මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයෝ ඉල්ලා අස්වෙති

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් ඉල්ලා අස් වී ඇති බව එම කොමිෂන් සභා ආරංචිමාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් එම කොමිසමේ සාමාජිකයකු වන අධ්‍යාපන ලේකම් කපිල පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව MediaLK වෙත තහවුරු කළ අතර ඔහු පැවසූවේ අනෙකුත් සාමාජිකයන් ද ඉල්ලා අස්වන බවට ලිපි බාරදී ඇති බවයි.

තමාට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස රාජකාරී කිරීම⁣ට ඇති නිසා ඉල්ලා අස්වීමට කලක සිට සිතා සිටි බවත් කොමිසම අහෝසි කර ඇති නිසා දැන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් හෙතෙම කීවේය. කොමිසම අහෝසි කර ඇති නිසා අනෙකුත් සාමාජිකයන් ද මෙලෙස ඉල්ලා අස්වී ඇතැයි තමා සිතන බව ද කපිල පෙරේරා මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීයකුගෙන් කළ විමසීමකදී පැවසූවේ මෙලෙස සාමාජිකයන් ඉල්ලා අස් වී ඇති බවට තමාට වාර්තා වී බවත් දැනට සභාපතිවරයා ඇතුළු තිදෙනකු අස්වී ඇති බවත්ය. අනෙක් දෙදෙනා ඉල්ලා අස් වී ඇතැයි මෙතෙක් වාර්තා නොවූ බව ද ඔහු සඳහන් ක⁣⁣ළේය.

⁣කොමිෂන් සභාවේ සාමාජිකයන්

  • මහාචාර්ය කිත්සිරි ලියනගේ – සභාපති

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්යවරයෙකි.

  • චන්ද්‍රා ඒකනායක මහත්මිය – නියෝජ්‍ය සභාපති

මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සහ ලෝක බැංකුව විසින් අරමුදල් සපයනු ලබන මූල්‍ය අංශ නවීකරණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ලෙස කටයුතු කරයි.

  • මහාචාර්ය කපිල පෙ⁣රේරා – සාමාජික

අධ්‍යාපන අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා වෙයි.

  • ආචාර්ය නිශාන් ද මෙල් – සාමාජික

ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ ආර්ථික, දේශපාලන හා නෛතික ගැටළු පිළිබඳ විශ්ලේෂණාත්මක පර්යේෂණ සහ උපදේශන සේවා සපයන ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ සහ පර්යේෂණ අංශයේ ප්‍රධානියා වේ.

  • නීතිඥ සඳුන් ගමගේ – සාමාජික

ශ්‍රී ලංකා වෙළඳ හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කරයි

මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනය ක⁣ළේ ලබන වසරේ සිට විදුලි ඒකකයක් රුපියල් 50 කින් ඉහළ දැමීමේ සූදානමක් පවතින බවත් දුෂිත විදුලි ගනුදෙනු හා අසාධාරණ විදුලි ගාස්තු ඉහල දැමීමට විරුද්ධ වී විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කරනු ලැබුවේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව බවත් ය.

විදුලි මාෆියාවට ඇති එකම බාධකය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව බව ද විටෙක මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ බලය කප්පාදු කිරීමට තැත් දැරූ විදුලි උගුල් අටවන්නන් දැන් සැරසෙන්නේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වසා දමා හිතූ මිලට විදුලිය මිලදී ගැනීමටත් හිතු විටෙක විදුලි ගාස්තු ඉහල දැමීමටත් බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

විදුලි ගාස්තු වැඩි කිරීමකදී විදුලිය මිලදී ගනු ලබන්නේ කොපමණ මුදලකට ද යන්න දැන ගැනීමට විදුලි පාරිභෝගිකයාට අයිතියක් ඇති බවත් සිදුවන සියලුම විදුලි ගනුදෙනුවල තොරතුරු විදුලි පාරිභෝගිකයාට ලැබිය යුතු බවත් විදුලි ගාස්තු වැඩිකිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විදුලි පාරිභෝගිකයාට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමටද අවස්ථාවක් තිබිය යුතු බවත් අසාධාරණ විදුලිය මිලදී ගැනීම්වලට එරෙහි වීමටද විදුලි පාරිභෝගිකයාට අයිතියක් තිබිය යුතු බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

විදුලි පාරිභෝගිකයා සතු මේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව බව ද එ පමණක් නොව විදුලිය පිළිබද පැමිණිල්ලකදී විදුලි සේවාව සම්බන්ධයෙන් තමන්ට අසාධාරණයක් වු විටදී ඒ සදහා සාධාරණය ඉටු කරගැනීමට යෑමට ඇති එකම ස්ථානය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව බව ද එම නිවේදනයේ දැක්වෙයි.

විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීමට තැත් කිරීම ජනතාවාදී රජයක් අපහසුතාවට හා අපකීර්තියට පත්කිරීමේ කුමන්ත්‍රණයක් බව සඳහන් කරන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය “මේ කුමන්ත්‍රණයේ හවුල්කරුවන් හෙළි කර ඔවුන්ට දඩුවම් කරන” ලෙස ජනාධිපතිවරයාගෙන් හා
අගමැතිවරයාගෙන් ඉල්ලා සීටී.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් විය.

“අනවශ්‍ය අවස්ථාවලදී අසාධාරණ හා දුෂිත ගනුදෙනු හරහා විදුලිය මිලදී ගැනීම නිසා මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 300ට ආසන්න වෙමින් පවතී. මේ පාඩු වලට හේතු වී ඇත්තේ ටෙන්ඩර්වලින් තොරව කෙටිකාලීන අධික මිලට විදුලිය මිලදී ගැනීමයි.

පසුගිය කාලයේදී සෑම වසරකදීම මෙගා වොට් 400කට ආසන්න මෙගා වොට් ප්‍රමාණයක විදුලිය මෙලෙස අධික මිලට මිලදී ගෙන ඇත. එම සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමේදී ඒකකයට රුපියල් 35/= සිට 65= දක්වා වු අධික මිලක් ගෙවා ඇත්තේ ඒකකය රුපියල් 15/= ක් වු අඩු මිලකට විදුලිය නිපදවා ගැනීමේ හැකියාව තිබියදීය.

මෙම විදුලිය ගැනීමේ ගනුදෙනු දූෂිත හා නීති විරෝධි බව පෙන්වා ඒවාට අවසරය ලබා දීම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත. මේ වන විට ඉදිරි වසරේ සිට තවත් මෙගා වොට් 700 ක් පමණ කෙටිකාලීන පදනම මත ටෙන්ඩර් වලින් මිලදී ගැනීම සදහා ලංවිම සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සුදානම් වෙමින් සිටී. එම දුෂිත විදුලි ගනුදෙනු සිදුවුවහොත් රටට සිදුවන පාඩුව වසරකට රුපියල් බිලියන 175 කට ආසන්න වේ.

ඒ අනුව ලබන වසර වන විට ලංවිම සමස්ත පාඩුව රුපියල් බිලියන 500 දක්වා ඉහල යනු ඇත. මේ පාඩුව මකා ගැනීමට ඇති එකම විසඳුම විදුලි ගාස්තු ඉහල නැංවීමයි. ඒ අනුව ලබන වසරේදී සිදුවන විදුලි ගාස්තු වැඩීවීම ඒකකයට රුපියල් 50/= ක් පමණ වනු ඇත. මාසේ විදුලි බිල ඒ්කක 30 කට පාලනය කරන අසරණ පවුලක විදුලි බිල රුපියල් 1500කින් ද ඒකක 90 පාවිච්චි කරන සාමාන්‍ය පවුලක විදුලි බිල රුපියල් 5000කින් ද ඉහල දැමීමක් සිදුවනු ඇත. දුෂිත විදුලි ගනුදෙනු හා අසාධාරණ විදුලි ගාස්තු ඉහල දැමීමට විරුද්ධ වී විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කළේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි.

විදුලි මාෆියාවට ඇති එකම බාධකය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව බව ඔවුන් තේරුම් ගෙන ඇත. විටෙක මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ බලය කප්පාදු කිරීමට තැත් දැරූ විදුලි උගුල් අටවන්නන් දැන් සැරසෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දමා හිතු මිලට විදුලිය මිලදී ගැනීමටත් හීතු විටෙක විදුලි ගාස්තු ඉහල දැමීමටත්ය.

කූඨ ව්‍යාපාරිකයින්, වංක නිලධාරීන් හා ඉංජිනේරුවන් අතලොස්සක් හා සටකපට දේශපාලනඥයින් දෙතුන් දෙනෙක්ගෙන් සැදුම් ලත් විදුලි උගුල් අටවන්නන්ගේ සංගමයේ නව අනුශාසක ධුරයට ජනාධිපති ලේකම්වරයා පත් වී ඇති බව ඔහු විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීමට කළ නියෝගය
පෙන්වා දෙයි.

විදුලි ගාස්තු වැඩකිරීමකදී විදුලිය මිලදී ගත්තේ කීයටද යන්න දැන ගැනීමට විදුලි පාරිභෝගිකයාට අයිතියක් තිබේ. සිදුවන සියළුම විදුලි ගනුදෙනු වල තොරතුරු විදුලි පාරිභෝගිකයාට ලැබිය යුතු ය. විදුලි ගාස්තු වැඩිකිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විදුලි පාරිභෝගිකයාට අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමටද අවස්ථාවක් තිබිය යුතු ය. අසාධාරණ විදුලිය මිලදී ගැනීම් වලට එරෙහි වීමටද විදුලි පාරිභෝගිකයාට අයිතියක් තිබිය යුතු ය.

විදුලි පාරිභෝගිකයා සතු මේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි. එපමණක් නොව විදුලිය පිළිබද පැමිණිල්ලකදී විදුලි සේවාව සම්බන්ධයෙන් තමන්ට අසාධාරණයක් වු විටදී ඒ සදහා සාධාරණය ඉටු කරගැනීමට යෑමට ඇති එකම ස්ථානය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි. විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වසා දැමීමට තැත් දැරීම ජනතාවාදී රජයක් අපහසුතාවට හා අපකීර්තීයට පත්කිරීමේ කුමන්ත්‍රණයක් බව නොරහසකි. මේ කුමන්ත්‍රණයේ හවුල් කරුවන් හෙළි කර ඔවුන්ට දඩුවම් කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය ජනාධිපතිතුමා හා
අගමැතිතුමාගෙන් ඉල්ලා සීටී.”

විදුලි මිල ඉහළ යාම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ එම චෝදනාව තමා ප්‍රතික්ෂේප කරන බවයි.

මේ සම්බන්ධයෙන් අප වාර්තා කළ පුවත් පහතින්.

Previous articleකොරෝනා පාලනය ගිලිහිලාද – අත්හැරලාද?
Next articleකෝප් වාර්තා මත ඕනෑම පුරවැසියෙකුට අල්ලස් කොමිසමට යන්න පුළුවන් – කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here