පානදුර වෙරළට ආ තල්මසුන් යළි දියඹට

පානදුර වෙරළ තීරයට පැමිණි තල්මසුන් විශාල ප්‍රමාණයක් යළි දියඹට යොමුකිරීමට කටයුතු කළ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අඩි 10 – 25 ප්‍රමාණයේ තල්මසුන් සියයක් පමණ පානදුර වෙරළ තීරයේදී දක්නට ලැබුණු අතර මෙසේ තල්මසුන් විශාල ප්‍රමාණයක් පැමිණීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිවිය.

මීට පෙර මෙවැනි තල්මසුන් රංචුවක් ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයකට පැමිණ තිබිණි.

ඩොල්ෆින් කුලයට අයත් තල්මසුන්

මෙලෙස පානදුර වෙරළ තීරයට පැමිණ ඇත්තේ ඩොල්ෆින් කුලයට අයත් තල්මසුන් විශේෂයක් බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හදුනාගෙන තිබේ. Globicephala macrorhynchus යන විද්‍යාත්මක නමින් මෙම තල්මසුන් විශේෂය හදුන්වන අතර මොවුන් සැමවිටම විශාල පිරිසක් ලෙස ගමන් කරන බවට එම ආයතනය හදුනාගෙන ඇත.

තල්මසුන් වෙරළට පැමිණීම
 
තල්මසුන් සෑමවිටම රංචු වශයෙන් ගමන්ගන්නා බවත් බොහෝවිට ආහාර සහිත දියවැලකට හසුවු විට ඔවුන් ඒ දියවැල් මාර්ගය ඔස්සේ ගමන් ගන්නා බවත් එම දියවැල වෙරළ දෙසට පැමිණීමේදී ඔවුන් ඒ ඔස්සේ වෙරළට පැමිණියා විය හැකි බවත් නාරා ආයතනයේ ජලජ ජීවීන් සම්බන්ධ ජේෂ්ඨ විද්‍යාඥ උපුල් ලියනගේ මහතාගෙන් මේ ගැන කළ විමසීමකදී පැවසීය.

එසේම රංචු වශයෙන් ගමන් ගැනීමේදී ඇතැම්විට අසනීපවන තල්මසුන් හෝ වයස්ගත තල්මසුන් වෙරළට ගසාගෙන එන බව ද ඔවුන්ව බේරාගැනීමට අනිකුත් රංචුව මේ ආකාරයට වෙරළට පැමිණීමට හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ලෝකයේ වෙරළ ආශ්‍රිත චුම්බකබලය සහිත ස්ථාන වෙතද තල්මසුන් රංචු මේ ආකාරයට පැමිණෙන නමුත් ශ්‍රී ලංකා වෙරළ තීරය ආශ්‍රිතව චුම්බක බලය සහිත ස්ථානයක් මෙතෙක් හදුනාගෙන නොමැති බව උපුල් මහතා සඳහන් කළේය.

ප්‍රවේශම් කළ යුතු සත්ව කොට්ඨාසයක්

ශරීර ප්‍රමාණයෙන් විශාල තල්මසුන් වෙරළට පැමිණියහොත් ඔවුන් යළි මුහුදට යොමුකිරීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතුව ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජීවින් සම්බන්ධයෙන් කටයුතු කරන අතර මෙම තල්මසුන් ආරක්ෂාකාරීව මුහුදට යොමුකිරීමට කටයුතු කර තිබුණි.

  • ප්‍රමාණය: කිලෝග්‍රෑම් 1,000 – 3,000 (වැඩිහිටි)
  • විද්‍යාත්මත නාමය – Globicephala macrorhynchus
  • ආයු කාලය: අවුරුදු 45 යි
  • ඉහළ වර්ගීකරණය: නියමු තල්මසුන් (Pilot whales)
  • දිග:
    පිරිමි: මීටර් 5.5 (වැඩිහිටි)
    ගැහැණු: මීටර් 3.7 (වැඩිහිටි)

Previous articleඅවිධිමත් අංශයේ කම්කරුවන් හට විධිමත් යාන්ත්‍රණයක්
Next articleනිරෝධායන ක්‍රියාවලිය ගැන පවිත්‍රාට – ශවේන්ද්‍රට මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here