මහජන උපයෝගීතා කොමිසම වහන්න එපා – වාසු ඉල්ලයි

මහජන උපයෝගීතා කොමිසම වසා දමන ලෙසට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇති ලිපිය අත්හිටුවන්නැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් හෙතෙම මේ බව ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව මහින්ද රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් හෙයින් ඒ පිළිබඳ තීරණයක් ගැනීමේ බලතල ද ඇත්තේ අගමැතිවරයා වෙත බව ඔහු සඳහන් කර ඇත.

මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත හා විදුලි බල මණ්ඩල පනත කඩිනම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉවහල් වන පරිදි සංශෝධන කිරීමට මහින්ද රාජපක්ෂ මහතා අයවැය කතාවේදී කළ යෝජනාවට විරෝධී තීරණයක් ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දන්වා ඇති බව නානායක්කාර මහාතා පෙන්වා දී තිබේ.

එම ලිපියෙහි සඳහන් වූයේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වසා දැමීමට පියවර ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සෑම විටම ක්‍රියාකර ඇත්තේ පුරවැසියකුට යම් ආරවුලක් ඇතිවුවහොත් බේරුම්කරණය හා සමථකරණය හරහා අදාළ පුරවැසියාගේ ගැටළුවට යහපත් විසඳුමක් ලබාදීම සඳහා බවත් විදුලි පාරිභෝගිකයා පමණක් නොව ජල සේවා හා ඛණිජ තෙල් පාරිභෝගිකයාගේ ගැටළු විසදීම සඳහා ද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඵලදායි පියවර ගෙන ඇති ආයතනයක් බවත් වාසුදේව මහතා තම ලිපියේ සඳහන් කර තිබේ.

එමෙන්ම පසුගිය කාලයේදී අසාධාරණ විදුලි ගාස්තු ඉහල දැමීමට කළ යෝජනාවලට අනුමැතිය ලබා නොදී විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කළ ආයතනය වන්නේ මෙම කොමිෂන් සභාව බවද යහපාලන රජය සමයේ අත්සන් තැබූ දූෂිත විදුලි ගනුදෙනුවලට මෙම කොමිෂන් සභාව අනුමැතිය ලබා නොදී ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවීමට ගිය විශාල පාඩුවක් වළක්වා ඇති බව ද හෙතෙම පෙන්වා දී ඇත. යහපාලන රජය විසින් ටෙන්ඩර්වලින් තොරව විදුලිය මිලදී ගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ බලතල අඩු කිරීමට ගත් උත්සහය පාර්ලිමේන්තුවේදී පරාජය කළේ එවකට විපක්ෂ නායක වූ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බව ද ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම 2016 වර්ෂයේ සිට දිගුකාලීන අඩු වියදම් ජනන සැලසුම් තුනක් අනුමත කර එවායේ ඇතුළත් අඩු වියදම් බලාගාර ඉදිකිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය සහය හා අනුමැතිය දී ඇතැයි ද විදුලි බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදයට වගකිව යුත්තේ ලංකා විදුලි බල මණ්ඩලය බවට පසුගිය කාලයේ අදාල ලිපි ලේඛන පරීක්ෂා කිරීමෙන් ඔප්පු වන බව ද ජල සම්පාදන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

විදුලි, ජල හා ඛණිජ තෙල් පාරිභෝගිකයා වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ආරක්ෂා කරගතයුතු ආයතනයක් බවත් මෙම ආයතනය වසා දැමීමෙන් දැනට කරගෙන යන හා යෝජිත පාරිභෝගික සේවා අඩාල වී එහි අපකීර්තිය මෙම රජය වෙතද එල්ල විය හැකි බවත් පෙන්වා දෙන ඒ මහතා ඒ අනුව ජනාධිපතිතුමාගේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති ලිපියේ සඳහන් පියවර ගැනීම අත්හිටුවන ලෙස අගමැතිවරයාට යෝජනා කර සිටී. මේ සම්බන්ධයෙන් අගමැතිවරයා හමුවී කරුණු දැක්වීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති, එහි සාමාජිකයින්, හා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු අදාළ නිලධාරීන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව ද එම ලිපියේ සඳහන් වී තිබේ.

Previous articleබඩු මිල අඩු කරනු ! – නිදහස උදෙසා කාන්තාවෝ උද්ඝෝෂණයක
Next articleසීනි 150ටත් විකිණෙයි : තොග මිලත් 115ට වැඩී

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here