කොරෝනා පාලනය ගිලිහිලාද – අත්හැරලාද?

කොරෝනා පාලනය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිසිය ඇතුළු අදාළ බලධාරීන් නිසි පරිදි කටයුතු නොකරන බව බොහෝ ප්‍රදේශවල ජනතාව චෝදනා කරති.

කොරෝනා දෙවැනි රැල්ල හමුවේ පැනවූ ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව සාමාන්‍ය පරිදි ජන ජීවිතය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආරම්භ කරන ලෙස ආණ්ඩුවේ දේශපාලනඥයිනුත් රජයේ බලධාරීනුත් ඉල්ලා සිටියහ. එම කටයුතු නිරෝධායන නීතින් අනුව සිදුවේදැයි නිරීක්ෂණයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,පොලිසිය පමණක් නොව බුද්ධි අංශ නිලධාරීන් පවා යොදවන බවට ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කර තිබිණි.

නමුත් මේ අද තත්ත්වයයි….

ශ්‍රී ලංකාව මේ වන විට සිටින්නේ තුන්වැනි අවදානම් මට්ටමේය – සෞඛ්‍ය අමාත්‍යාංශය

අවමංගල්‍ය උත්සවවල තත්ත්වය

ශ්‍රී ලංකාව මේ වන විට කොරෝනා අනතුරු ඇඟවීම් මට්ටම් අතරින් පසුවන්නේ තුන්වැනි මට්ටමේ බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නව මාර්ගෝපදේශ අනුව කොවිඩ්-19 මට්ටම් හතරෙන් තුන්වැන්නේදී අවමංගල්‍ය උත්සව සඳහා සහභාගි විය හැකි උපරිම ගණන 25කි.

නමුත් අද වන විට බොහෝ අවමංගල්‍ය උත්සවවල සහභාගිවන්නන්ගේ සීමාවක් නොමැති තත්ත්වයක් ඇතිව තිබේ. දෙවැනි රැල්ල ආරම්භ වූ බව කියන මිනුවන්ගොඩ ප්‍රදේශයේ මෑතකදී පැවති අවමංගල්‍ය උත්සවයක 200ටත් වඩා පිරිසක් එක්රැස්වී සිටින ආකාරය දක්නට ලැබුණු බව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් පැවසීය. ඥාතීන් නොවන බොහෝ පිරිස් මෙන්ම දුරබැහැර සිට පැමිණෙන ඥාතීන් ද ඇතුළුව සහභාගි වූ පිරිස සෞඛ්‍ය පිළිවෙත් ද නොතකා කටයුතු කරන ආකාරය දක්නට ලැබුණු බව ද ඊට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කිසිදු පියවරක් නොගත් බව ද ඔහු පැවසීය.

තවද කොරෝනා පැතිරීම හේතුවෙන් ලොක්ඩවුන් කර තිබී පසුව මුදාහැරුණු වේයන්ගොඩ කුරියාකොටුව ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකටත් විශාල සංඛ්‍යාවක් සහභාගි වී සිටි බවත් එයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කිහිප දෙනකුද සහභාගි වී සිටිය බවත් ඊට සහභාගිවුවෙක් පැවසීය.

දානමය පිංකම්වල තත්ත්වය ද එසේම වන බවත් ඇතැම් විහාරස්ථානවල ද නිරෝධායන නීති උල්ලංඝණය වන ආකාරයට ආගමික වතාවත් සිදුවන බව දැනගන්නට ඇත.

නමුත් නිරෝධායන නීතිවලට අනුව කටයුතු කරන අවමංගල්‍ය උත්සව, දානමය පිංකම් සහ විහාරස්ථාන ද දැකගැනීමට ලැබිණි.

හෝටල් – මංගල උත්සව

සෞඛ්‍ය අමාත්‍යාංශ නීති අනුව මේ වන විට මංගල උත්සවයකට සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව 50කි. නමුත් නිට්ටඹුව ප්‍රදේශවාසියෙකු පැවසූවේ එම ප්‍රදේශයේ ඇතැම් හෝටල්වල මංගල උත්සව සඳහා එම සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් පමණ සහභාගි වන බවයි.

තවද පිහිනුම් තටාක සඳහා අවසර ලබා නැත යැයි මාර්ගෝපදේශවල සඳහන් වූවද ඇතැම් හෝටල්වල පිහිනුම් තටාක ද ලබාදී ඇතැයි හෝටල් සේවකයෝ පවසති. ලාභ අරමුණු වෙනුවෙන් සිදුකරන මෙවන් කටයුතු නිසා කොරෝනා අවදානම තවත් වැඩිවිය හැකි බව ද තමන්ට මේ සම්බන්ධයෙන් හෝටල් පාලනාධිකාරිය සමග ගැටීමට නොහැකි බව ද ඔවුහු පෙන්වා දෙති.

 

බස්රථවලත් කට කපලා සෙනග

එමෙන්ම බස් රථවලද මේ වන විට ගෙන යා හැක්කේ මගීන් 75%ක ප්‍රමාණයක් පමණක් වුවද බොහෝ ප්‍රදේශවල බස් රථයේ ආසන ප්‍රමාණයට වඩා සහ බස් රථයේ ගෙන යා හැකි උපරිමයටත් වඩා මගීන් ගෙන යන බවට මගීහු චෝදනා කරති.

බොහෝ බස්රථවල නිරෝධායන නීතියක් හෝ සමාජ දුරස්ථභාවයක් ක්‍රියාත්මක නොවන බවත් “බස්වල කට කපලා මගීන් අරගෙන යන” බවත් එක් මගියෙක් පැවසීය.

තවද අත්සන් කිරීමට තබා ඇති පොතේද නිසි පරිදි අත්සන් කිරීමක් සිදුනොවන බවටද මගීහු සඳහන් ක⁣ළහ. බස් රථ තුළ සමාජ දුරස්ථභාවය කිසිදු ආකාරයකින් දක්නට නොලැබෙන බවද ඔවුහු පැවසූහ.

මේ සම්බන්ධයෙන් එක් රියදුරකු පැවසූවේ තමාට සහ කොන්දොස්තරවරයාට සියලු දේ කරමින් රිය පැදවීමට නොහැකි බවත් ඒවා පරීක්ෂා කිරීම⁣ට අදාළ බලධාරීන් පියවර ගත යුතු බවත් යම් වැරැද්දක් වේනම් ඒවාට නීතිමය පියවර ගත හැකි බවත් ය.

ඇතැම් අවස්ථාවලදී නියමිත මගීන් ප්‍රමාණය⁣ට වඩා මගීන් ගෙන යන බවට තමා පිළිගන්නා බවද ඊට හේතුව එක් නැවතුම්පොළකින් මගීන් රැසක් නගින විට ආසන සංඛ්‍යාව ගණන් කරමින් මගීන් නංවාගැනීම⁣ට ඇති ප්‍රායෝගික අපහසුතාවයක් ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙවන් ගැටළු සම්බන්ධයෙන් සියලු දෙනාම සොයන නමුත් බස් රථ රියදුරන්ට, කොන්දොස්තරවරුන්⁣ට සහ බස් හිමිකරුවන්ට ඇති ප්‍රශ්න ගැන කිසිවකු නොසොයන බව පැවසූ ඔහු බොහෝ බස් රථ හිමියන්⁣ට තම බස් රථ විකිණීමට සිදුව ඇතැයි ද මේ හේතුවෙන් රියදුරන් සහ කොන්දොස්තරවරුන් රැසකගේ රැකියා අහිමි වන බවත් ඔහු කීවේය.

වෙළෙඳසැල්වල තත්ත්වය

ප්‍රදේශ ගණනාවක වෙළෙඳසැල් බොහෝමයක නිසි පරිදි මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන අතර ඇතැම් වෙළෙඳසල්වල කොරෝනා තත්ත්වය සම්පූර්ණයෙන් නොසලකා ඇති බවක් පෙනෙන්නට තිබේ. අත සේදීමට පහසුකම් හෝ සැනිටයිසර් නොමැති වෙළෙඳසැල් රැසක් බොහෝ නගරවල ඇති අතර එම පහසුකම් තිබෙන ඇතැම් වෙළෙඳසල්වල ද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන ආකාරයක් දක්නට ලැබෙයි.

පීඑච්අයිලාට බලය තියෙනවා

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම් බාලසූරිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසූවේ එලෙස එම නීතිරීතී උල්ලංඝණය කරන බවට පිළිගන්නා බවත් මේ අවස්ථාවේදී සැමට තිබෙන වගකීම සැවොම පිළිගත යුතු බවත් ය.

ප්‍රදේශවාසීන්ට තර්ජනයක් වන ආකාරයෙන් එවන් උල්ලංඝණයන් සිදුවන්නේනම් ළඟම සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටි බාලසූරිය මහතා මේ අවස්ථාවේදී එක් එක් අය තම තමන්ගේ නිර්නායක සාදාගෙන කටයුතු කිරීම වැරදි බව ද පැවසීය. බලය ක්‍රියාත්මක කරන්නේනම් මේ මොහොතේ බොහෝ එ්වාට කටයුතු කළ යුතු නමුත් මේ මොහොතේ ජනතාවගෙන් ස්වයං විනයක් අවශ්‍ය බව බාලසූරිය මහතා සඳහන් ක⁣ළේය.

නැතහොත් රෝගීන් හඳුනාගෙන ඔවුන්ගේ සම්බන්ධතා හඳුනාගෙන නිරෝධායනයට යොමු කරන එකට වඩා මෙවන් පැමිණිලි පසුපස යාමට සිදුවනු ඇතැයි ද එලෙස සිදුවුවහොත් රෝගය පාලනය කිරීමේ කටයුතුවලට බාධා සිදුවනු ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

ඔහු මෙසේද පැවසීය.

“1897 අංක 03 දරන රෝග නිරෝධායනය හා වැළැක්වීමේ ආඥා පනත මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලය හිමිව තිබෙනවා. ඒ අනුව බලතල තියෙනවා කටයුතු කරලා ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න.

ඒ වගේම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිරෝධායන පනතට අනුව නිකුත් කරලා තියෙන මාර්ගෝපදේශ අනුව අවදානම් මට්ටම් හතරක් තියෙනවා. ඒකේ අවදානම් මට්ටම් 03 තමයි අපි ඉන්නේ. 4 වැනි මට්ටමේ දිගින් දිගටම රෝගීන් හමුවෙනවා. ඇතැම් පැතිවල මේ තත්ත්වය තියෙනවා. ඒ නිසා මෙහෙම කරලා තියෙන්නේ.

එහි 03 වැනි අවදානම් මට්ටම අනුව විවාහ උත්සවවලට සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව 50ක් එමෙන්ම අවමංගල්‍ය උත්සවයක ඕනෑම අවස්ථාවක සිටිය හැකි උපරිම සංඛ්‍යාව 25යි. මේවා නිරන්තරයෙන් මාධ්‍ය මගින් කියනවා. නමුත් ඇතැම් අය උල්ලංඝණය කරනවා. එ්ක අපි පිළිගන්නවා. නමුත් මේ වෙලේ හැමෝම තමන්ගේ.වගකීම පිළිගන්න ඕනේ. කවුරුහරි ප්‍රදේශයක ප්‍රදේශවාසින්ට තර්ජනයක් වෙන විදියට මේ නීති උල්ලංඝණය කරනවානම් ළඟම ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන්න ”

2923ක් අත්අඩංගුවට

මේ සම්බන්ධයෙන් විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කරගැනීමට නොහැකි වූ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පැවසුවේ මේ වන විට මුඛ ආවරණ නොපැළඳීම, සමාජ දුරස්ථභාවය කඩ කිරීම සහ ඇඳිරිනීතිය කඩ කිරීම වැනි උල්ලංඝණ සිදු කළ 2923 දෙනකු ඔක්තෝබර් 04 වැනිදා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Previous articleවිදුලි මාෆියාවේ සැලසුම් පරදවා, ආණ්ඩුව ජනතාවගේ පැත්ත දිනවයිද ?
Next articleමහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයෝ ඉල්ලා අස්වෙති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here