Home පුවත් පොසිටිව් පීසීආර් නෙගටිව් වන්නේ සෞඛ්‍ය සේවය නොසලකා හැර ඇති නිසා ද?

පොසිටිව් පීසීආර් නෙගටිව් වන්නේ සෞඛ්‍ය සේවය නොසලකා හැර ඇති නිසා ද?

0
පොසිටිව් පීසීආර් නෙගටිව් වන්නේ සෞඛ්‍ය සේවය නොසලකා හැර ඇති නිසා ද?
(ශාලික විමලසේන)

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇද්දැයි හඳුනාගැනීම සම්බන්ධයෙන් සිදු කරන පීසීආර් (PCR – Polymerase Chain Reaction) පරීක්ෂණ වාර්තාවලට අනුව වෛරසය ආසාදිත යැයි හඳුනාගත් පුද්ගලයන්ගේ දෙවැනි පීසීආර් වාර්තා මගින් වෛරසය ආසාදනය වී නොමැති බව පෙන්වීම ගැටළු සහගත තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෙය රසායනාගාරවල අඩුපාඩු නිසා හෝ වෙනත් හේතුවක් නිසා සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ අවධානය යොමු කර තිබේ. ස්වාධීන රුපවාහිනී සේවයේ සේවය කරන මාධ්‍යවේදියා, හලාවත ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයා, මෙරටදී ආසාදිතයකු බව පෞද්ගලික රෝහලකින් හඳුනාගත් රුසියානු ජාතික තරුණයා ඇතුළු මේ ආකාරයේ සිදුවීම් ගණනාවක් පසුගිය සති කිහිපයේදී වාර්තා විය.

රසායනාගාර දුර්වලතා රැසක්

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේෂ් සඳහන් කළේ එසේ ආසාදිත බව පරීක්ෂණ වාර්තා මගින් තහවුරු වූ රෝගියකු, දින කිහිපයක් තුළ ආසාදිතයකු නොවීමට ඇති ඉඩකඩ අවම බවයි. එවැනි තත්ත්වයක් පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, ඊට හේතුවන කරුණු කිහිපයක් ඇති බවත් පෙන්වා දුන් සභාපතිවරයා, අදාළ හේතු මෙසේ පැහැදිලි කළේය.

‘එහෙම වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. නමුත් රසායනාගාරයෙ යම් වරදක් නිසා එහෙම වෙන්න පුළුවන්. දෙවැනි හේතුව තමයි, රෝගියාගේ ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙලා ප්‍රතිදේහවලින් වෛරස් එක මර්දනය වෙන එක. හැබැයි ඒකට දවස් දාහතරක් – පහළොවක් යනවා.

පොසිටිව් වුණු පීසීආර් එකක්, නෙගටිව් වෙනවා කියන්නෙ රසායනාගාරයේ ප්‍රශ්නයක් විදිහට ගත්තොත්, ඒකට එක හේතුවක් තමයි, රසායනාගාරයේ ඒ පරීක්ෂණයට අදාළ උපකරණ පද්ධතිය හරියට නැති එක. උදාහරණයක් විදිහට අපි හොයාගෙන තියෙනවා, රිසර්ච් යූස් ඔන්ලි එහෙම නැත්නම් පර්යේෂණවලට විතරක් තියෙන ප්‍රතික්‍රීයක භාවිත වෙනවා කියලා. ඒවට ලොකු ධාරිතාවක් දෙන්න බෑ. ප්‍රශ්න ඇතිවෙනවා. එරර් ප්‍රසන්ටේජ් එක එහෙම නැත්නම් වැරදීම් වීමේ ප්‍රතිශතය වැඩිවෙන්න පුළුවන්. අනෙක් පැත්තෙන් විශ්වවිද්‍යාලවල තියෙන උපකරණ මේවට භාවිත කරනවා. ඒවා සායනික කටයුතුවලට සකස් කරලා නෑ. ඒකෙනුත් වරදින්න පුළුවන්.

තවත් කාරණයක් තමයි, මැෂින් එකෙන් එන තාක්ෂණික වාර්තාව නිවැරදිව කියවගන්න ඕනෙ. ඒකට දැනුම, අත්දැකීම් තියෙන කෙනෙක් ඕනෙ. ප්‍රයිවට් සෙක්ටර් එකේ විශේෂයෙන් අපි මේ අඩුව දකිනවා. මේ කාරණා නිසා වැරදි රිපෝට් එකක් එන්න පුළුවන්. එහෙම නැතුව පොසිටිව් රිපෝට් එකක් හිටිහැටියෙ නෙගටිව් වීමට තියෙන ඉඩ ඉතාම අවමයි. ඒත් නෙගටිව් එකක් පොසිටිව් වීමේ ඉඩක් තියෙනවා. ඒකට හේතුව පීසීආර් ටෙස්ට් එකට එන සාම්පලයේ වරදක් හෝ ප්‍රමාණවත් නොවීමක් වෙන්න පුළුවන්.’

බරපතළ තත්ත්වයක්

රසායනාගාර වෘත්තීයවේදීන් අවධාරණය කරන මේ කරුණු සම්බන්ධයෙන් විමසීමේදී වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ පැවසුවේ රසායනාගාරවල එවැනි තත්ත්වයක් තිබේ නම්, එය බරපතළ ලෙස සැලකිය යුතු බවයි. විශේෂයෙන්ම සීග්‍රයෙන් ව්‍යාප්ත වන මෙම වෛරසය හඳුනාගැනීම සඳහා ඇති අවම ඉඩ වඩාත් සාර්ථක ලෙස භාවිත කිරීමට කටයුතු කිරීම සියල්ලන්ගේ වගකීමක් බව ද ඔහු පෙන්වා දුන්නේය. මීට වඩා වෙනස් අදහසක් පළකර තිබෙන ජාතික බෝවන රෝග වෛද්‍ය විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමට අනුව වෛරසයේ ක්‍රියාකාරිත්වය මත පදනම්ව පරීක්ෂණ වාර්තා වෙනස් වීමේ ඉඩක් ද තිබේ.

මීට පෙර, මාර්තු 11 වැනිදා සිට මෙරට පැවැති කොවිඩ් 19 පළමු රැල්ල අවස්ථාවේ ද මෙසේ පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන් කතාබහක් ඇති විය. එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් වෛද්‍ය රසායනාගාර විද්වත් ආයතනය සඳහන් කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතනවලින් නිකුත් කරන ලද පීසීආර් වාර්තා එවැනි ගැටළු මතුකර නැති බවයි. මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව ද එම ආයතනය පසුගිය මැයි මාසයේදී මාධ්‍යයට පවසා තිබිණි. පරීක්ෂණ වාර්තා 13 ක් සම්බන්ධයෙන් පසුගිය මැයි මාසයේදී මෙසේ ගැටළු සහගත තත්ත්වයක් මතු වී තිබූ අතර, ඒ අතරින් බහුතරයක් මුලින් ආසාදිතයකු බව තහවුරු කොට, පසුව ආසාදිත නොවන බව දැක්වූ වාර්තා ය.

කාල රාමුව

මේ වනවිට ජාතික බෝවන රෝග වෛද්‍ය විද්‍යායතනයේ ක්‍රියාත්මක ක්‍රමවේදයට අනුව පළමු පීසීආර් පරීක්ෂණයෙන් පසු දින 7 ත්, 10 ත් අතර කාලයකදී දෙවැනි පීසීආර් පරීක්ෂණය සිදු කෙරේ. ඉන්පසු දින 4 ක් තුළ තුන්වැනි පරීක්ෂණය සිදු කෙරේ. දින 14 ක කාලයක් ආවරණය කිරීම මෙමගින් සිදු කෙරෙන බව එම විද්‍යායතනයේ වෛද්‍යවරයෙක් සඳහන් කළේය. පසුගිය කාලයේදී ආසාදිත බව තහවුරු වී, ආසාදිත නොවන බව පරීක්ෂණ වාර්තා මගින් තහවුරු වූ පුද්ගලයන්ට දෙවැනි පීසීආර් පරීක්ෂණ සිදුකර තිබුණේ ද මෙවැනි කාල රාමුවක් මත ය.

පීසීආර් ගැන සැක මතු කරයි

පීසීආර් යන්ත්‍රවල ගැටළු සහ ඒ සඳහා යොමුකරන වාර්තා සම්බන්ධයෙන් සැක මතුකෙරෙන ප්‍රකාශ රැසක් පසුගිය සති කිහිපයේ මාධ්‍ය මගින් වාර්තා කෙරුණු අතර, රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායකගේ සහෝදරිය වන වෛද්‍ය තුෂර වික්‍රමනායක ද ඒ අතර සිටියාය. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු පිළිගතහැකි පිළිතුරක් රජයේ සෞඛ්‍ය අංශ පාර්ශ්වයෙන් මෙතෙක් ලබා දී නැත. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසන්නේ පෞද්ගලික රෝහල් මගින් දිනකට පීසීආර් පරීක්ෂණ 1,200 ත් පමණ සිදු කරන විට, පීසීආර් පරීක්ෂණ සිදු කරන රජය යටතේ ඇති ආයතන 24 කින් දිනකට සිදු කරන්නේ පීසීආර් පරීක්ෂණ 10,000 ක් පමණක් බවයි.

සෞඛ්‍යයට සලකන හැටි

මේ අතර ලංකාවේ පළමු කොවිඩ් 19 ආසාදිතයා වාර්තා වූ 2020 මාර්තු 11 වැනිදා සිට මේ දක්වාම, එක් ශ්වසන ආධාරක යන්ත්‍රයක් හෝ සෞඛ්‍ය සේවා පද්ධතියට අලුතින් මිලදීගෙන නැති බව ඊයේ (01) සන්ඩේ මෝර්නින් පුවත්පත තම ප්‍රධාන ශීර්ෂපාඨය මගින් අනාවරණය කර තිබිණි. එසේම සෞඛ්‍ය අංශ ආරංචි මාර්ගවලට අනුව මෙරට මිලියන 22 ක ජනගහනයක් සඳහා දැඩි සත්කාර ඇඳන් ඇත්තේ 630 ක් පමණක් වන අතර, ඒවායින් කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කළ හැක්කේ ඇඳන් 146 ක් පමණි. අනෙක්වා අනෙකුත් ආසාදිත රෝගීන් සඳහා සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත් මෙතෙක් දැඩි සත්කාර ඒකකවල ඇඳන් සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් මතුවී නැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (01) පැවසීය.

ලබන වසරේ මුදල් කපයි

සීග්‍රයෙන් ව්‍යාප්ත වන වසංගත තත්ත්වයක් තුළ මෙසේ අඩුපාඩු රැසක් සෞඛ්‍ය සේවයේ තිබියදී 2021 අයවැය විසර්ජන පනතින් සෞඛ්‍ය සේවයට වෙන්කර ඇත්තේ රුපියල් බිලියන 158 ක් පමණි. එය මේ වසර සඳහා සෞඛය සේවයට වෙන් කළ රුපියල් බිලියන 178 සමග සසඳන විට, රුපියල් බිලියන 20 ක කප්පාදුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here