත ණයක් බවට පත්කර ගෙන තිබේ.
ජීවත්වීම අයිතියක් කියන එක අපට අමතක වී තිබේ. රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිව්වාට ඒ ව්‍යවස්ථාවේවත් අපට ජීවත්වීමේ අයිතිය ලබා දී නැත. දණ්ඩ නීති සංග්‍රහය යටතේ ජීවිතයකට හානි කිරීම බරපතල අපරාධයකි. ඒක කොයිතරම් විහිළුවක්ද කියා තේරෙන්නේ සමහර ජීවිත හානි කරන අයට එක විදිහකටත්, තවත් සමහර ජීවිත හානි කරන අයට වෙනත් විදිහකටත් සලකන නිසාය. සමහරුන්ට අනුව ඒවාත් තීරණය වන්නේ පින්-පව් අනුවය. මිනීමරුවන්ට ජනාධිපති සමාව හිමිවන්නේ පිනටය. මිනීමැරුවා කියා හොඳටම ඔප්පු වී තිබෙන අයට එරෙහි නඩු ප්‍රමාදවන්නේ අපේ කරුමයටය.
මේ සියල්ල අස්සේ ජීවිතයේ ප්‍රශ්න වැඩි වන විට, ජීවන වියදම දරාගන්න බැරි වන විට කොහෝ හෝ දේවාලයක කපුවෙකුගේ පිහිටක් හොයන්නේය. ඒ කපුවා සර්ව බලධාරී වගේය. ඕනෑම එකක් කරන්නට හැකිය. ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා කිව්වේ 78 ව්‍යවස්ථාවෙන් කාන්තාවක පිරිමියකු කිරීම හැර අන් සියල්ල කළ හැකි බවය. ඒත් මේ කපුවන් ඒකත් කරන්නට බැරි නැත.
වීඅයිපී මහත්තුරුත් මේ දේවාල මේනියාවේ ගිලී ඇත. බහුතර ජනතාවත් ඒ මේනියාවේ ගිලී ඇත. ඉතින් අර කියපු සර්වජන ඡන්ද  බලය තියාගෙන අහවල් කෙංගෙඩියක් කරන්නද?
ඔය ඡන්ද බලය නැති කර දැමුවහොත් මෙසේ සිදු විය හැකිය. ආණ්ඩුව පාලනය කරන්නා රජෙකු බවට පත් වේ. ඈත කාලයේ තිබුණේ එවැනි රජ කාලයක් බව වාර්තා පොත් වල සඳහන් වේ. පොත් වල සඳහන් වන බවක් කිව්වේ එහෙම නොකිව්වොත් ඈත කාල-මෑත කාල පැටළෙන්නට ඉඩ ඇති නිසාය. දැන් ඉතින් අර රජා ඔටුන්න පැළඳගෙන සිට තමන්ගේ ඇවෑමෙන් පුත්‍රයාට රජකම භාරදෙන්නේය. කිසිදු ගැටළුවක් නැත. කාටවත් රජා වෙනස් කිරීමේ බලයක් නැත. රජා කවුද යන්න තීරණය කරන්නේ රජාමය.
හරියට දැන් වගේමය. අපට සර්වජන ඡන්ද බලයක් තියෙනවා කියා වහසි බස් දෙඩුවාට අපට අවශ්‍ය කෙනාට මන්ත්‍රීකමක් අරගෙන දෙන්නට බැරිය. පක්ෂයේ නායකයන් අපේක්ෂකයන් ලෙස තෝරා දෙන කෙනාට ඡන්දය දිය යුතුය. ඒ ඡන්දය තීරණය වන්නට බලපාන්නේ බොහෝ විට දවස් කීපයක් ඇතුළත සිද්ධ වන දේය. බ්‍රිගේඩියර් කෙනෙකුගේ නාටකයක් ඊට හොඳටම සෑහේ. නැතහොත් ටකරන් බෙදිල්ලක් වුවද කම් නැත. විද්වත් මහත්තුරුන් මේවා ගැන කියන්නේ දේශපාලන සාක්ෂරතාවක් නැති බවකි. එසේ නම් ඒ කියන දේශපාලන සාක්ෂරතාව යනු කුමක්ද, එය ජනතාව වෙත ළඟා කරවන්නේ කෙසේද යන ප්‍රශ්නයට මේ කියන විද්වත් මහත්තුරුන් ළඟ උත්තරයක් තිබිය යුතුය.
ඒත් නැත. මේ රටේ බහුතරයක් ප්‍රශ්නවලට හේතුව විද්වතුන්ගේ නිහඬ බවය. 71 දේශපාලන කැරැල්ලේ සිට උතුරේ දේශපාලන කැරැල්ල දක්වාම එය අදාළය. විනාශයන් අවසානයේ විග්‍රහ ඉදිරිපත් කරන්නට පෙළගැසුණාට, මේ මහත්තුරුන් විනාශයන් වළක්වාගැනීම වෙනුවෙන් කටක් හොල්ලන්නේ නැත. ඊට හේතුව තමන්ගේ පැවැත්ම නැති වේ යැයි කියන බයය.
විද්වතුන්ගේ මේ ‘බයත්’, අපේ රටේ බහුතරයේ ‘අහිංසක නිහැඬියාවත්’ විසින් සර්වජන ඡන්ද බලය කියන අයිතිය වුවමනාවෙන්ම නැති කරගෙන තිබේ. ඊට දේශපාලනඥයන්ට චෝදනා කර-කර පමණක් සිටීමෙන් ඵලක් නැත. ප්‍රජා අයිතියේ වටිනාම කොටස නැති කරගෙන ඇත්තේ අප විසින්මය. එයින් දූෂිතයන්-මිනීමරුවන් ප්‍රයෝජන ගන්නා විට කෙඳිරිගෑමෙන් ඵලක් නැත.
Previous articleභාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?
Next articleනිලධාරීන් ඉන්නේ මහජන නියෝජිතයන් යටතේ – මන්ත්‍රී රහීම්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here