අපරාධ ලෝකයක ළමයින් වෙනුවෙන් අපේ වගකීම !

(චමෝදි කොඩිතුවක්කු)
පසුගිය දිනවල බාල අපරාධ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති විය. ඒ වයස අවුරුදු 13ත්, 16ත් අතර වයස් කාණ්ඩයේ පසුවන ගැහැණු දරුවන් සම්බන්ධ අපයෝජන සිද්ධි රැසක් විටින්-විට සමාජයෙන් වාර්තාවීමත් සමග ය.
මීට අදාළ ආසන්නතම සිදුවීම වාර්තා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසෙනි. ඒ, එහි මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක් හදිසි ගින්නක් හේතුවෙන් ඇතිවූ පිළිස්සුම් තුවාල සහිතව මියයෑමත් සමග ය. හිෂාලිනී ජූඩ් නමැති මේ අවුරුදු 16ක් වයසැති දැරිය, රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ පිහිටි නිවසට මෙහෙකාර සේවය සඳහා ලබාගෙන ඇත්තේ ඩයගම ප්‍රදේශයේ තැරැව්කරුවෙකු මාර්ගයෙනි. එම නිවසේ සේවය කරමින් සිටි අතරතුරදී, ඇතිවූ ගින්නක් හේතුවෙන් පිළිස්සුම් තුවාල සහිතව මේ දැරිය පසුගිය ජූලි මස 3 වැනිදා රෝහල් ගත කර තිබිණි. ඉකුත් 15 වැනිදා ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.
වෛද්‍ය වාර්තාවලින් හෙළි වී ඇත්තේ මේ දැරිය කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරවලට ලක් වී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරික්ෂණ ආරම්භ වී ඇති අතර, පාර්ලිමේන්තුවේදී ද මේ දැරියට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ විය. උක්ත සිද්ධියට අප්‍රසාදය පාමින් හැටන්, ඩයගම වතුයායේ ප්‍රදේශවාසීන් ද විරෝධතා පා ගමනක් දියත් කොට තිබුණේ ඒ පිළිබඳ පරික්ෂණ කඩිනම් හා විධිමත් කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලමිනි.
මෙසේ මිලින වන්නේ රටේ අනාගතය බාරගැනීමට සිටින දූ-දරුවන් වීම අතිශය කම්පාවට කරුණකි. ඉහත සඳහන් කරන ලද්දේ වාර්තා වූ ආසන්නතම, ආන්දෝලනාත්මක සිද්ධිය වන අතර, ඊට පෙර ද විටින්-විට මෙවැනි බාල අපරාධ පිළිබඳ සිද්ධි ගණනාවක් වාර්තා විය.
තවත් ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක් පසුගිය දිනෙක ගල්කිස්ස ප්‍රදේශයෙන් වාර්තා විය. ඒ අවුරුදු 15ක දැරියක තම පියා ද ඇතුළුව තවත් පුද්ගලයන් රැසකගෙන් විටින්-විට අපයෝජනයට ලක්වීමේ සිදුවීමකි. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි. සමාජය දිනෙන්-දින ළඟාවන්නේ පරිහානියට බව කියාපෑමට මීටත් වඩා සාක්ෂි අවශ්‍ය නැත. අප ජීවත් වන්නේ තමන්ගේ පියා අතින්ම අපයෝජනයට ලක්වීමට සිදුවන දියණිවරුන් සිටින සමාජයක ය.
මෙවැනි තවත් සිදුවීමක් නාවලපිටිය ප්‍රදේශයෙන් ද වාර්තා විය. එය 13 හැවිරිදි බාලවයස්කාර දැරියක පියා ඇතුළු තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු අතින් මාස කිහිපයක් පුරාවට අපයෝජනය වීමක් පිළිබඳ සිද්ධියකි. එක පිට එක අපට අසන්නට දකින්නට ලැබුණු මෙවැනි ඛේදනීය සිද්ධිවල කෙළවරක් නොමැත.
ශ්‍රී ලංකාවේ ළමා අපචාර සිද්ධි සංඛ්‍යාව දිනෙන්-දින ඉහළ යන මෙවැනි කාල පරිච්ඡේදයක ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ද ඇතුළුව ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වෙත ද විශාල මහජන අවධානයක් යොමු වී තිබේ. මෙහිදී ඇස ගැටෙන ප්‍රධාන කරුණක් වන්නේ ළමයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීතිවල පවතින හරයාත්මක දුර්වලතා ද මෙරට ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම කෙරෙහි ඍණාත්මකව බලපා ඇති බවයි.
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට හා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට මෙවැනි ළමා අපචාර හා අපයෝජන සම්බන්ධයෙන් දැනුම්දීමට අපට හැකියාව පවතී. අප සෑම විටෙකම උත්සුක විය යුත්තේ මෙවැනි අනර්ථයක් වීමට පෙරම වළක්වා ගැනීමටයි. ඒ වගකීම වෙනුවෙන් සියල්ලන් පෙරට ආ යුතුය. කැපවිය යුතුය.
Previous articleසංශෝධන එපා : කොතලාවල පනත ඉවත් කරගන්න – ඉංජිනේරුවෝ 20,000ක් ජනපතිට ලියති !
Next articleහමුදාකරණය : අධිකරණයේදී ප්‍රශ්න කළ නොහැකි නම් ජනපතිගේ වගවීම සමාජය තුළ ප්‍රශ්න කළ යුතුයි – මහාචාර්ය ජයදේව උයන්ගොඩ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here