අවිධිමත් අංශයේ කම්කරුවන් හට විධිමත් යාන්ත්‍රණයක්

‘පරපුර’ පිටුව MediaLK (මීඩියා එල්කේ) අපි වෙන්කර ඇත්තේ තරුණ පරම්පරාව වෙනුවන්මයි. රට කරවන හැටි ගැන, දේශපාලන වෙනස්වීම් ගැන, සමාජ ප්‍රශ්න ගැන, පරිසර ගැටලු ගැන, රටේ ප්‍රතිපත්ති ගැන, දූෂණ වංචා ගැන සහ වෙනත් ගවේශනාත්මක කාරණා ගැන ඔබේ අදහස්වලට ඉඩක් දෙන්න අපි සූදානම්. ඔබේ ලිපිය සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ඕනෑම භාෂාවකින් එවිය හැකියි.
parapura.medialk@gmail.com

අද පරපුර ඉඩ වෙන් කරන්නේ කල්ප මධුරංග විසින් ලියන ලද ලිපියකටයි.

ලංකාවේ ශ්‍රම බලකායෙන් සාතිශ්‍ය බහුතරයක් අවිධිමත් අංශයේ කම්කරුවන්ය. මොවුන්ගෙන් බහුතරයක් දෛනික වැටුප් කම්කරුවන්ය. එසේත් නොමැතිනම් එදා වේල හම්බකරන මිනිස්සු ලෙසද හැඳින්විය හැකිය. රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින සහ ව්‍යාප්තව ඇති කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රට තුළ සමස්ත ජන ජීවිතය අඩාල වී ඇති ආකාරයක් දක්නට ලැබේ. මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රජය ගත් පියවරක් ලෙස ඇඳිරිනීතිය පනවා ඇති අතර එය විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙමින් පවතියි. මෙවන් තත්ත්වයක් තුළ රටේ පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ කම්කරුවන් යම් කිසි ගැටළුකාරී තත්ත්වයන් යටතේ වුවද මාසික වැටුප් ලබමින් තම එදිනෙදා කටයුතු නිවසේ සිට සිදු කරමින් සිටී.

රජය ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි දැක්වූ දැඩි උනන්දුවම ඔවුන්ව පත් කළ කම්කරුවන් කෙරෙහිද යොමු කළ යුතුයි. රට තුළ නැවත වරක් සීග්‍රයෙන් පැතිරෙමින් තිබෙන වසංගත තත්ත්වයත් පසුව බලපවත්වන ලද ඇඳිරිනීතියත් නිසා අවිධිමත් අංශයේ රැකියා කරන කම්කරුවන්ගේ රැකියා අහිමි වී ඇත. ඒ අතර ගෘහ සේවකයින්, වෙළඳ සහයකයින්, වීදි වෙළෙන්ඳන්, බර ඔසවන්නන් (නාටාමි), ස්ථිර පදනමක් නොමැතිව සේවය කරන ඇඟළුම් කම්කරුවන්, ලොතරැයි අලෙවි කරන්නන්, ඉදිකිරීම් කම්කරුවන්, ධිවරයින්, පෙරපාසල් ගුරුවරුන්, කුලී රථ රියදුරන්, පිරිසිදු කරන්නන් යනාදී බොහෝ අවිධිමත් අංශ වල රැකියා කරන කම්කරුවෝ මෙම වසංගතයෙන් දැඩි ලෙස පීඩා විඳිති.

රැකියා අහිමි වීමත් සමග ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සපයා ගැනීමේදී දැඩි දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුව ඇති අතර ඔවුන් බොහෝ දෙනා දෛනික වැටුප් කම්කරුවන් නිසා නැවත රැකියා සිදු කළ හැකි වාතාවරණයක්ද ඉදිරියේදී අවිනිශ්චිතය.

ගම්පහ දිස්ත්‍රික්කයට සහ කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා පැනවූ ඇඳිරි නීතිය පසුව බස්නාහිර පළාතටම පැනවීමට රජය තීරණය කිරීමත් සමග පසුගිය මාර්තු මාසයෙන් පසුව මුහුණදුන් අර්බුදයන්ට නැවත මෙම කම්කරුවන්ට මුහුණ දීමට සිදුව ඇත. ජීවිකාව අහිමිවීම තුළ අත්‍යාවශ්‍ය අහාර පාන, ඖෂධ, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු සියලු අවශ්‍යතා අහිමිවීමත් ඒ හේතුවෙන් බිඳ වැටුණු සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් වීමටත් පෙර නැවත එවන් තත්ත්වයකට මුහුණදීමට සිදු වීම ඛේදනීය තත්ත්වයකි.

රාජගිරිය, බොරැල්ල, දෙමටගොඩ, ඔරුගොඩවත්ත, කොලොන්නාව, මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශ වල ප්‍රොටෙක්ට් සංගමයේ ගෘහ සේවක සහෝදරියන් සඳහන් කළේ ඔවුන් බොහෝ දෙනෙකුට නැවත දැනුම් දෙන තුරු රැකියාවට නොපැමිණෙන ලෙසට ඔවුන්ගේ හාම්පුතුන් විසින් දැනුම් දෙනු ලැබූ බවයි. පිට පළාත් වලින් පැමිණ කොළඹ ප්‍රදේශයේ නැවතී සේවය කරන ගෘහ සේවක කම්කරුවෝ ද විවිධ ගැටළු වලට මුහුණ දෙමින් සිටිති. ඔවුන් නැවතී සේවය කරන පිරිසක් බැවින් ඔවුන්ගේ වැටුප සම්බන්ධව නිතර නිතර පැමිණිළි ලැබෙන අතර ඔවුන් වසංගතය හේතුවෙන් නිවෙස් වලට යාමට උත්සාහ කිරිමේදී වැටුපෙන් කොටසක් පමණක් ලබා දෙන බවට ද පැමිණිළි ලැබේ.

නාට්ටාමි රැකියාවේ නිරත කම්කරුවකු පැවසුවේ මැනිං වෙළෙඳ පොළ වසා දැමීමත් සමග ඔවුන්ගේ දෛනික ආදායම පහත වැටී ඇති බවත් ඉදිරියේ දී එය ද අහිමි විය හැකි බවත්ය. රජය විසින් මෙම රැකියා අහිමි වූ අවිධිමත් කම්කරුවන් වෙනුවෙන් පසුගිය වසංගත තත්ත්වය තුළදී ද කිසිදු ආකාරයක නිශ්චිත වැඩපිළිවෙලක් සකස් නොකළ බව එම කම්කරුවෝ පවසති. ඒ තුළ දරා ගත නොහැකි ණය කන්දරාවකින් හෙම්බත් වී සිටින අතර නැවත ඇති වූ මේ තත්ත්වය තුළ දරුවන් සමග සියදිවි නසා ගැනීම හැර වෙන කළ හැකි දෙයක් නොමැති බව ඔවුහු පවසති.

හැටන් ප්‍රදේශයේ අවිධ්මත් අංශයේ කම්කරුවන්ගේ තත්ත්වය මීට දෙවැනි නැත. හැටන් ශාඛාවේ සාමාජිකයින් සඳහන් කරන්නේ පෙර ඇති වූ වසංගත තත්ත්වය නිසා ඇති වූ ප්‍රශ්නවලට අමතරව නැවත වරක් ඉහිලිය නොහැකි තත්ත්වයේ ප්‍රශ්න කන්දක් කඩා වැටී ඇති බවයි. කලින් රජය ලබා දුන් සහනාධාරයද නිසි ලෙස ලැබුණේ නැති බව සඳහන් කළ ලොතරැයි අලෙවි කරන කම්කරුවෙකු පැවසූවේ මෙවර එම සහනාධාරය නිරෝධායනය වන අයට පමණක් ලබා දීමට යන බවයි.

ගෘහ සේවිකාවක පැවසුවේ දවසට රුපියල් 300ත් 500ත් අතර හම්බ කළ ඇය මේ වන විට කිසිවක් කරකියාගත නොහැකිව අසරණ වී සිටින බවයි. කලින් වසංගතය අවස්ථාවේ ජීවත්වීමට ගත් ණය තවමත් ගෙවා අවසන් නැති අතර නැවත ණයක් හෝ ගැනීමට කිසිවකුත් ඉතිරි වී නැති බවය. හෙට දවස ගත කරන්නේ කෙසේද කියා සිතන විට සහ ළමයින් බඩගින්නේ සිටින විට උහුලාගත නොහැකි වේදනාවක් දැනෙන බව පවසන ඇය පවසන්නේ රජය විසින් ඔවුන්ට සහනයක් සැලසිය යුතු බවයි.

කොළඹ අවට ඇඟලුම් කර්මාන්ත සේවකයින් පිළිබඳ සියලු දෙනාගේම අවධානය යොමු වී ඇත. ඔවුන් දැඩි ලෙස ආර්ථික සහ සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන බව සැබෑය. ඒ වෙනුවෙන් රජය පැහැදිලි වැඩපිළිවෙලක් ඔස්සේ ක්‍රියා කරන ආකාරයක්ද දක්නට නැත. නමුත් අපට නිතරම මුණ ගැසෙන නමුත් අපට ගැටළු නොපෙනෙන කම්කරු ප්‍රජාවක් ඇත. ඒ අවිධිමත් අංශයේ කම්කරුවන්ය. මේ රටේ කම්කරු ප්‍රජාවගේ සාතිශය බහුතරය ඔවුන්ය. ඔවුන්ද මේ ආර්ථිකයට දායක වන කම්කරුවන්ය. නමුත් ඔවුන්ව කිසිවකුගේ අවධානයට ලක් නොවීම කණගාටුවට කරුණකි.

ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට රජය මැතිවරණ, ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි දැක්වූ දැඩි උනන්දුවම ඔවුන්ව පත් කළ දුප්පත් මිනිසුන් කෙරෙහිද යොමු කරන ලෙසත් වසංගත තත්ත්වය තවදුරත් උග්‍ර වීමට පෙර අවිධිමත් කම්කරුවන් වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් ය.

කල්ප මධුරංග – ප්‍රොටෙක්ට් සංගමය

(ප්‍රොටෙක්ට් සංගමය යනු පෞද්ගලික සහ අවිධිමත් අංශයේ කම්කරුවන් සංවිධානය කිරීම වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෘත්තීය සමිතියකි.)

Previous articleපොසිටිව් පීසීආර් නෙගටිව් වන්නේ සෞඛ්‍ය සේවය නොසලකා හැර ඇති නිසා ද?
Next articleපානදුර වෙරළට ආ තල්මසුන් යළි දියඹට

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here