කොළඹ ‘රැන්ඩම්’ ටෙස්ට් කරනවා : දැනට 1150කට පොසිටිව් – නගරාධිපතිනිය

(නිලූක සඳුන් පද්මසිරි)

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ දින 08 දී කළ පීසීආර් පරීක්ෂණවලින් 1150කට පමණ කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීයැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය MediaLK වෙත පැවසුවාය.

පසුගිය දින හත ඇතුළත කොරෝනා ආසාදිතයන් 956 ක්ද, අද දිනය ඇතුළත කොරෝනා ආසාදිතයන් 180ක් පමණ ද තහවුරු කර ගැණුනු බව නගරාධිපතිවරිය කීවාය.  කොළඹ මහ නගර සභාව මගින් අහඹු ලෙස පීසී ආර් පරීක්ෂණ සිදු කළ බව නගරාධිපතිනිය සඳහන් කළාය.

”මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් ආසාදිතයින් හමුවුණු දවසේ ඉඳලා අපි රැන්ඩම් චෙක් කළා. එදා ඉඳන් කරපු පීසීආර් පරීක්ෂණවලින් තමයි නවසිය ගණනක් හමුවුණේ.” යැයි ඒ් පිළිබඳ තහවුරු කර ගැනීමට කළ විමසීමක දී කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය ප්‍රකාශ කළාය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය MediaLK සමඟ මෙසේ පැවසුවාය.

“අපි රැන්ඩම් පීසීආර් කරනවා. පෑළියගොඩ සිද්ධිය දැනුවත් වුණ වහාම පසු අපි රැන්ඩම් පීසීආර් කළා. මොකද පෑළියගොඩට මෑන් පවර් යන්නේ කොළඹින්. රැන්ඩම්ලි කරපු ඒ්වාගෙන් 956ක් පොසිටිව් කියලා අපිට තහවුරු වූ තිබෙනවා. දවසට 300 පොසිටිව් වුණ අවස්ථා ද තිබුණා.අද උදේ වෙනකොට කරලා තිබ්බ පීසීආර්වලින් 956 දෙනෙක් පොසිටිව් වුණා. මේ දවස් 07ක් ඇතුළත කරපු පීසීආර් 5376කින් තමයි මේ ගණන පොසිටිව් වුණේ.

ඒ වගේම අද දවස ඇතුළත 180කට ආසන්න ගණනක් පොසිටිව් වෙලා තියෙනවා කියලා මට මගේ සෞඛ්‍ය අංශ දැනුම් දුන්නා. ඒ සමග මේ වෙද්දි කොළඹ මහනගර සීමාවේ 1150කට කිට්ටු වෙන්න කොරෝනා ආසාදිතයින් හමුවෙලා තියෙනවා මේ දවස් 07 ඇතුළත විතරක්. ඒ විදියට ගත්තම 32%-35% අතර පොසිටිව් වන ප්‍රතිශතයක් තියෙනවා. එක ආසාදිතයෙක්ගෙන් තුන් දෙනකු පොසිටිව් වෙලා තියෙනවා. එක ආසාදිතයෙක්ගේ ආශ්‍රිතයින් පරීක්ෂා කරලා තව ආසාදිතයින් තුන් දෙනකු හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. හදිසියේ හරි මේ අය නිදහසේ සැරිසැරුවානම් තත්ත්වය බරපතළ වෙන්න තිබ්බා.

ඒ් වගේම අවාසනාවන්ත ලෙස අපේ සෞඛ්‍ය  කාර්ය මණ්ඩලයේ හය දෙනකුටද කොරෝනා ආසාදනය වෙලා තියෙනවා.

අපි පැය 24ම පීසීආර් කරනවා. පොසිටිව් අය බස්වල දාලා අදාළ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරනවා.අපි දැඩි වෙහෙසක් ගන්නවා. විශේෂයෙන් සෞඛ්‍ය අංශ මේකට ලොකු කැපකිරීමක් කරනවා. අපි හැමදාම බස් තුන හතරකින් කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්‌ නිරෝධායන මධ්‍යස්ථානවලට යවනවා. ලොකු කාර්ය භාරයක් කරනවා.

රජය දැඩි නීති පනවා තිබුණද මම දකිනවා ඒ්වා අනුගමනය නොකරන පිරිසක් ඉන්නවා. මාස්ක් නොදාන අයට දඩ ගහනවා කියලා තියෙද්දිත් නොදාන අය ඉන්නවා. ඊයේ මම බැංකුවකින් සල්ලි ගන්න ගිය අවස්ථාවේ අදාළ බැංකුවේ ආරක්ෂකයෙකු මාස්ක් දාන්නේ නැතිව තමයි හිටියේ. මම එවෙලේ මාස්ක් එකක් දෙන්න හැදුවම “නෑ මගේ මාස්ක් එක තියෙනවා” කියලා මාස්ක් එක සාක්කුවෙන් ගත්තා. මාස්ක් තියෙන්නේ සාක්කුවේ තියාගන්න ද ? නෑනේ ඒ් පියවර මිනිස්සු අනුගමනය කරන්න ඕන. මිනිසුන්ට මේකේ බරපතළකම තේරෙන්න නෑ.

හැමවෙලේම රැස්වීම් තියෙනවා. හෙටත් තියෙනවා. අපි බලනවා තට්ටු නිවාසවල තත්ත්වය ගැන. ඒ්වා සම්බන්ධයෙන් කොහොමද කටයුතු කරන්නේ කියන එක සහ එයාලට සහන සලසන්නේ කොහොමද කියන එක ගැන අපි සැලසුම් කරනවා. අපි ඒ් සෑම තට්ටු නිවාසකයම තියෙන ලැයිස්තු අනුව සැනිටයිසර් වගේ සෞඛ්‍ය ආරක්ෂක ද්‍රව්‍ය බෙදා දීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ් වගේම අපේ ජනතාව ආරක්ෂා කරන්න පුළුවන් හැමදේම කරන්න සහ ඔවුන්ට අවශ්‍ය ආහාර වියළි ආහාර වගේ දේවල් ලබා දෙන්නත් අපි කටයුතු කරනවා. ඒ් වගේම වෛද්‍ය කාර්ය මණ්ඩල වැඩි කරගැනීමට කටයුතු කරනවා. හෙද කාර්ය මණ්ඩල, පුහුණ හෙදියන් ඇතුළු මෙඩිකල් පර්සනල් වැඩි කරගන්න කටයුතු කළ යුතුයි. මොකද හදිසියේ හරි මේ දැන් කටයුතු කරන සෞඛ්‍ය සේවකයින් ආසාදිත වුවහොත් අපිට ඒ අය රෝහල්ගත කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ වෙනුවට අපිට අමතර සේවකයින් අවශ්‍ය වෙනවා. මේ සදහා දැඩි වෙහෙසක් දරන්න වෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඔවුන්ගේ ජීවිත අවදානමක දාලා තමයි මේ කටයුතු කරන්නේ.

ඒ වගේම ජනතාවට දැඩි නීති පනවන්න අවශ්‍යයි. ව්‍යාප්ත වීම වැළැක්වීමට අවශ්‍ය දැඩි පියවර ගත යුතුයි. අපි ඉදිරියටත් රැන්ඩම් පීසීආර් කරනවා. නගර සභාව දෙන්න පුළුවන් හැමදේම දෙනවා. ඒකට අපේ මන්ත්‍රීවරුන් 119 දෙනාම එක වගේ සහයෝගය ලබාදෙනවා. ෆාමසි, දේශීය ඖෂධහල් විවෘත කරලා තියෙනවා. සේවා ලබාදෙන අතරම පැතිරීම වළක්වාගැනීමට කුටයුතු කළ යුතුයි.  

ඉදිරියට නිවෙස් නිරෝධායනය කරන්න වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක කරන්නේ. එතකොට මොන වගේ ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කියලා අපි මේ වෙද්දි සාකච්ඡා කර තිබෙනවා. ඒ් වගේම යොදන්න අවශ්‍ය ප්‍රතිකර්ම සහ නිරෝධායනය වෙන අයට මොන වගේ පහසුකම් ද සලසන්න ඕන කියලා අපි මේ වෙද්දි සාකච්ඡා කරලා තියෙනවා.

ඒ් වගේම අපේ ක්ලිනික් නිරෝධායන කටයුතු සදහා යොදගන්නත් බලාපොරොත්තු වෙනවා. කොමියුනිටි සෙන්ටර් 35ක් අපිට සකස් කරන්න පුළුවන් වෙයි ඒ් අනුව. ඒවට අවශ්‍ය ක්‍රමවේද මේ වෙද්දිත් ක්‍රියාත්මක කරමින් තියෙනවා. ඒ්වට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තියෙනවා. මේ කාර්ය භාරය සඳහා දොස්තරවරුන් මහජන පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දිරිමත් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා සැමවිටම. ආර්ථිකයට හානි නොවන ගමන්ම මේ තත්ත්වය පාලනය කරගන්න අපි කටයුතු කරනවා. ලොක්ඩවුන්වල ඉන්න අයට වියළි ආහාර දෙන්න අවශ්‍ය පියවර අපි ගන්නවා. නගර සභාවක් හැටියට අපේ ජනතාව ආරක්ෂා කරන්නත් හැකි සෑම කැපකිරීමක්ම කරන්නත් අපි ලෑස්ති වෙලා ඉන්නවා.

මේ සම්බන්ධයෙන් සහ කොරෝනා පාලනය කිරීමට කොළඹ මහනගර සභාව ගන්නා ක්‍රියාමාර්ග ගැන පැහැදිලි කිරීමට කොළඹ නගරාධිපතිනිය මාධ්‍ය හමුවක්ද කැඳවා තිබිණි. එහිදී අදහස් දක්වමින් නගරාධිපතිනිය මෙසේ කීවාය.   

” පෑලියගොඩ සිද්ධියෙන් පසු අපි පීසීආර් පරීක්ෂණ 5376ක් මේ වෙද්දි කරලා තියෙනවා. දළ වශයෙන් ඒකෙන් සියයට 32ක් පොසිටිව් වෙලා තියෙනවා. තව ඉදිරියට කෙච්චර පොසිටිව් වෙයිද දන්නේ නෑ. කොච්චර ව්‍යාප්ත වෙලාද දන්නේ නෑ. මේ එක්දාස් ගාන සොයාගන්න හේතුව තමයි අපේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කරපු රැන්ඩම් පීසීආර් පරීක්ෂණ කරපු නිසා. එහෙම නෛාකළනම් මේක ඉතාම බැරැරුම් වෙන්න තිබුණා. රටපුරා ව්‍යාප්ත වෙලා විශාල විනාශයක් වෙන්න තිබුණා.

රෝගීන් හදුනාගත්ත ප්‍රධානම හේතුව කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටත් ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සහ ඒ වෛද්‍ය කණ්ඩායමේ වෙහෙස, දක්ෂතාවය, කැපවීමත් පැය 24ම කරපු සේවය. විශේෂයෙන්ම මිනුවන්ගොඩ දෙවන රැල්ල පටන් ගත්ත වෙලේ ඉඳලම කොළඹ නගර සභාව ගම්පහ දිස්ත්‍රික්කයට විශාල සහයක් ලබාදුන්නා. දිනපතාම මගේ වෛද්‍යවරු පීඑච්අයිවරු සියලු දෙනාම මධ්‍යම රජයේ ඉල්ලීම මත ගම්පහ දිස්ත්‍රික්කයට ගිහින් ඒ පරීක්ෂණ පවත්වලා ඒ වගේම එයාලට විශාල සහයක් ලබා දුන්නා.  ඊට පස්සේ කොළඹ අවදානම් තත්ත්වය හදුන්වලා දුන්නට පස්සේත් අපි රැන්ඩම් චෙක්ස් කරන්න පටන් ගත්තා. ඒ කරපු රැන්ඩම් චෙක්ස් වලින් අපි හදුනාගත්තා කිහිප දෙනෙක් වරායේ වගේම විවිධ ප්‍රදේශවල. ඊට අමතරව විශේෂයෙන්ම පෑලියගොඩ මාළු  මාකට් එකේ සිද්ධියෙන් පස්සේ වෛද්‍ය රුවන් විජයමුණි මහතා ඇතුළු අපේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කණ්ඩායම විශාල වෙහෙසක් දැරුවා. කන්ටෑක් ට්‍රේසින් හඹා යමින් කරපු පරීක්ෂණ නිසා තමයි මේ දින හතක් ඇතුළත එක්දාස් ගාණක පීසීආර් පොසිටිව් වෙච්ච අය හදුනාගෙන තියෙන්නේ. මේ වෙනකොටත් මගේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පිරිස විවිධ ප්‍රදේශවලට ගෙනිච්චා හමුදාවේ සහයත් මධ්‍යම රජයේ සහයත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සහයත් ඇතිව. නමුත් රජය මීට දින ඉහතදී තීරණයක් ගත්තා පළමු පෙළ ආශ්‍රිතයින් නිවෙස්වලම නිරෝධායනය කරන්න. ඒ අනුව කොළඹ නගර සභාවට විශේෂ කාර්ය භාරයක් පැවරෙනවා. ඒ කාර්යයේදී ගෙදර නිරෝධායනය කරනවානම් අපිට ඒ අය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් අපිට කරන්න සිදුවෙනවා. විශාල මුදලක් දරන්න සිද්ධ වෙනවා. මේ වෙනතොටත් විශාල මුදලක් කවුන්සිලය විසින් මගේ ප්‍රධානත්වයෙන් මන්ත්‍රීවරුන් 119 දෙනාගෙම සහයෝගයෙන් මේ කාර්ය භාරය කරන්න මධ්‍යම රජයට උදව් වෙන්න විශාල මුදලක් වැය කරල අපේ පූර්ණ සහයෝගය ලබාදීලා තියෙනවා. ඉස්සරහට අපිට මීට වඩා කැපකිරීමක් කරන්න සිද්ධ වෙයි.”

එම මාධ්‍ය හමුවේදී වෛද්‍ය රුවන් විජයමුණි මහතා මෙසේ පැවසීය

“අපිට මුලින් වාර්තා වුණේ රෝගීන් 337ක් විතරයි. ඊට පස්සේ අපි ඒ අයගේ ආශ්‍රිතයින් හඹා ගොස් ඔවුන්ට පීසීආර් පරීක්ෂණ සිදුකිරීම තුළින් එක් පුද්ගලයෙක්ගෙන් අපිට තව පොසිටිව් වෙච්ච පුද්ගලයෝ තුන් දෙනෙක් දළ වශයෙන් හොයාගන්න පුළුවන් වුණා. අපේ ඉන්න රෝගීන්ගේ අතිමහත් බහුතරය ඒ කියන්නේ 850කට ආසන්න ප්‍රමාණයක් කොළඹ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් කරන ලද පළමු ආශ්‍රිතයින්ගේ පීසීආර් පරීක්ෂණවලින් හොයාගත්ත අය. අපි බැරිවෙලාවත් ඒ අයගේ ⁣ඒ වෙලාවේ නොකළානම් 850 දෙනා අදටත් රෝගය පතුරවමින් නිදැල්ලේ සැරිසරනවා. ඉතින් අපි ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා රෝගය පාලනය කරන්න කටයුතු කරලා තියෙනවා.”

Previous articleසම්මුතියක් හැදුවොත් ජනතාව මාධ්‍යවේදීන් රකිනවා – ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
Next articleපුරවැසියන්ට පහර වදින ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ බෝල සෙල්ලම

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here