හාල් – සීනි මිලට වුණු දේ විදුලි බිලටත් වෙයිද?

(නිලූක සඳුන් පද්මසිරි)

වසර 10ක් විදුලි බිල වැඩීවීම⁣ට ඉඩ නොදී විදුලි මිල පාලනය කළ මහජන උපයෝගීතා කොමිසම වසා දැමුවහොත් මෙතෙක් වැඩි නොවූ විදුලි මිල ඉහළ යනු ඇතැයි විදුලි පාරිභෝගිකයෝ පවසති.

එමෙන්ම උපයෝගීතා කොමිසමේ බලය පාරිභෝගික අධිකාරියට ලබා දුනහොත් සහල්, සීනි සහ පොල් මිලට සිදුවු දේම විදුලි මිලටත් සිදුවෙනු ඇතැයි පාරිභෝගිකයෝ කියති.

එමෙන්ම විදුලිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි 6000ක් එම කොමිසම විසින් විසඳා ඇතැයි ද එමගින් විශාල මුදල් නාස්තියක් වැළකුණු බව ද එම උපයෝගීතා කොමිසම සඳහන් ක⁣ළේය.

පී.බී ජයසුන්දරගේ ලිපිය

විදුලි මිල පාලනය කිරීම ජල හා ඛණිජ තෙල් ඡායා නියාමනය සහ පාරිභෝගික පැමිණිලි සම්බන්ධයෙන් මැදිහත්වීමේ බලය හිමිව තිබූ මහජන උපයෝගිතා කොමිසම වහාම වසා දමන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල මහතා වෙත ලිඛිතව දැනුම් දෙනු ලැබ ඇත.

එම කොමිසමේ දැනට සේවය කරන සේවකයින් ඒ ඒ සේවකයාගේ දක්ෂතා අනුව ඒ ඒ අංශවලට අනුයුක්ත කරන ලෙස ද තාක්ෂණික කාර්‍ය මණ්ඩලය භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට සහ බලශක්ති අමාත්‍යාංශයට අනුයුක්ත කරන ලෙස ද එම ලිපියේ දක්වා තිබේ.

එමෙන්ම අදාළ කොමිසම සතු බලතල පාරිභෝගික අධිකාරියට සහ විදුලිබල මණ්ඩලයට පැවරීමට නියමිත බව එම ලිපිය අනුව පෙනී යයි. තීරුබදු සහ සම්බන්ධිත නියාමන කටයුතු රජයේ විෂය පථයට අයත් වන බැවින්, මහජන උපයෝගිතා කොමිෂන් පනත ඉදිරියේදී ප්‍රතිස්ථාපනය කළ විට මහජන උපයෝගිතා කොමිෂන් පනතේ ඇතැම් විධිවිධාන පාරිභෝගික කටයුතු අධිකාරිය හා විදුලිබල මණ්ඩල පනතට ඇතුළත් කළ හැකි බව එහි සඳහන් වෙයි.

“කලක සිට ප්‍රමාදයට ලක්ව ඇති විදුලිබල උත්පාදන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළවල් නිර්මාණය කිරීම හා කාර්යක්ෂම වැඩ පරිසරයක් පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ විදුලි මණ්ඩලය වෙත යොමු කරන අයවැය යෝජනාවට මම ඔබේ අවධානය යොමු කරමි.

මෙවන් පසුබිමක මහජන උපයෝගීතා කොමිසම වසා දමන ලෙසට ඔබට උපදෙස් ලබා දෙන්නැයි මා හට දැනුම් දී තිබේ. ”

වඳින්න තියෙන දේවාලය කඩා දැමීම

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු MediaLK වෙත පැවසූයේ මෙතරම් කාලයක් විදුලි මිල වැඩීවම නවතාගෙන සිටියේ උපයෝගීතා කොමිසම බවත් දැන් එය අහෝසි කළ පසු කුමක් වේදැයි නොදන්නා බවත් ය.

“පාරිභෝගිකයින් හැටියට මේක කමයි අපිට වඳින්න තියෙන දේවාලය. දැන් මේ හදන්නේ  අපේ දේවාලය කඩා දමන්න ” යැයි ද ඔහු කීවේය.

ඒ මහතා මෙසේද කීවේය.

“අයවැයේදී අගමැතිවරයා පැවසුවේ උපයෝගීතා කොමිෂන් සභා පනත, විදුලි බල මණ්ඩල පනත කඩිනම් කරන්න කටයුතු කරනවා කියලයි. ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා හදන්නේ ආණ්ඩුව අපකීර්තියට පත් කරන්න තමයි. විදුලිය පාවිච්චි කරන්නන් හැටියට අපි මේක හෙලා දකිනවා, මේ කොමිසමට පැමිණිලි කරන අය විදියට. ඇප තැන්පතු කෝටි ගානක් තියෙනවා. මේවාට මොනවද වෙන්නේ මේ කොමිසම අහෝසි වුණාම. විදුලිය පාවිච්චි කරන අයට ගැටළුවක් ආවම පැමිණිලි කරන්න තිබ්බේ මේක විතරයි.

මේ තීරණය සම්පූර්ණයෙන් අයවැයට පරස්පරයි. අනික මේක අගමැතිවරයාගේ විෂය පථයට අයත් එකක්. මේකට උපදෙස් දුන්නේ කවුද කියලා සඳහන් කරලා නෑ. විදුලි මාෆියාව සමග එකතුවෙලා මේ තීරණය ආවද කියන එක සැකයි. උපයෝගීතා කොමිසම තමයි මෙච්චර කල් විදුලි මිල වැඩි වෙන්න දුන්නේ නැත්තේ. දූෂණයට වගකියන්න ඕනේ විදුලි බල මණ්ඩලය මිසක් විදුලි පාරිභෝගිකයා නෙමෙයි.

උපයෝගීතා කොමිසම අවසර දෙන්නේ නෑ කියනවා ව්‍යාපෘතිවලට. ඒත් හදිසි විදුලිය මිලදී ගන්න, මෙගා වොට් 100ක සුළං බලාගාරයට, LNG බලාගාරයට, දෙවැනි LNG බලාගාරයට අවසර දුන්නා. අවසර දුන්න සමහර ව්‍යාපෘතිවලට තවම විදුලි බල මණ්ඩලය කටයුතු කරලත් නෑ.

කොමිස් ගහගන්න හොඳයි මේක.. මෙය සෞභාග්‍යයේ දැක්ම අමු අමුවේ විනාශ කිරීමක්… විදුලි බල ඇමති වගකියන්න ඕනෑ. පස්සේ කමිටු හැදුවට වැඩක් නෑ.

හිටපු ඇමති රවී කරුණානායක මහතා ඉන්න වෙලේ තුර්කි නැවෙන් විදුලිය ගන්න උත්සහ කළා. අපි සංගමයක් හැටියට සෑහෙන සටනක් කළා. මේ දැන් ඉන්න අගමැතිම එවෙලේ විපක්ෂ නායක වෙලා ඉද්දි අපි එතුමාගෙන් සංගමයක් හැටියට ඉල්ලීමක් කළා. 225ටම අපි ලියුම් දැම්මා. ඒකට විරුද්ධව කටයුතු කළා. යූඇන්පියත් මේ කොමිසමේ බලය උදුරගන්න හැදුවා. ඒක අපි පරාජය කළා. අගමැතිතුමාට මේක කරන්න බෑ. විපක්ෂයේ ඉද්දි මේ තීරණයට විරුද්ධව කටයුතු කරපු මහින්ද අගමැතිවරයාට මේක මුලිනුපුටා දමන්න සහය දෙන්න බෑ. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අප කටයුතු කළා. එහෙම කරලත් මෙහෙම කරන්න බෑ. මේක ලේකම්තුමාගේ තනි වැඩක්ද කියලා සැකයි.

තව ආකාරයකින් කියනවා මේ කොමිසමට තියෙන බලය පාරිභෝගික අධිකාරියට දෙනවා කියලා. සහල් මිල, සීනි මිල, පොල් මිල පාලනය කරගන්න බැරි පාරිභෝගික අධිකාරිය කොහොමද විදුලි මිල පාලනය කරන්නේ. 90ට විකුණන්න ඕන සීනි 120ටත් වැඩි. හාලුත් එහෙමයි. එතකොට රජයට එන්න තියෙන බදු ඔක්කොම යන්නේ කළු කඩ මුදලාලිලට. එහෙම පාලනයක් නැති පාරිභෝගික අධිකාරියට මේක කරන්න බෑ. මේකට අපි තරයේම විරුද්ධයි. අපි පාරට බහිනවා මේක වු⁣⁣⁣ණොත්…

විදුලි බල නියාමනය විතරක් නෙමෙයි මේකට ජල සහ ඛණිජ තෙල් නියාමනය ද ඇතුළත් වෙනවා. කැබිනට් මණ්ඩලයෙන් ගන්න ඕන තීරණයක් තමයි මේ තනිව අරන් තියෙන්නේ. මේක කොමිස් මුදල්වලට හොඳයි. පාරිභෝගිකයාට අන්තිම නරකයි. මේකත් ප්ලෑන් එකක්ද කොහෙද? ආපු දවසේ ඉඳන් ආණ්ඩුව අපහසුතාවට පත්වෙන විදියේ වැඩ කරනවා මේ ලේකම්වරයා.

මහින්ද රාජපක්ෂ මහතා අයවැය කතාවේදී කිව්වා සෑම විදුලි පාරිභෝගිකයෙක්ම ව්‍යවසායකයෙක් කරනවා කියලා. අපිව ව්‍යවසායකයෙක් කරන්න කළින් අපිට අයිති මුදල දීලා ඉන්න. වෙන ඒවා එපා අපිට අයිති මුදල විතරක් දෙන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ. කෝටි 2500ක් පොලිය විතරක් තියෙනවා.

නීති විරෝධී බලාගාර ඉවත් කරනවා කියලා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. ඒවා අයින් කරනවා වෙනුවට කැබිනට් තීරණ දාලා ඒවා බලාත්මක කරලා මේ වගේ තීරණවලින් උපයෝගීතා කොමිසම අහෝසි කරන එකයි කරන්න යන්නේ. විදුලි බල මණ්ඩලයට දැන් බිලියන 100ක පාඩුවක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා 2015දී දෙද්දි බිලියන 20ක ලාභයක් තිබුණා.ගිය ආණ්ඩුව කාලයේදී බිලියන 80ක් පාඩුයි. මේ වසරෙත් බිලියන 20ක පාඩුවක් වෙලා. දැන් සම්පූර්ණ පාඩුව බිලියන 100ක් වෙලා.

මේ පාඩුව පුරවගන්න බිල ඉහළ නංවන්න විදුලි පාරිභෝගිකයාගෙන් අය කරන්න උත්සහ කරනවා. විදුලි මිල වැඩි කරන එක මෙච්චර කල් නවත්වගෙන හිටියේ උපයෝගීතා කොමිසමයි. දැන් ඒක ගැලෙවුවම මොකක් වෙයිද කවුද දන්නේ?”

වසර දහයක් විදුලි මිල වැඩී නොවූ හේතුව

උපයෝගීතා කොමිසම වසා දමන්නැයි මාධ්‍ය මගින් ප්‍රචාරය වූවද මෙතෙක් නිල දැනුම් දීමක් කර නැතැයි උපයෝගීතා කොමිසමේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා⁣ගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසීය.

විදුලි මිල පාලනය මෙතෙක් සිදු කළේ උපයෝගීතා කොමිසම බව ද 2011 සිට මේ දක්වා වසර දහයකට ආසන්න කාලයක් විදුලි මිල වැඩි වීමට ඉඩ නොතබා පාලනය කරනු ලැබුවේ උපයෝගීතා කොමිසම බව ද හෙතෙම සඳහන් කළේය. මේ වන තෙක් විදුලිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි 6000ක් ක්ෂණිකව විසඳා ඇතැයි ද ඒ හේතුවෙන් අධිකරණ කටයුතු සඳහා මහජනතාවට දැරීමට සිදුවෙන මුදල් නාස්තිය ඉතිරි කර ඇති බව ද ඔහු පැවසීය.

ඔහු කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මෙසේ පැහැදිලි කළේය.

” මේක බිහිවෙන්නේ විදුලි බලය, ජල සේවා සහ ඛණිජ තෙල් යන කර්මාන්ත තුන නියාමනය සඳහායි. ගාස්තු පාලනය, පාරිභෝගික ගැටළු විසඳීම, මෙම කර්මාන්ත තුනෙහි තාක්ෂණික ආරක්ෂණ කටයුතු නියාමනය වැනි දෑ කොමිසම මගින් සිදුකරනවා. මූලික වශයෙන් විදුලි බල මණ්ඩලය 2009 අංක 20 දරණ විදුලි බල පනත මගින් බලතල ලැබිලා තියෙනවා. විදුලි මිල සම්බන්ධයෙන් ගාස්තු පාලනය අපට පැවරෙනවා. 2011 සිට මේ දක්වා විදුලි මිල වැඩිවීමට නොදී පාලනය කරලා තියෙනවා. ඒ වගේම විදුලි ආරක්ෂණ, ප්‍රමිතීකරණය වගේ දේවල් අප විසින් සිදුකරනවා. විදුලි සැර වැදීම්වලින් සිදුවන අනතුරු අවම කිරීමට අප කටයුතු කර තිබෙනවා. විදුලිය සම්බන්ධයෙන් පැමිණිලි 6000ක් පමණ විසඳලා තියෙනවා අධිකරණය වෙත යාමට සිදුවීම වළක්වමින්. ඒ හරහා විශාල මුදල් නාස්තියක් වළක්වා තිබෙනවා. ගාස්තු සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන්නා මිල වැඩිනොවෙන්න නොදී.

ජල සේවා සම්බන්ධයෙන් තාම බලතල ලැබිලා නැහැ. නමුත් පානීය ජල ගැටළු විසඳන්නත් නිර්දේශ කර තිබෙනවා. පාරිභෝගික ප්‍රතිපත්තියක් සකස් කර තිබෙනවා. ඒ වගේම ස්වාභාවික වායු, ලිහිසි තෙල් නියාමනය ප්‍රමිති ආරක්ෂණය කරන්න කටයුතු කරනවා.

විද්‍යුත් වාහන හිමිකරුවන් සහ විදුලි රෝපණ මධ්‍යස්ථාන නියාමනය සිදුකරනවා. මේ වගේ පුළුල් පරාසයක අප නියාමන කටයුතු සිදුකරනවා.”

කොමිසමේ කාර්යය

බලපත්‍රලාභියාගේ වගකීම නිසි ලෙස ඉටුකිරීමට පසුබිම සෑදීම මගින් පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කර්මාන්තයේ යහපැවැත්මට කටයුතු කිරීම මෙම කොමිසමේ කාර්යය ලෙස දක්වා තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) භෞතික යටිතලපහසුකම් කර්මාන්තයන් නියාමනය කිරීම සඳහා බහු ආංශික නියාමන ආයතනයක් ලෙස පිහිටුවන ලදි. 2002 දී පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මඟින් විදුලිබල සහ ජල සේවා කර්මාන්ත සම්බන්ධයෙන් නියාමනය සිදු කිරීම සඳහා විධිවිධාන සපයන ලදි.

2006 මාර්තු මාසයේදී ඛණිජ තෙල් කර්මාන්තයද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මඟින් නියාමනය කළ යුතු කර්මාන්ත ලැයිස්තුවට එකතු කරන ලදි.

විදුලිබල කර්මාන්තයේ ප්‍රමාණවත් ආයෝජනයක්, කාර්යක්ෂම සැපයුමක්, සහ ගුණාත්මක සේවා තත්වයක් සහතික කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබලය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, සැපයුම සහ භාවිතය නියාමනය කරයි.

ඉහත දැක්වු යටිතල පහසුකම් කර්මාන්තයන් නියාමනය කිරීම සඳහා බහු ආංශික නියාමන ආයතනයක් ලෙස 2002 අංක 35 දරන පනත මඟින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පිහිටුවන ලදි.

එහි පළමු කොමසාරිස්වරුන් කණ්ඩායම සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමත් සමගම 2003 වර්ෂයේ සිට ආයතනයක් වශයෙන් සිය කටයුතු ආරම්භ කරන ලදී.

කොමිසමට බලය දුන් පනත්

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවනු ලබන අතර 2009 අංක 20 දරණ විදුලි බල පනත මගින් ශ්‍රී ලංකාවේ විදුලි බල කර්මාන්තය නියාමන කාර්යය පැවරෙන ලදී.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත සහ 2009 අංක 20 දරණ විදුලි බල පනත මෙම කොමිසමට බලය පවරයි.

ලිහිසි තෙල් කර්මාන්තය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙරට ලිහිසිතෙල් වෙළඳ පොළ ඡායා නියාමන ආයතනය ලෙස කරයි. ලිහිසිතෙල් වෙළඳපොල නිදහස් කිරීම සහ ශ්‍රී ලංකේය ප්‍රමිතිය සැකසීම මෙහි කාර්යය වෙයි.

ලිහිසි තෙල් වෙළඳපොල ඇතුළු සමස්ත ඛනිජතෙල් කර්මාන්තය නියාමනය කිරීම සඳහා කොමිෂන් සභාව වෙත බලතල ලබාදෙන පෙට්‍රෝලියම් නිශ්පාදන (විශේෂ ප්‍රතිපාදන) (සංශෝධිත) පනත සහ ලංකා පෙට්‍රෝලියම් සංස්ථා (සංශෝධිත) පනත, යන පනත් සඳහා සංශෝධන සිදුවෙමින් පවතී. එම සංශෝධන බලාත්මක වන තෙක් කොමිෂන් සභාව ඛණිජ තෙල් කර්මාන්තයෙහි ඡායාමාත්‍ර නියාමන සඳහා පැවරී ඇති බලතල අනුව ක්‍රියාත්මක වෙයි.

ජල සේවා

ජල සේවා කර්මාන්තයන්ට පොදු ජල සැපයුම් පද්ධතියක් යටතේ කවර හෝ නාගරික හෝ ග්‍රාමීය ප්‍රදේශයකට නළ ජලය සැපයීම මෙයට ඇතුළත් වේ. මෙයට ජල බවුසර මගින් ජලය සැපයීමත් පොදු මලාපවාහන සේවාත් ඇතුළත් වන නමුත් වාරි ජලය සහ බෝතල් කළ ජලය ඇතුළත් නොවේ. 2002 අංක 35 දරන කොමිෂන් සභා පනත යටතේ ජල සේවා කර්මාන්තය නියාමනය කොමිෂන් සභාවට පැවරෙනු ඇත. එනමුත් ජල සේවා කර්මාන්ත පණත ක්‍රියාත්මක වනතුරු කොමිෂන් සභාවට මෙම කර්මාන්තය නිල වශයෙන් නියාමනය කිරීමට බලයක් නැත.

2008 වසරේ මුල් භාගයේ දී කොමිෂන් සභාව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය හා එක්ව ජලය සැපයීමත් පොදු මලාපවාහන සේවාත් සඳහා පනතකට මුලපුරන ලදි. ජල සේවා කර්මාන්තයේ අපේක්ෂිත නියාමන කාර්ය්‍යභාරය නිසා කොමිෂන් සභාව ජල සම්පාදන සහ ජලාපවාහන අමාත්‍යාංශය හා සමඟ නිරන්තරය සංවාදයේ නිරතවෙමින් සිටී.

 

Previous articleමහවැලි අධිකාරිය වන සංරක්ෂණයට අයත් අම්පාර රඹකැන්ඔය වනාන්තර සමාගම් වලට බදු දෙයි
Next articleබඩු මිල අඩු කරනු ! – නිදහස උදෙසා කාන්තාවෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here