කෝප් වාර්තා මත ඕනෑම පුරවැසියෙකුට අල්ලස් කොමිසමට යන්න පුළුවන් – කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත්

(හසරිඳු රාජපක්ෂ)

කෝප් කමිටු වාර්තා නිර්දේශ මත පදනම්ව ඕනෑම පුරවැසියෙකුට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට හැකියාව තිබෙන බව කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

කෝප් කමිටුව වාර්තා නිකුත් කළද, එම වාර්තා ක්‍රියාත්මක වීමේ ඇති මන්දගාමී ස්වරූපය සම්බන්ධයෙන් MediaLK කළ විමසීමකදී චරිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කෝප් කමිටු සභාපතිවරයා මෙසේද පැවසීය.

“පාර්ලිමේන්තුව කියන්නේ ජනතාවගේ මූල්‍ය බලය ආරක්ෂා කරන ආයතනය. ඒ අරමුණ ඉෂ්ඨ කරන්න තමයි කෝප් කමිටුව හරහා අපි බලාපොරොත්තු වෙන්නේ. යම් ආයතනයක් ජනතාවගේ මූල්‍ය බලය වැරදි විදිහට භාවිතා කර තිබෙනවා නම් ඒ ගැන හොයලා, එම ආයතනවලට විරුද්ධව පියවර ගන්න කෝප් කමිටුව විදිහට අපි නිර්දේශ නිකුත් කරනවා. නමුත් ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ අපි නෙමෙයි, නීතිපතිවරයා. අමාත්‍යාංශ ලේකම්වරුන්ට අදාළ පියවර ගැනීමට හැකි වන ආකාරයටයි අපි නිර්දේශ නිකුත් කරන්නේ. ඔවුන්ට ඒ ගැන පියවර ගන්න පුළුවන්. ඒ වගේම මේ සම්බන්ධයෙන් පියවර ගන්න කැබිනට් මණ්ඩලයට හැකියාව තිබෙනවා. මේ වාර්තාවල නිර්දේශ මත පදනම්ව නීතිමය පියවර ගන්න නීතිපතිට පුළුවන්. මේ වාර්තාවල දත්ත මත පදනම් වෙලා ඕනෑම පුරවැසියෙකුට පුළුවන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන්න. ජනතාව ලබාදී තිබෙන බලය මත රාජ්‍ය ආයතන ගැන සොයා-බලා නිවැරදිව විමර්ශනයක් කරලා, ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි අපි කරන්නේ. එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියන්නේ ඒවා රටටම ඉදිරිපත් කරනවා කියන එකයි.  එම වාර්තා නිකුත් කළ පසුව ජනමාධ්‍යයටත් විශාල කාර්යභාරයක් තිබෙනවා. කෝප් කමිටු වාර්තාවක් ඉදිරිපත් කිරීමම ඉතාම වැදගත් කාර්යයක්. වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව මේ සම්බන්ධයෙන් පියවර ගැනීම මෙම කමිටුවට අයත් කාරණයක් නෙමෙයි.’

ප්‍රශ්නය : රාජ්‍ය ආයතනවල සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් කෝප් කමිටුවට පැමිණිලි කරන්න ජනතාවට අවස්ථාවක් නැහැ නේද?

ඇතැම් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කෝප් කමිටුව විමර්ශන ආරම්භ කළ විට ඇතැම් වෘත්තීය සමිති කෝප් කමිටුවට විස්තර දන්වා එවනවා. ඒ වගේම ඉදිරියට කෝප් කමිටුවට කැඳවන්න බලාපොරොත්තු වන ආයතන සමාජගත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය ආයතන ගැන විගණකාධිපති වාර්තාවට අමතරව දැනුම් දෙන්න තිබෙන කරුණු ජනතාවට තිබෙනවා නම් එවිට ඒ සඳහා අවස්ථාව තිබෙනවා. ඒ වගේම වෘත්තීය සමිති ඇතුළු ඕනෑම කෙනෙකුට ඒ අවස්ථාව තිබෙනවා.

ප්‍රශ්නය : 20 වැනි සංශෝධනය හේතුවෙන් කෝප් කමිටුවේ ක්‍රියාකාරිත්වයට බලපෑමක් එල්ල වී තිබෙනවාද?

20 වැනි සංශෝධනයේ මුල් කෙටුම්පතේ තිබුණු ඇතැම් වගන්තිවලින් කෝප් කමිටුවට බලපෑමක් තිබුණා. නමුත් අනුමත වුණු 20 වැනි සංශෝධනයට රජයේ සියලුම පොදු ව්‍යාපාරත්, 2007 සමාගම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නැවත සංස්ථාපිත ආයතනත්, රජයට යම් හෝ බලයක් තිබෙන සියලුම මණ්ඩල සහ අධිකාරීන්-සංස්ථා ආදී සියල්ලම ඇතුළත් වෙනවා. මේ නිසා 20 වැනි සංශෝධනයේ මුල් කෙටුම්පතේ තිබුණු ඇතැම් කරුණු මේ වන විට වෙනස් කර තිබෙනවා. ඒ අනුව 19 වැනි සංශෝධනයේ අන්තර්ගතවී ඇති ආකාරයටම මේ කරුණු තිබෙනවා.

ප්‍රශ්නය : කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පත්කිරීම, කෝප් කමිටුවේ කටයුතුවලට බාධාවක් කියලා ඔබ හිතන්නේ නැද්ද?

1979 කෝප් කමිටුව පිහිටවූවාට පසුව මේ දක්වා සභාපතිවරුන් 14 ක් කටයුතු කරලා තිබෙනවා. 14 වැනි සභාපතිවරයා වුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා. මම 15 වැනි සභාපතිවරයා ලෙසයි පත්වුණේ. මේ සභාපතිවරුන් 14 දෙනාගෙන් 10 ක්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙනුයි පත්වී තිබෙන්නේ. විපක්ෂයෙන් පත්වී තිබෙන්නේ 04 දෙනෙකු පමණයි. මේ නිසා කෝප් කාරක සභාවේ සභාපතිවරුන් අතරින් බහුතරයක් ආණ්ඩු පක්ෂයෙන් පත්වුණු සභාපතිවරුන් ඉන්නේ. ඒ වගේම කෝප් කියන්නේ ආණ්ඩු පක්ෂයද-විපක්ෂයද කියලා බෙදන කාරක සභාවක් නෙමෙයි. කෝප් කාරක සභාව තුළ සභික මන්ත්‍රීවරුන් 22 ක් ඉන්නවා. ඒ සියලුදෙනාම එකම කාරක සභාවක සමාජිකයෝ විදිහටයි වැඩ කරන්නේ. ඒ වගේම වැඩ කළ යුත්තේත් ඒ විදිහටයි. එහිදී කෝප් කමිටුවේ සභාපති ධුරයේ කාර්යයන් කරන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ සිටී නම් කිසිදු බාධාවකින් තොරව ඔහුව පත්කරනවා. මම මේ දක්වා වැඩ කළ කුඩා කාලය දෙස බැලුවත් පක්ෂ-විපක්ෂ දෙඅංශයටම සතුටුදායක විය හැකි ආකාරයට මම මේ කාරක සභාවේ වගකීම් විශ්වාසනීයභාවයෙන් යුතුව පවත්වාගෙන යනවා කියලා මම හිතනවා.

ප්‍රශ්නය : කෝප් කමිටුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී යම්-යම් වෙනස්කම් සිදුකරන්න බලාපොරොත්තු වෙනවාද?

රාජ්‍ය ව්‍යාපාරවල කටයුතු කිරීමේදී නෛතික තත්ත්වයට පිටතින් කටයුතු කරලා තියෙනවාද කියලා තමයි දැනට කෝප් කමිටුවෙන් හොයලා බලන්නේ. නමුත් රාජ්‍ය ආයතන විසින් ගන්නා සංවර්ධනාත්මක තීන්දු-තීරණවලින් ජනිත කරන ප්‍රතිඵල පිළිබඳවත් ඉදිරියේදී විමසා බලන්න අපි තීරණය කරලා තිබෙනවා. ඒ වගේම අපි බොහෝවිට කෝප් කමිටුවේ ගන්න තීන්දු-තීරණ අවසන් වාර්තාවෙන් දැනුම් දෙන තුරු නොසිට, ඒ ඒ අමාත්‍යාංශ හෝ පොදු ආයතන වෙත අන්තර් දැනුම්දීම් යොමුකරන්න අපි කටයුතු කරනවා. දැනටමත් අපි එය යම් පමණකට ආරම්භ කරලා තිබෙනවා.

Previous articleමහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයෝ ඉල්ලා අස්වෙති
Next articleඅයිඑස්ට එරෙහිව කවි ලියා රැඳවුම්බාරයේ සිටින තරුණයා ගැන සොයා බලන්නැයි ඉල්ලීමක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here