නිලධාරීන් ඉන්නේ මහජන නියෝජිතයන් යටතේ – මන්ත්‍රී රහීම්

කොවිඩ්-19 වසංගතයත් සමඟ සෞඛ්‍ය අංශ දිගින් දිගටම කළ ඉල්ලීම් හමුවේ පැනවූ සංචරණ සීමා කාලයේ දී ගමන් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් අවසර පත්‍රයක් නිකුත් කරමින් සිටින බව MediaLK වෙත වාර්තා වේ.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් මහතා මෙලෙස අවසරපත්‍ර නිකුත් කර තිබෙන අතර පොලිසිය අමතමින් ලිපියක් ආකාරයෙන් එය සකස් කර ඇත.
සංචරණ සීමා කාලයේ දී පුද්ගලයන්ට ගමන් කිරීම සඳහා මන්ත්‍රීවරයා විසින් මෙම ලිපිය නිකුත් කර තිබේ. මෙම ලිපිය පෙන්වා ඇතැම් පුද්ගලයින් දිස්ත්‍රික් මායිම් සහ පළාත් මායිම් පසුකර ගොස් ඇති බව ද උසස් පොලිස් නිලධාරියෙක් MediaLK.com වෙත ප්‍රකාශ කළේය.
නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥා පනත සහ ඒ ආශ්‍රිතව විටින් විට නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදන අනුව මුළු දිවයිනටම බලපාන පරිදි සංචරණ සීමා පැනවීමේ බලය ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට බවත්, එතැන් සිට පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දක්වා එම බලය බෙදී ගොස් ඇති බවත් පැවසූ එම උසස් පොලිස් නිලධාරීවරයා, සංචරණ සීමා බල නොපාන පිරිස් කවුරුන්දැයි තීරණය කීරීමේ බලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී නැතැයි ද සඳහන් කළේය.
‘සංචරණ සීමා පනවා තිබුණා හෝ නැතා ගෙදරට වෙලාම ඉන්න එකයි මේ වෙලාවේ හොඳම. රෝගය පාලනය කරන්න නම් සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපදින්න. දේශපාලනඥයන්ගේ උපදෙස් නෙමෙයි මේ වෙලාවේ වැදගත්.’ යැයි එම උසස් පොලිස් නිලධාරියා කීවේය.
විපක්ෂය නියෝජනය කරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරයකු වන අලි සබ්රි රහීම් මහතා වරාය නගර කොමිෂන් සභා පනතට පක්ෂව ආණ්ඩුව සමඟ ඡන්දය භාවිත කළේය. එසේ හෙයින් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවමින් එම පක්ෂයෙන් ලිපියක් ද නිකුත් කර තිබිණි.
මෙම අවසර පත්‍රය සම්බන්ධයෙන් කළ විමසීමේ දී අලි සබ්රි රහීම් මහතා මෙසේ පැවසීය.
‘මම මහජන නියෝජිතයෙක්. මහජන නියෝජිතයන් යටතේයි නිලධාරීන් ඉන්නේ. මේ අයට යන්න දෙන්න කියලා නිලධාරීන්ට කියන්න මහජන නියෝජිතයන්ට අයිතියක් තියෙනවා. මම දුන්නේ බලපත්‍රයක් නෙමෙයි. මම දුන්නේ ඉල්ලීම් කරලා ලියුමක්. පොලිසියෙන් යම් කෙනෙක් අල්ලගත්තොත් ඒ ලියුම පොලිසියට පෙන්වලා ආයාචනා කරන්නයි දුන්නේ.’ යැයි මන්ත්‍රීවරයා කීවේය.
Previous articleනැති කරගත් වටිනාම අයිතිය !
Next articleමාස්ක් එක බිම වැටුණා ; හිතාමතා වරදක් කළේ නෑ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here