පහරදෙන්නන් සහ පහරකන්නන් !

Photo : © Harshana Thushara Silva
පරපුරපිටුව MediaLK (මීඩියා එල්කේ) අපි වෙන්කර ඇත්තේ තරුණ පරම්පරාව වෙනුවන්මයි. රට කරවන හැටි ගැන, දේශපාලන වෙනස්වීම් ගැන, සමාජ ප්‍රශ්න ගැන, පරිසර ගැටලු ගැන, රටේ ප්‍රතිපත්ති ගැන, දූෂණ වංචා ගැන සහ වෙනත් ගවේශනාත්මක කාරණා ගැන ඔබේ අදහස්වලට ඉඩක් දෙන්න අපි සූදානම්. ඔබේ ලිපිය සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ඕනෑම භාෂාවකින් එවිය හැකියි.
[email protected]

අද පරපුර ඉඩ වෙන් කරන්නේ සංහිත ගුණතිලක විසින් ලියන ලද ලිපියකටයි.


රාත්‍රියකි. වෙලාව නවයට පමණ ය. තැන කොළඹ, කොටුව බස් නැවතුම්පොළ ඉස්සරහ ය. බස් අස්සෙන් මතු වූ ත්‍රීරෝදරථයකි. තරුණයන් දෙදෙනෙක් එයින් බැස්සාහ.

රවුම් කරගත් පටියක් අතින් ගත් ඔවුහු එක්වරම ඉලක්කයක් වෙත දිවගියහ. පිරිස අස්සේ සිටි කාන්තාවකගේ පිට හරහා වැරෙන් පහරක් එල්ල කළ තරුණයෙක් කුණුහරුප වරුසාවක් මුදාහළේය. කාන්තාව කෑගසාගෙන බස් අස්සේ නොපෙනී ගියාය. ‘මුන්ට ඔහොම කරන්නෙ නැතුව  බෑ’ තරුණයා තවදුරටත් තමන් කළ දේ සාධාරණීකරණය කරමින් සිටියේය. ත්‍රීරෝදරථය වෙත ගිය තරුණයෝ පිටත් වූහ.

තරුණයන් දෙදෙනා පොලිසියේය. කාන්තාව ලිංගික ශ්‍රමිකයෙකි. කොළඹ, කොටුව ආසන්නයේ මෙය සාමාන්‍ය සිදුවීමකි. රාත්‍රී නවයෙන් පසු ත්‍රීරෝද රථවලින් පැමිණෙන සිවිල් ඇඳගත් පොලිස් නිලධාරියෝ ලිංගික ශ්‍රමිකයන්ට පහර දෙති. එවැනි අයිතියක් ඔවුන්ට ලබාදී ඇත්තේ කුමන නීතියකින්ද?

ලිංගික ශ්‍රමිකයන් කරන්නේ නීතිවිරෝධී වැඩක් නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු විදිහක් ඇත. පාදඩ ආඥා පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකිය. ලිංගික ශ්‍රමය වැයකිරීම නීත්‍යනුකූලද, නැද්ද යන්න සංවාදාත්මක ය. එහෙත් කිසිදු ආකාරයකට ඔවුන්ට මෙසේ ප්‍රසිද්ධියේ පහර දීමට පොලිසියට හෝ කිසිවකුට අයිතියක් නැත.මේ පොලිස් රාජ්‍යයක සිදු වන දේය. ඒ කියන්නේ මිලිටරි රාජ්‍යයක අහුකොන් ය.

කියන්නට හැදුවේ අපේ රටේ බඩ රස්සාවේ තරම ගැනය. මේ රටේ රස්සා කරන්නන්ගෙන් සියයට අසූවක්ම තමන් කරන රස්සාව ගැන තෘප්තිමත් නැති බව වියත්හු ලිපි ලියමින් යළි-යළිත් පවසති. කතාව ඇත්තය. මඩ සෝදා රජ කරවන්නට හදන ගොවියා ඉන්නේ තෘප්තියෙන්ද? කුඹුරට ඉහින්නට බීජ ටික වෙලාවට ලැබෙන්නේ නැත. පොහොර ටික වෙලාවට ලැබෙන්නේ නැත. වී විකුණන්නට වෙන්නේ සොච්චම් මුදලකටය. හැමදාම ඉතුරු වෙන්නේ ණයය. මාධ්‍යවේදී කියන ලොකු නමින් හඳුන්වන මුදලට ලියන රස්සාව ගත්තත් එහෙමය. අයිතිකාරයන්ට රිදෙන්නට ලිව්වොත් වැඩ අවුල් වන්නේය. දේශපාලනඥයන්ට රිදෙන්නට ලිව්වත් එහෙමය. එළියේ සිටින මහත්තුරුන් මහා ස්වාධීන මාධ්‍යයක් ඉල්ලන්නේය. ඒත් පඩියක් නැතුව මාස දෙකක් ජීවත්වෙන්නට හැකියාව ඇත්තේ මේ රටේ කීයෙන් කීදෙනාටද?

රස්සාව ගැන කතා කරන්නට පටන් ගත් ගමන් බහුතරය කියන්නේ ‘එපා වෙනවා අනේ, එපා වෙනවා බං’ වගේ කතාය. ඒ අතෘප්තිය අවසානයට පිටවන්නේ දරුවන්ගෙන්ය. එසේත් නැත්නම් මහ පාරේ හමුවන මිනිසුන්ගෙන්ය. හිනාවෙනවා වෙනුවට ‘ඇයි මොකද’ අහන්නට පුරුදු වූ විලාසිතාවක් බිහි වී ඇත්තේ එසේය.
බලාගෙන යනකොට ලිංගික ශ්‍රමිකයන්ට ප්‍රසිද්ධියේ පොලිසියෙන් පහර දෙන ජාතියෙන්ම අනෙක් සියල්ලෝද ගුටි කති. පහර කෑ කාන්තාව වේදනාවෙන් ඇඹරෙමින් දිව්වාය. පහර දුන් තරුණයා තමන්ගේ වෘත්තියේ, ජීවිතයේ වේදනාවන් ඇයගේ පිට හරහා යැව්වේය. සිද්ධිය බලාගෙන සිටි ඇතැමෙක් ‘හොඳ වැඩේ’ කිවූහ. ඇතැමෙක් ‘පව් බං’ කීහ. හොඳ වැඩේ කියූ පිරිස තමන්ගේ කතාව සාධාරණීකරණය කරන්නට තවත් කතා කීහ.

පොලිස් රස්සාවෙන් පිටත ජීවිතයේදී අර තරුණයන්ටද අම්මලා සිටිති. සහෝදරියෝ සිටිති. දියණියෝ සිටිති. ඔවුහුද මේ ජීවිතයේ වේදනා විඳිති. ඒ බව අර තරුණයන්ට කිව්වාට වැඩක් නැත. ඔවුන්ගේ මොළ සෝදා ඇත්තේ මෙසේය. ‘උඹලගෙ රස්සාව මේක. යුනිෆෝම් එක නැතත්, උඹලට මේ බලය තියෙනවා. මේවා කරපන්. මේ විදිහට මිනිස්සුන්ව බය කරගනින්.’
ඔවුන් ඔවුන්ට පවරා ඇති ඩියුටිය කරන්නේය. එයින් ඩියුටිය පැවරූ උන් රැකෙන්නේය. බහුතරය බය කරගන්නා තරමට සුළුතරයට පවතින්නට හැකි බව ඔවුහු දනිති. එම නිසා මේ ඒජන්තලාට තමන්ගේ කෝපය පිටකරන්නට ඔවුහු අවස්ථා හදා දෙති. විශ්වවිද්‍යාල සිසුන්ගේ පාගමන්වලට පහරදෙන්නට පොලිස් නිලධාරීන් උසිගන්වන්නේද මේ විදිහටය. තමන්ට කිසිදු වරදක් නොකළ සැකකරුවන් සමග මාරාන්තික වෛරයක් නිර්මාණය කරන්නේය. වඩා වැඩියෙන් මහජන සේවයක් කරන්නට කියා පොලිසිවල තාප්ප ගලවා මල් වැව්වේය. ඉස්සරහා ලොකු බුදු පිළිම තිබ්බේය. ඒත් පුරුදු විදිහටම තවදුරටත් පොලිසි ඇතුළේ හෝ පොලිසිවලින් කුලියට ගත් නිවාස ඇතුළේ සැකකරුවන්ට එල්ලා පහර දෙන්නේය.

වීඅයිපී මහත්තුරුන්ගේ ප්‍රජා අයිතිය ගැන පිටු ගණන් ලිව්වාට, අපට බඩ රස්සාව කරන්නට ඇති අයිතිය ගැන ලියවෙන්නේ ඉතා අඩුවෙන්ය. ඒ බඩ රස්සාව තෘප්තියෙන් කරන්නේද, කෝපයෙන් කරන්නේද යන්න තීරණය කරන්නේද ඒ වීඅයිපී මහත්තුරුන්මය. අවුල තියෙන්නේ එතැනය. පහරදෙන්නේද, පහරකන්නේද අප ම ය.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here