පුරවැසියන්ට පහර වදින ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ බෝල සෙල්ලම

‘පරපුර’ පිටුව MediaLK (මීඩියා එල්කේ) අපි වෙන්කර ඇත්තේ තරුණ පරම්පරාව වෙනුවන්මයි. රට කරවන හැටි ගැන, දේශපාලන වෙනස්වීම් ගැන, සමාජ ප්‍රශ්න ගැන, පරිසර ගැටලු ගැන, රටේ ප්‍රතිපත්ති ගැන, දූෂණ වංචා ගැන සහ වෙනත් ගවේශනාත්මක කාරණා ගැන ඔබේ අදහස්වලට ඉඩක් දෙන්න අපි සූදානම්. ඔබේ ලිපිය සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ඕනෑම භාෂාවකින් එවිය හැකියි.
parapura.medialk@gmail.com

මෙවර පරපුර ඉඩ වෙන් කරන්නේ නිසල් රාජපක්ෂ විසින් ලියන ලද ලිපියකටයි.


පසුගිය වසරක කාල පරිච්ඡේදය ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලනික වෙනස්‌කම් රැසක් සිදු වූ බව ඔබ අප කවුරුත් දන්නා කරුණකි. Covid 19 හැරෙන්නට එම කාල වකවානුව තුළ අප රට තුළ කතා බහට ලක්වූ ප්‍රධානතම මාතෘකාව දේශපාලනයයි. එම නිසා සමාජයේ දේශපාලන හැසිරීම සහ දේශපලනඥයන්ගේ දිශානතීන් සහ හැසිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට මෙතරම් හේතුසාධක වලින් පරිපූර්ණ කාලයක් නැතැයි මම සිතමි.

තෙවන පාර්ශ්වය සහ විකල්පය

ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ දේශපාලන බලය කඳවුරු දෙකක් මත පමණක් බොහෝ විට දෝලන වනු ඔබ දකින්නට ඇත. තෙවැනි පාර්ශවයන් පවා මෙම ප්‍රධාන කඳවුරු සමග සම්බධ වී කටයූතු කළ බව 2006, 2010 සහ 2015 වැනි ජනාධිපතිවරණවලදී හොඳාකාරවම පැහැදිලි විය. ප්‍රධාන වශයෙන් 2015 දි රාජපක්ෂ පාලනය බිඳවැටීම සහ යහපාලනය රජයේ අකාර්යක්ෂම පාලනය නිසා ඇති වූ යම් යම් සිදුවීම් නිසා ප්‍රධාන කඳවුරු දෙකම පිළිබදව ජනතා අප්‍රසාදය ඇති වීමට බොහෝ සෙයින් ඉවහල් විය. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ සමාජ ක්‍රියාකාරීන් සහ අනෙකුත් සුළු දේශපාලන පක්ෂ වල එකතුවෙන් විකල්ප දේශපාලන ව්‍යාපාර බිහි විය. ඇත්තෙන්ම සැලකිය යුතු අන්දමින් ජනතාව තුළ ප්‍රධාන කඳවුරු දෙක පිළිබඳව තිබුණු අප්‍රසාදය මෙම විකල්ප බලවේගයක් නිර්මාණය කිරීමට බොහෝ සෙයින් ප්‍රමාණවත් විය. එහෙත් විමතියට කරුණ නම් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වීමත් සමගම සිදු වූයේ පෙර පරිදිම ප්‍රධාන කඳවුරු දෙක වටා ජනතාව එක්රොක් වීමයි.

ජනතාවගේ තීරණය

දකුණු ආසියාතික රටවල දේශපාලනය සහ දේශපාලකයා බොහෝ සෙයින් සමාන ස්වරූපයක් ගන්නා බව මේ වන විට සාක්ෂි සමග තහවුරු වී ඇත. ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන කඩඉම් වල ජයග්‍රහණය හිමිව ඇත්තේ බොහෝ විට ජාතිවාදී කඳවුරට ය. පසුගිය මැතිවරණ දෙකේදීම ප්‍රතිඵල සිතියම නිරීක්ෂණය කිරීමෙන් පවා එම නිගමනයට පහසුවෙන් එළඹිය හැකිය. පසුගිය සෑම මැතිවරණයකදී ම ජයග්‍රහණය කළ පාර්ශවය ජනතාව ආමන්ත්‍රණය කිරීමට යොදා ගන්නා ලද මාතෘකා සලකා බැලීමේදී ජනතාවගේ දේශපාලන හැසිරීම පිළිබඳ දළ අදහසක් ලබා ගත හැකිය.

කිසියම් රටක පාලකයන් තෝරා පත් කරගන්නා විට ජනතාව විසින් අවධානය යොමු කළ යුතු නිර්ණායක පිළිබඳ අවබෝධයක් ජනතාව තුළ නොමැති බව දන්නා දේශපාලනඥයා සෑම විටම උත්සාහ කරන්නේ ජනතාවට බලපාන මේ මොහොතේ ඇති ප්‍රධානම සාධකයක් මුල් කරගනිමින් තම දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමටයි. එය “වැල යන පැත්තට මැස්ස ගැසීම” යන සිංහල භාෂාවේ සරල උපමාවෙන් හැඳින්විය හැකිය.

ජනතාවගේ ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තමන් කැමති ආකාරයට භාවිතා කිරීමට අයිතිය ඇත. එය පිළිබදව කිසිදු ගැටලුවක් නැත. එහෙත් ගැටලුව නම් ජනතාව එම ඡන්දය භාවිතා කරන්නේ කුමන නිර්ණායක පදනම් කරගෙන ද යන්නයි. පසුගිය මැතිවරණවලදී මෙම තත්ත්වයේ සමාජීය පිරිහීම මනාව පිළිබිඹු විය. සරලවම පාර්ලිමේන්තු මැතිවරණය දෙස බලන විට මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව චෝදනා එල්ල වූ පුද්ගලයන්, වංචා සහ දූෂණ පිළිබඳ චෝදනා එල්ල වූ පුද්ගලයන් පමණක් නොව මිනීමැරුම් චෝදනා ඔප්පු වූ සිරකරුවන් පවා  දිස්ත්‍රික්කවල ඉහළම මනාප ප්‍රතිශතයකින් පාර්ලිමේන්තුවට තෝරා පත් කර දීමට ජනතාව කටයූතු කර ඇත. එහෙත් මෙම තත්ත්වයේ අනිත් සහ අවාසනාවන්ත පැත්ත නම් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කීර්තියට පත් වූ පුද්ගලයන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීමයි.

ක්‍රිකට් ක්‍රීඩාව සහ දේශපාලනය

කෙසේ හෝ මෙම කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ ශ්‍රී ලාංකික ජනතාව දේශපාලනය පිළිබඳව දකින ආකාරයේ වෙනසක් ඇති බවයි.

ක්‍රිකට්‌ ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියානු කලාපයේ ඉතා ප්‍රසිද්ධ මෙන්ම සංස්කෘතික ලෙසද බැඳි පවතින බව විශේෂයෙන්ම ඉන්දියානු ක්‍රිඩා ලෝලීන්ගේ ක්‍රියා කලාපයෙන් මානව පැහැදිලි වේ. ක්‍රිකට්‌ යනු කණ්ඩායම් දෙකක් පිල් දෙකකට බෙදී පන්දු යෑවීම සහ පහරදීමයි. සිනහවට කරුණ නම් ඉහත කී කරුණු පිළිබඳව සැලකීමේදී පැහැදිලි වන්නේ ලාංකීය ජනතාව දේශපාලනය දෙස බලන්නේ ද පිල් දෙකකට බෙදී කරන ක්‍රීඩාවක් ලෙස බවයි.එහි උච්චතම අවස්ථාව නම් ජනතාව දේශපාලන කඳවුරු වලට බෙදී සත්‍ය සත්‍යය ලෙස පිළිගැනීමට සූදානම් නොවීමයි.

2019 බල පෙරළිය සමග ඇති වූ නව නායකත්වයට ඇති වූ ප්‍රධානතම අභියෝගය covid 19 වසංගත තත්ත්වයයි. එම තත්ත්වයේදී පාලනාධිකාරිය හැසිරුණු ආකාරයේ ඇති දුර්වලතා පවා සාකච්ඡා කිරීමට එම කඳවුර වටා එක් රොක් වී සිටින ජනතාව අකමැත්තක් දැක්වූහ. එපමනක් නොව පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ අක්‍රමිකතා පිළිබඳ සාකච්ඡා කිරීමට එම කඳවුර වටා එක් රොක් වී සිටින ජනතාව අකමැත්තක් දැක්වූහ. මෙම තත්ත්වයේ දරුණුම අවස්ථාව නම් පාලකයා මෙම තත්වය අවබෝධ කරගැනීමයි. එලෙස ජනතාව හදුනාගන්නා පාලකයා තමන් රිසි සේ තිරණ ගැනීමට පසුබට නොවන්නේ එම තීරණ කුමන තත්ත්වයේ පසුගාමී තීරණ වුවද ඒවා සාධාරණීකරණය කිරීමට ජනතාව සැදී පැහැදී සිටින බව දන්නා බැවිනි. විසිවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඊට මෑත කාලීන හොඳම උදාහරණය ලෙස දැක්විය හැකිය.

සිංහල බෞද්ධ ඡන්ද පදනම

මිහිදු මහ රහතන් වහන්සේ ඉන්දියාවේ සිට ලංකාවට වැඩම කළ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පවා බෞද්ධ ආභාෂයෙන් නිර්මාණය විය. පාලකයන් තෝරා පත්කර ගැනීම පවා එම නීර්ණායකය මත පදනම් විය. එයට හොඳම උදාහරණය ඉංග්‍රීසි ආක්‍රමණය ඇති වීමෙන් පසුව දන්ත ධාතූන් වහන්සේ ඉංග්‍රීසීන් සතු කරගන්නා තුරුම ලංකාව බ්‍රිතාන්‍යයෙන් පාලනය වන බව පිළිගැනීමට ශ්‍රී ලාංකිකයන් අකැමැති වීමයි. කෙසේ හෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාලාම සූත්‍රයෙහි සඳහන් පරිදි “යම් දෙයක් කවුරුන් හෝ කියු පමණින් පිළි නොගෙන තමන් සිතා බලා සත්‍ය සත්‍ය ලෙස දැකීම” යන්න සිංහල බෞද්ධයන් ලෙස හදුන්වා ගන්නා ශ්‍රී ලාංකිකයන් විසින් ම කඩ කිරීම විමතියට කරුණකි. කෙසේ වුවත් සිංහල බෞද්ධ ඡන්ද පදනම දෝලනය වන්නේ දේශපාලනය නමැති ක්‍රීඩාව මනාව හසුරවා ගන්නා කඳවුරටය. මෙය දමිළ මුස්ලිම් ජනතාවට ද ඔවුන්ගේ ආගම් හා ජාතීන්ට අනුරූපව පොදු කරුණකි.

නිගමනය

ශ්‍රී ලාංකිකයාට දේශපාලනය පිළිබඳ අදහසක් නැත. දේශපාලනය මගින් තෝරා පත්කර ගන්නේ ඔවුන්ගේ නායකයා ද ඔවුන්ගේ පාලකයා ද ඔවුන්ට සේවය කිරීමට පත් කරගන්නා ජනතා සේවකයා ද යන්න පිළිබඳ ඔවුන්ට ඵලක් නැත. ඔවුන් දේශපාලනය දකින්නේ ක්‍රීඩාවක් ලෙස ය.

පසුගිය මැතිවරණ කාල පරිච්ඡේදය තුළ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා මුදා හරින ලද දේශපාලන කාටුන් විශාල වශයෙන් ක්‍රිකට්‌ ක්‍රීඩාව ආශ්‍රයෙන් නිර්මාණය කර තිබිණි. ඒවා ඉතාමත් නිර්මානාත්මකය. ප්‍රායෝගික යතාර්ථය ‌පිළිබිඹු කරයි. නිර්මාණකරුවා ගේ මනස තුළ ඔහු නොදැනුවත්වම දේශපාලනය ක්‍රීඩාවක් ලෙස අර්ථ දැක්වී ඇත. 

 “විපක්ෂයේ පන්දුවට ආණ්ඩු පක්ෂය පහර දෙයි. ආණ්‌ඩු පක්ෂයේ පන්දුවට විපක්ෂය පහර දෙයි. ජනතාව පිල් දෙකකට බෙදී හුරේ දමමින් ජයපැන් බොති. එහෙත් දෝලනය වෙමින් පොළොව මත ගැටෙමින් පිත්තෙන් පහර වදිමින් විකට්ටුව මත සිර වන්නේ ඔවුන් බව ජනතාව නොදනී”.

(නිසල් රාජපක්ෂ)

 

Previous articleකොළඹ ‘රැන්ඩම්’ ටෙස්ට් කරනවා : දැනට 1150කට පොසිටිව් – නගරාධිපතිනිය
Next articleමාධ්‍යවේදීන්ට පහර දුන් බව කියන එක් සැකකරුවෙකුට පමණක් ඇප

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here