විදුලි මාෆියාවේ සැලසුම් පරදවා, ආණ්ඩුව ජනතාවගේ පැත්ත දිනවයිද ?

(හසරිඳු රාජපක්ෂ)

මහජන උපයෝගිතා කොමිෂන් සභාව අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට කර ඇති නියෝගය මගින් ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අගමැතිවරයාගේ අයවැය කතාව යන දෙකම ප්‍රතික්ෂේප වී ඇත.

අවම පිරිවැය විදුලි බලාගාර ගොඩනැගීම සහ විදුලි මිල පාලනය කිරීම ඇතුළු මහජනතාවට හිතවාදී ලෙස විදුලිය සම්බන්ධ තීරණ ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය යොමුකිරීමේ අරමුණෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව පිහිටුවා තිබේ. එය අහෝසි කළහොත් සීමාවකින් තොරව හදිසි විදුලිය වැඩි මිලට මිලදීගැනීම, විදුලි මිල ඉහළ දැමීම ආදී කටයුතු පහසුවෙන්ම විදුලිබල මණ්ඩලයට සිදුකිරීමට අවස්ථාව හිමි වන බව ක්ෂේත්‍රයේ විශේෂඥයෝ අවධාරණය කරති.

2002 අංක 35 දරන පනත මගින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටවූ අතර, 2009 අංක 20 දරන විදුලි පනත මගින් විදුලිබල මණ්ඩලය නියාමනය කිරීමේ බලය කොමිෂන් සභාවට ලබාදී ඇත. විදුලිබල මණ්ඩලය මේ වන විට රුපියල් බිලියන 85 ක පාඩුවක් ලබා ඇති අවස්ථාවක මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු  වී තිබේ.

ජනාධිපති ලේකම්වරයාගේ ලිපිය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල මහතාට උපදෙස් දෙමින් ලිපියක් යොමුකර තිබුණේ පසුගිය දෙසැම්බර් 01 දා ය. අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමැතිවරයා ලෙස ඉදිරිපත් කළ යෝජනා අනුව යමින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීමට තමන් උපදෙස් දෙන බව එහි සඳහන් කර තිබිණි. රාජ්‍ය ආයතනවල දූෂිත ගනුදෙනු නතර කරන බව සහ පාඩු ලැබීම නතර කරන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙසේය.

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය – දුෂණය පිටුදැකීම

කිසිදු රාජ්‍ය ව්‍යවසායක් දිගින්-දිගටම රාජ්‍ය අයවැයට බරක් නොවන ලෙස පවත්වාගෙන යෑමට නිශ්චිත වැඩපිළිවෙලක් හඳුන්වා දෙනු ලැබේ. රාජ්‍ය ආයතනවල වංචාව සහ දූෂණ සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ වගකීම සභාපතිවරයාට සහ අධ්‍යක්ෂ මණඩලයට පැවරීම සිදු කරයි.

පුනර්ජනනීය බලශක්තිය

‘2030 වන විට රටේ සමස්ත බලශක්ති අවශ්‍යතාව උපරිමයෙන් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සහ ජලවිදුලිය සහ ස්වභාවික වායු භාවිතයෙන් පරිසර හිතකාමී ලෙස නිෂ්පාදනය කිරීමට අවශ්‍ය බලශක්ති සැලසුම අපි සකස් කරන්නෙමු.’

අයවැය යෝජනාව – 2021

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ප්‍රකාශයේද සඳහන්ව ඇත්තේ ඩීසල් බලාගාරවලින් ගන්නා විදුලිය මිලදීගැනීම් නතර කළ යුතු බවය. අයවැය යෝජනාව තුළ එය සඳහන් වන්නේ මෙසේය.

‘දැනට ඇති ඩීසල් විදුලි බලාගාර අවුරුදු 20 ක් ඉක්මවා ඇති බැවින් ඒවාට ගෙවනු ලබන රුපියල් බිලියන 15 කට අධික වියදම් අඩුකිරීමට අදාළ ගිවිසුම් සංශෝධනය කිරීමටද යෝජනා කරනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත හා විදුලිබල මණ්ඩල පනත කඩිනම් ව්‍යාපෘති කිරීමට ඉවහල් වන පරිදි සංශෝධනය කිරීමට යෝජනා කරනවා. 2023 වන විට විදුලිය සඳහා ව්‍යාපාරිකයන් හා විදුලි පාරිභෝගිකයන් දරන අධික පිරිවැය අඩුකර, තරගකාරී විදුලි සැපයුමක් ඇති කරමින් ව්‍යාපාර ආර්ථිකය දියුණු කිරීම අපගේ ඉලක්කයයි.’

ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රතිචාරය

මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දමා වැඩි මිලට විදුලිය මිලදී ගනිමින් විදුලි මාෆියාව සාර්ථකව පවත්වාගෙන යෑමට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් උත්සාහ ගනිමින් සිටින බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

‘මහජන උපයෝගිතා කොමිෂන් සභාව අහෝසි කරන්න කියලා ජනාධිපති ලේකම්වරයා භාණ්ඩාගාර ලේකම්වරයාට දැනුම් දීලා තිබෙනවා. මේ ප්‍රකාශය ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය උඩුයටිකුරු කිරීමක්.  මොකද විදුලිබල මණ්ඩලයේ දූෂිත ගනුදෙනු නැතිකරනවා කියලයි ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දූෂිතයි කියලා පාර්ලිමේන්තුව වහන්න කියනවා වගේ වැඩක් තමයි මෙතැන සිදුවෙන්නේ. කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් එය වෙනම බේරාගත යුතු ප්‍රශ්නයක්. එහෙම නැතිව කොමිසම අහෝසි කිරීම මෙයට පිළිතුරක් නෙමෙයි.

පහුගිය කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලය දිගින්-දිගටම හදිසි විදුලිය මිලදී ගන්න උනන්දුවක් දැක්වූවා. ඒ අනුව හදිසි විදුලිය මිලදී ගන්නා ඒස් ඇඹිලිපිටිය බලාගාරයට එහි වටිනාකම වගේ හතර ගුණයක් විදුලිබල මණ්ඩලය විසින් දැන් ගෙවලා තිබෙන්නේ. විදුලි මාෆියාව සාර්ථකව කරගෙන යන්න තමයි මේ විදිහට කොමිෂන් සභාව අහෝසිකරන්න හදන්නේ. මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2016 දී විදුලි බලාගාර කිහිපයක්ම අනුමත කරලා තිබෙනවා. නමුත් ඒ එක බලාගාරයක්වත් මේ දක්වා ඉදිකරලා නැහැ. එල්එන්ජී බලාගාරයත් තවම ඉදිකරලා නැහැ. 2021 වසරේ පෙබරවාරි වන විට හදිසි විදුලි මිලදී ගැනීම් ලෙස මෙගාවොට් 500 ක් ගන්න විදුලිබල මණ්ඩලය සූදානම් වෙනවා.
ඒස් ඇඹිලිපිටිය බලාගාරයෙන් වගේම ඇමරිකන් නැවකින් විදුලිය ගන්නත් දැන් සාකච්ඡා කරගෙන යනවා. මීට පෙර තුර්කි නැවට යෝජනා කරපු කමිටුවම තමයි මෙය යෝජනා කරන්නේ. එහෙම හදිසි විදුලිය ගත්තොත් රුපියල් බිලියන 100 ක පාඩුවක් වෙනවා. මේ පාඩුව ගෙවන්න වෙන්නේ මහජනතාවට තමයි. මේ නිසා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අහෝසි කිරීම හුදු යෝජනාවක් පමණක් නෙමෙයි. එය සැලසුම් සහගතව සිදුවෙන කාරණයක්. මහජන උපයෝගිතා කොමිසම රැකගැනීම වෙනුවෙන් මිනිස්සු පාරට බැසිය යුතුයි. මොකද මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරනවා කියන්නේ තමන්ට කැමති මුදලකට විදුලිය මිලදී ගන්න විදුලිබල මණ්ඩලයට පුළුවන්කම ලැබෙනවා’ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ අප්‍රසාදය

මේ අතර ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් මහජන උපයෝගීතා කොමිසම වසා දමන ලෙසට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇති ලිපිය අත්හිටුවන්නැයි ඉල්ලීමක් කර ඇත.
මේ පිළිබඳ තීරණයක් ගැනීමේ බලතල ද අගමැතිවරයාට ඇති බවත්, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට අයත් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් බවත් ඇමැතිවරයා අදාළ ලිපිය මගින් පෙන්වා දී තිබේ.

විදුලි ඇමතිගේ ප්‍රතිචාරය

මේ සම්බන්ධයෙන් විදුලිබල ඇමැති ඩලස් අලහස්පෙරුම මහතා පැවසූයේ මෙවැන්නකි.

‘අගමැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආකාරයට සංශෝධනයක් තමයි සිදුවෙන්නේ. ජයසුන්දර මහත්මයා ඒ යවපු ලියුම අපිත් එක්ක සාකච්ඡා කරලා යවපු ලිපියක් නෙමෙයි. කෙසේ වෙතත් අපි අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙහි යම් නියාමනයක් අවශ්‍යයි කියලා.’ යැයි සඳහන් කළේය.විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරන ආකාරයට මේ සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර තීරණයක් ගෙන නොමැති අතර, මේ සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කළේය.

Previous articleමහර සිරුරු ආදාහනය නොකරන ලෙස මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ
Next articleකොරෝනා පාලනය ගිලිහිලාද – අත්හැරලාද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here