දේශපාලන වැඩවලට සිසුන් සම්බන්ධ කරගැනීම වැරදියි – අධ්‍යාපන ලේකම්

(නිලූක සඳුන් පද්මසිරි)

ඇප මත සිටින සිවනේසතුෙරෙ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා පිළිගැනීමේ උත්සවයකට කල්කුඩාහී පංචන්කර්නි විදුහලේ සිසුන් පාසල් නිල ඇඳුමෙන් සහභාගිකරවා ගැනීමේ සිද්ධියක් පසුගිය 07 වැනිදා වාර්තා විය.

පාසල් සිසුන් පාසල් නිල ඇඳුමින් දේශපාලනමය කටයුතුවලට සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන් එම සිද්ධිය බොහෝ පිරිස්වල විවේචනයට ලක්විය.

ද්‍රවිඩ ජාතික සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජෝෂප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිල්ලෙයාන් මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබ සිටි අතර පසුගියදා ඇප මත මුදා හැරිණි. ඒ ඔහු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස පත්වීමෙන් පසුවය.

ගුරු සංගමය හෙළා දකී – විමර්ශනයක් ඉල්ලයි

කල්කුඩා අධ්‍යාපන කලාපයේ පංචන්කර්නි විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් නිල ඇඳුමෙන් යුතුව තූර්යවාදන භාණ්ඩ ද උපයෝගී කරගෙන පිල්ලෙයාන් මහතා විසින් තම පිළිගැනීම් උත්සවයකට එක් කරගැනීම දැඩිව හෙළා දකින බව ලංකා ගුරු සංගමය පැවසීය.

මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගෙන් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටි බවත් නැගෙනහිර පළාත් අධ්‍යාපන බලධාරීන් මෙවැනි තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් වගකිය යුතු බවත් ලංකා ගුරු සංගමය කීවේය.

පාසල් තූර්යවාදයක කණ්ඩායම් දේශපාලකයින්ගේ රැස්වීම්වලට යොදවා ගැනීම නොකළ යුතු බව පැහැදිලිව දක්වා ඇතැයි ද එසේම කොරෝනා වසංගත ව්‍යාප්තිය තුළ පාසල් ළමුන් කිසිදු බාහිර කි‍්‍රයාවකට යොමු නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය හා රජය අවස්ථා ගණනාවකදී පැහැදිලිව ප‍්‍රකාශ කර ඇතැයි ද එම සංගමය පෙන්වා දුන්නේය. එසේ තිබියදී ද්‍රවිඩ ජාතික සංවිධාන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාර ගතකොට සිට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස පත්වීමෙන් පසු ඇපමත මුදාහැර සිටින පිල්ලයාන් විසින් තම පිළිගැනීමේ උත්සවයක් සඳහා මේ ආකාරයෙන් අනීතිකව පාසල් සිසුන් සම්බන්ධ කර ගැනීම බරපතල තත්ත්වයක් බව ලංකා ගුරු සංගමය සඳහන් කළේය. ඝාතන චෝදනා ලද මෙම මන්තී‍්‍රවරයා වසංගත අවදානමක් සහිත තත්වයක මේ ආකාරයෙන් පාසල් සිසුන් යොදවා ගැනීම හෙළා දකින බව ද එම සංගමය පැවසීය.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රම සංගමය මෙසේද කීය.

“පසුගිය සදුදා දින (2020.12.07) පිල්ලෙයන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති දිස්ති‍්‍රක් සංවර්ධන රැස්වීමකදී නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශ කර සිටියේ පිල්ලෙයාන් මහතා නැගෙනහිර පළාතේ අධ්‍යාපනය සංවර්ධනයට විශාල දායකත්වයක් කර ඇති බවයි. නමුත් 2020 වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයේ දී මඩකලපු දිස්ති‍්‍රක්කය දිස්ති‍්‍රක්ක අතරින් 23 වෙනි ස්ථානයට පත්ව ඇත.

නැගෙනහිර පළාත් අධ්‍යාපන පද්ධතිය දැඩි ලෙස දේශපාලනීකරණය වීම තුළ එහි අධ්‍යාපනය බරපතල ලෙස කඩාවැටී ඇත.

අවිධිමත් පත්වීම්, මාරු කිරීම් ඇතුළු විවිධ පලිගැනීම් කි‍්‍රයාවලින් පිරි අධ්‍යාපනයක් එහි කි‍්‍රයාත්මක වෙමින් තිබේ. මෙවැනි පිළිගැනීම් උත්සවලට මේ ආකාරයෙන් පාසල් ළමුන් සහභාගි කිරීමෙන් පෙන්නුම් වන්නේ පවතින යථාර්ථයයි.”

අධ්‍යාපන ලේකම්ගේ මතය

දේශපාලන වැඩවලට සිසුන් සහභාගි කරගන්නේනම් එය වැරදි බව අධ්‍යාපන ලේකම් කපිල පෙරේරා මහතා MediaLK වෙත පැවසීය.

යම් කටයුත්තකට සහභාගි කරවාගන්නේනම් ඊට අධ්‍යාපන බලධාරීන්ගෙන් අවසර ලබාගත යුතුයැයි ද නමුත් දේශපාලන කටයුතුවලට සිසුන් සහභාගි කර ගැනීමට නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

පාසල් සිසුන් එවන් කටයුත්තකට සහභාගි කරවාගතහැකිද යන්න විමසීමේදී ඔහු මේ බව කීවේය.

නමුත් සිද්ධිය සම්බන්ධයෙන් තමා වැඩි විස්තර නොදන්නා බවත් තමා මාධ්‍ය මගින් මේ බව දැනගත් බවත් එවන් දෙයක් සිදුව ඇත්නම් එහි වැරැද්දක් ඇති බවත් අධ්‍යාපන ලේකම්වරයා පැවසීය. මේ සම්බන්ධයෙන් විමසිය යුත්තේ නැගෙනහිර පළාත් අධ්‍යාපන නිලධාරීන්ගෙන් බව ද ඔහු සඳහන් කළේය.

ප්‍රශ්නය – මෙවන් කටයුතුවලට පාසල් සිසුන් සහභාගි කරවා ගැනීමට පුළුවන්ද?

පිළිතුර – බෑ. සාමාන්‍යයෙන් එහෙම දෙයකට සහභාගි කරවාගන්නවනම් අධ්‍යාපන බලධාරීන්ගෙන් අවසර ගත යුතුයි. ඒත් මම දන්න විදියට දේශපාලන කටයුතුවලට සහභාගි කරවාගන්න බෑ.

ප්‍රශ්නය – මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් වෙනවාද?

පිළිතුර – එහෙම සිද්ධියක් තවම මට වාර්තා වුණේ නෑ. මමත් දැක්කේ මාධ්‍යවලින්. සිද්ධිය ඇත්තද බොරුද දන්නේ නෑ. මෙම පාසල නැගෙනහිර පළාත් අධ්‍යාපනය යටතේ තිබෙන නිසා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කෙරෙනවානම් විය යුත්තේ එම පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා යටතේ. ඒක තවම මට වාර්තා වුණේ නෑ. මම මේ සම්බන්ධයෙන් සොයාබලා කටයුතු කරන්නම්.

 

Previous articleප්‍රබන්ධ කරපු මිනිහෙක්ව මිත්‍යාවට යට කරන්න ලේසියි – නීතිඥ එස්.ජී.පුංචිහේවා
Next articleපහරදෙන්නන් සහ පහරකන්නන් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here