නිරෝධායන ක්‍රියාවලිය ගැන පවිත්‍රාට – ශවේන්ද්‍රට මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ

නිරෝධායනය කිරීමට නියමිත තැන් පිළිබඳව නිරෝධායනය කිරීමේ කටයුතු සිදුකරන බලධාරීන් විසින් මාධ්‍යයට දැනුම් දීම තහනම් කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුම් දෙයි.

නිරෝධායන ක්‍රියාවලීන් විධිමත් කිරීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රි⁣යාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජනරාල් ⁣ශවේන්ද්‍ර සිල්වා මහතාට මාර්ගෝපදේශ නිකුත් කරමින් එම කොමිසම මේ බව දැන්වීය.

නිරෝධායනය කෙරෙනු ලබන පුද්ගලයන් වෛරසයේ අවාසනාවන්ත වින්දිතයින්ට වඩා වැරදිකරුවන් යැයි හැඟෙන පරිදි බාහිර සමාජයට පෙන්වීම වැළැක්වීම සඳහා මෙලෙස මාධ්‍යයට එම තොරතුරු ලබාදීම තහනම් කරන්නැයි එම කොමිසම උපදෙස් ලබා දී තිබේ.තවද නිරෝධායන කාල සීමාව තුළ නිරෝධායනය වන්නන්ට වැටුප් හෝ නිවාඩු ලැබෙන බවට සහතික කරන්නැයි ද නිරෝධායනයෙහි යෙදී සිටින අයගේ පවුල් සඳහා මූල්‍ය හෝ වෙනත් ආධාර ලැබෙන බවට සහතික කරන්නැයි ද එම කොමිෂන් සභාව මාර්ගෝපදේශවල සඳහන් කර තිබේ.

එමෙන්ම පුද්ගලයෙකු නිරෝධායනය කළ වහාම ග්‍රාම නිලධාරි දැනුම්වත් කරන ලෙසත් නිරෝධායනය වන අයගේ පවුල්වල අවදානමට ලක්විය හැකි යැපෙන්නන් නිවසේ තනිකර දමා ඇති තත්වයන්වලදී ඒ සම්බන්ධයෙන් නිසි බලධාරීන් දැනුවත් කිරීම සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට අවශ්‍ය සියලු සහය ලබා දීම සහතික කිරීම සඳහා ග්‍රාම නිලධාරිවරුන්ට උපදෙස් ලබාදිය යුතු බවද එම මාර්ගෝපදේශවල දැක්වෙයි.

නිසි අධිකාරිය විසින් බලතල පැවරීමේදී විනිවිදභායක් තිබිය යුතු බවටද කොවිඩ්-19 සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේ බලය නම් කරන ලද සුදුසුකම් ලත් පිරිසකට පැවරිය යුතු බවටද නිරෝධායන මධ්‍යස්ථාන ලෙසට නම් කර ඇති ස්ථාන සහ ‘නිසි අධිකාරිය’ ලෙස නම් කර ඇති බලධාරීන් පිළිබඳ ලැයිස්තුගත කළ යුතු බවද එම කොමිසම සඳහන් කරයි. තවද අවශ්‍ය නිරෝධායන කාල සීමාව සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් කරන ලෙසත් නිරෝධායනය වන පුද්ගලයන්⁣ට රිසිට්පත් පද්ධතියක් සකසන ලෙසත් එම කොමිසම මාර්ගෝපදේශවල දක්වා තිබේ. එහිදී නිරෝධායනය කිරීමට හේතුව, ඔවුන් රැගෙන යන ස්ථානය සහ හුදකලා කිරීමේ කාලය වැනි කරුණු ඇතුළත් කර කරන ලෙසටද දක්වා ඇත.

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල බාහිර පරීක්ෂාව නිසි අධිකාරියක් මගින් සිදුකළ යුතු බවටද එම කොමිසම සඳහන් කරයි.

කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට පටහැනිව ක්‍රියා කිරීමට හෝ පොදුවේ මහජනතාවගේ සෞඛ්‍යයට හානිකර වන පරිදි ක්‍රියා කිරීමට මෙම නිර්දේශයන්හි කිසිවක් කිසිදු පුද්ගලයෙකු විසින් යොදාගැනීම නොකළ යුතු බවටද එම කොමිසම අවධාරණය කරයි.

එම මාර්ගෝපදේශ ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනය පහතින්

“COVID-19 රට තුළ වේගයෙන් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගන්නා සියලු උත්සාහයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පැසසුමට ලක් කරයි.වර්තමානයේ රට මුහුණ දී සිටින අසාමාන්‍ය සෞඛ්‍ය හදිසි අවස්ථාව හේතුවෙන් මහජන සෞඛ්‍යය හා මහජන සාමය උදෙසා මහජනතාවගේ ගමන් කිරීමේ නිදහස සහ අනෙකුත් ක්‍රියාවලීන්වල නිදහස සීමා කිරීමේ අවශ්‍යතාව කොමිසම විසින් අඛණ්ඩව පිළිගනී.

COVID-19 වසංගතය පැතිරීම සැලකිල්ලට ගනිමින් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් නිරෝධායන ක්‍රියාවලියට භාජනය කර ඇති බව නිරීක්ෂණය වී ඇති අතර එම ක්‍රියාවලියට අදාළව විවිධ පැමිණිලි සහ ප්‍රකාශ ද ලැබී තිබේ.

කලින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවූවද මින් ඉදිරියට කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ පළමු ආශ්‍රිතයින්  නිවෙස් නිරෝධායනයට යොමු කිරීම පිළිගත හැකි කරුණකි. පුද්ගලයන් තම නිවෙස්වල නිරෝධායනය කිරීම හොඳම විකල්පය වනු ඇති බවට අපි ද එකඟ වෙමු.

මෙලෙස නිදහස පිළිබඳ වන සීමාවන් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට අනුකූලද යන්න පරීක්ෂා කිරීමට 1996 අංක 21 දරණ පනත යටතේ කොමිෂන් සභාවට පැවරී ඇති හෙයින්, කොමිසම පහත සඳහන් මාර්ගෝපදේශ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙයි.

පහත පරිදි නිරෝධායන ක්‍රියාවලිය නීතිය යටතේ විධිමත් කළ හැකිය.

(i) ‘නිසි අධිකාරිය’ විසින් බලතල පැවරීමේදී විනිවිදභාවය

(ii) පරීක්ෂණ කිරීමේ බලය නම් කරන ලද සුදුසුකම් ලත් පිරිසකට පැවරීම

(iii) නිරෝධායන මධ්‍යස්ථාන ලෙසට නම් කර ඇති ස්ථාන සහ ‘නිසි අධිකාරිය’ ලෙස නම් කර ඇති බලධාරීන් පිළිබඳ ලැයිස්තුගත කිරීම

(Iv) අවශ්‍ය නිරෝධායන කාල සීමාව නිසි පරිදි පැහැදිලි කිරීම

(v) නිරෝධායනය සඳහා හේතුව, ඔවුන් රැගෙන යන ස්ථානය සහ හුදකලා කිරීමේ කාලය වැනි කරුණු ඇතුළත් කර නිරෝධායනය වන පුද්ගලයින් සඳහා රිසිට්පත් පද්ධතියක් සැකසීම

(vi) නිරෝධායන මධ්‍යස්ථානවල බාහිර පරීක්ෂාව “නිසි අධිකාරියක්” මගින් සිදුකිරීම

(vii) නිරෝධායනය කෙරෙනු ලබන පුද්ගලයන් වෛරසයේ අවාසනාවන්ත වින්දිතයින්ට වඩා වැරදිකරුවන් යැයි හැඟෙන පරිදි බාහිර සමාජයට පෙන්වීම වළක්වමින් නිරෝධායනය කිරීමට නියමිත තැන් පිළිබඳව නිරෝධායනය හසුරුවන්නන් විසින් මාධ්‍යයට දැනුම් දීම තහනම් කිරීම

නිරෝධායන ක්‍රියාවලිය මගින් ඇති වන දුෂ්කරතා පහත කරුණු මගින් ද අවම කරගත හැකි බව කොමිසමේ අදහසයි.

(i) නිරෝධායන කාල සීමාව තුළ නිරෝධායනය වන්නන්ට වැටුප් / නිවාඩු ලැබෙන බවට සහතික කිරීම

(ii) නිරෝධායනයෙහි යෙදී සිටින අයගේ පවුල් සඳහා මූල්‍ය හෝ වෙනත් ආධාර ලැබෙන බවට සහතික කිරීම

(iii) පුද්ගලයෙකු නිරෝධායනය කළ වහාම ග්‍රාම නිලධාරි වහාම දැනුම්වත් කිරීම

(iv) නිරෝධායන ක්‍රියාවලිය හේතුවෙන් එලෙස නිරෝධායනය වන අයගේ පවුල්වල අවදානමට ලක්විය හැකි යැපෙන්නන් නිවසේ තනිකර දමා ඇති තත්වයන් තුළ, නිසි බලධාරීන් දැනුවත් කිරීම ඇතුළුව අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට අවශ්‍ය සියලු සහය ලබා දීම සහතික කිරීම සඳහා ග්‍රාම නිලධාරිවරයාට උපදෙස් දීම

කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට පටහැනිව ක්‍රියා කිරීමට හෝ පොදුවේ මහජනතාවගේ සෞඛ්‍යයට හානිකර වන පරිදි ක්‍රියා කිරීමට මෙම නිර්දේශයන්හි කිසිවක් කිසිදු පුද්ගලයෙකු විසින් යොදාගැනීම නොකළ යුතු බව කොමිසම අවධාරණය කරයි.

රාමනි මුත්තෙට්ටුවේගම
කොමසාරිස් – ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව”

Previous articleපානදුර වෙරළට ආ තල්මසුන් යළි දියඹට
Next articleකොරෝනා මරණ භුමිදානය කිරීම ගැන සලකා බැලීමට පත් කළ කමිටුව මේ සතියේ රැස්වෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here