සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙ ලිපිය නීතියට පටහැනියි – වෘත්තීය සමිති : අපි කරන්නෙ උපදෙස් පිළිපදින එක – පොලිසිය භාර ඇමැති

(නිලූක සඳුන් පද්මසිරි)
ශ්‍රී ලංකා පොලිසිය මේ දිනවල උද්ඝෝෂණ ඇතුළු විරෝධතා මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බවක් සහ ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියක් මෙන්ම නිරෝධායනය ද යොදාගන්නා බවක් පෙනෙන්න⁣ට තිබේ.
සාමකාමී විරෝධතාවල නියැලී සිටී සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් පසුගිය දින කිහිපයේ අත්අඩංගුවට ගන්නා ආකාරයක් දක්නට ලැබිණි. (පසුගිය දිනවල සිදු වූ සිදුවීම් වාර්තාවක් මෙතැනින්)
මේ සම්බන්ධයෙන් සිවිල් ක්‍රියාකාරීන් සහ වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනකු MediaLK වෙත දැක්වූ අදහස් පහතින්..
උද්ඝෝෂණයට සහභාගි වීම නිසා මේ වන විට නිරෝධායනය කරනු ලැබ සිටින තැන්නේ ඥානානන්ද හිමි – ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු
‘අපි නිදහස් අධ්‍යාපනය සුරැකීම සඳහා සිසු ජන ව්‍යාපාරය සංවිධානය කරපු උද්ඝෝෂණයට සම්බන්ධ වුණා. එතකොට එතැනදි පොලිසිය විසින් අපේ තිස් දෙදෙනෙක්ව පැහැරගත්තා. පැහැරගෙන ඒක අත්අඩංගුවට ගැනීමක් කියලා කිව්වේ. ඊට පස්සේ උසාවියට ඉදිරිපත් කළා. ඊට පස්සේ උසාවියෙන් අපිට ඇප ලැබූණා. අපිව නිරෝධායනය ක්‍රියාවලියක් සඳහා සම්බන්ධ කරන්න එපා කියලා පැහැදිලිව විනිසුරුවරිය කිව්වා. එහෙම තියෙද්දි උසාවිය ගේට්ටුව ගාවටම පොලිස් බස් රථයක් ගෙනල්ලා අපිව බලෙන් දාගෙන එක්ක ආවා අපි ඇඳන් හිටිය ඇඳුම් පිටින්. කිසිදු පහසුකමක් දුන්නේ නෑ.
එකක් පැහැදිලියි මේ නිරෝධායන නීතිය අපිව නිරෝධායනය කරන්න කියලා උසාවියට කියන්න බෑ පොලිසියට කියන්න බෑ. ඒක කියන්න ඕන අඩුම තරමේ සෞඛ්‍ය බලධාරීයෙක් වෙච්ච පීඑච්අයි කෙනෙක් එතනට එන්න ඕන. අපිව පීසීආර් හරි ඇන්ටිජන් ටෙස්ට් එකක් හරි කරලා තමයි ගන්න ඕන.ඊට පස්සේ එකෙන් පස්සේ තමයි නිරෝධායනයට යවන්න ඕන. එහෙම කිසිදු ක්‍රියාවලියක් මෙතැන සිද්ධ වුණේ නෑ. පැහැදිලිව මේ උද්ඝෝෂණ මර්දනය කරන්න දෙන සඥාවක් මේක.ඒ වගේම මේ වෙලාවේ කොරෝනා ආසාදිත වෙලා විශාල සංඛ්‍යාවක් ගෙවල්වල මැරෙනවා. එත⁣කොට ඒ අයට නිරෝධායනය වෙන්න තියෙන ඉඩ තමයි අපිට මේ දෙන්නේ. එතකොට මේක කොහොමද සාධාරණ වෙන්නේ.
ඒ වගේම අපි දැක්කා පහුගිය කාලේ ශිරන්ති රාජපක්ෂ අගමැති නෝනා සැළලිහිණි වසන්තය කියලා සැණකෙළියක් කළා නුවරඑලියේ. ඒ වගේම නුවරඑලියෙදි අපි දැක්කා නාමල් රාජපක්ෂ කාර් රේස් පදිනවා. අනික් පැත්තෙන් අපි දැක්කා තොන්ඩමන්ගේ මළගම කියලා දහස් ගණන් එකතු කරලා දේශපාලන නාඩගම අපි දැක්කා. ඒ වගේම අපි දැක්කා ඉත්තෑකන්දේ සද්ධාතිස්ස කියන හාමුදුරුවන්ගේ මෑණියෝ අභාවප්‍රාප්ත වුණාම රථ පෙළ පාලි කළා. අද මේ අපිට නිරෝධායන නීති කියලා අමුතු එකක් කථා කරන පොලිසිය අපි දැක්කා කටයි අධෝ මුඛයයි වහගෙන ඉන්නවා බැසිල් මහත්තයා මොකක්ද එකකට පත් වුණා කියලා රට පුරාම සැණකෙලි කරා මිනිස්සු ඒකරාශි කරගෙන. ඒ වෙලාවෙදි ඔය නීති එකක්වත් තිබ්බේ නෑ.
බොහොම පැහැදිලියි මේ නිරෝධායන නීති වේවා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වේවා මේ සියලු අණ පනත් ක්‍රියාත්මක කරන්නේ මර්දනය උදෙසා. මෙතැන් දැන් ඉන්නේ සිසු ජන කම්කරු නායකයෝ ඉන්නේ. එතකොට මේ නායකයින්ගේ කට වහන්න තමයි මේ සඥාවක් දෙන්නේ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා වඩා යහපත් හෙටක් ප්‍රාර්ථනා කරන මේ රට මීට වඩා අබ ඇටයකින් හරි නිවැරදි දිසාවකට වෙනස් කළ යුතුයි කියලා හිතන විශේෂයෙන් තරුණ පිරිසගෙන්.
ඒ කාලේ තරුණයෝ චිත්‍ර ඇඳපු තාප්පවල බැසිල් මහත්තයා පත්වෙන එකට බැසිල් මහත්තයාගේ මුහුණ අලවන් ගිහින්. ඒ කාලේ කිව්වා වැරැද්දක් වුණොත් අපි තමයි මුලින්ම පාරට බහින්නේ කියලා.අපි ඒ නංගිලා මල්ලිල සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා දැන් පාරට බහින්න. මේ සිද්ධ වෙන්නේ කට වහන එකක්. සමාජ ජාල වල ඔබේ නිදහස් අවකාශය ඇතුළේ ඔබේ අදහස් පළ කරලා මේ බැසිල්ලගේ මේ ගෝඨාභයලාගේ මහින්දලාලේ මේ මර්දනය ක්‍රියා පිලිවෙත වෙනුවෙන් ඊට එරෙහිව පෙළ ගැහෙන්න කියලා බොහෝම ආදරයෙන් ඉල්ලා සිටිනවා.’
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්
“ඇත්තටම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලියුමක් ගහලා තියෙනවා උද්ඝෝෂණ කරන්න බෑ කියලා. ඒක ඇත්තටම රටේ නීතියටත් බැලූ බැල්මට පටහැනියි. මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උද්ඝෝෂණ කිරීම කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික වගන්තියක් විදියට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වසංගත පාලන බලතල අනුව එයාට කරන්න පුළුවන් උපරිම එක නිරෝධායන නීති කඩ කරමින් උද්ඝෝෂණ කරන්න එපා කියන එක. මම හිතන්නේ ඊට එහා තැනකට ගිහිල්ලා තියෙනවා.
මේක මම හිතන්නේ වසංගතය පාලනය කරන්නම හිතාගෙන ගහපු එකක් නෙමෙයි කියලා අපිට හිතෙන්නේ. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ යම්කිසි මර්දනකාරී තත්ත්වයක් ගේන්න. මේ වගේ එකක් ගහනවනම් හදිසි නීතිය යටතේ තමයි ගහන්න පුළුවන්. මම දන්නෑ ඇයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒක තේරෙන්නේ නැත්තේ කියලා. හදිසි නීතිය යටතේ කරන්න ඕන ඒවා දැන් වසංගත නීතිය යටතේ කරමින් ඉන්නවා. ඒක මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කරන එක නවත්තලා වසංගතයට මුවා වෙලා වෙන දෙයක් කරන වැඩක්. අවසාන වශයෙන් වසංගත නීතිත් මිනිස්සු පිළිගන්නේ නැති වෙනවා. සෞඛ්‍යයට තියෙන විශ්වාසයත් මිනිස්සු අත අරිනවා. සෞඛ්‍ය සේවාව විසින් දෙන අනෙකුත් නීතිත් මේ වගේ ඒවා කියලා මිනිස්සු හිතන්න ගත්ත දවසක අපි විශාල ව්‍යසනයකට ගොදුරු වෙනවා කියලා එක තමයි අපිට කියන්න තියෙන්නේ.”
අශිලා නිරෝෂනි දන්දෙණිය – ස්ටෑන්ඩ් අප් මූව්මන්ට්
‘ආණ්ඩුවට ඕන දේවල් කරගෙන යන්න විකල්ප අදහස් දරණ අය ඔක්කොම නිරෝධායනයට හරි යවන්න තමයි උත්සහ කරන්නේ. කටවහගෙන ඉඳපල්ල කියලානේ වගේ පණිවිඩයක් නේ දෙන්නේ. මේක අන්තිම භයානක තත්ත්වයක්. ආණ්ඩුව කියන දේ විතරක් මිනිස්සු අහන්න ඕන කියන තර්කය නේ මේ ගෙන්නේ.
ඒක අපි දන්නේ නෑ ඉස්සරහට කොහොමද වැඩ කරන්නේ කියලා. ⁣ප්‍රාදේශීය මට්ටමිනුත් පොලිසිය හරහා එයාලා චෙක් කරනවා ආයතනවල දෙතුන් දෙනෙක් රැස් වුණත්. අපේ ආයතනය කටුනායක තිබ්බට කිහිප දෙනෙක් ආයතනය ඇතුළේ රැස් වු⁣ණොත් ඇවිත් චෙක් කරනවා කවුද කින්ද මන්ද කියලා. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. උත්සහ කරනවා හැම වෙලාවෙම මොනව හරි වැඩක් කරන අයව කොහෙට හරි ඇතුළකට දාලා තියන්න. මේක කළින් තත්ත්වයට වඩා යුද්ධය තිබ්බ කාලයට වඩා ඉතා භයානක තත්ත්වයක්. මොකද නිරෝධායන නීති ඒ රෙගුලාසි වැරදි විදියට පාවිච්චි කරනවා විකල්ප අදහස් දරණ මිනිස්සු මර්දනය කරන්න.
කොවිඩ් වළක්වන්න නම් පාවිච්චි කරන බවක් පේන්න නෑ. නිතරම පාවිච්චි කරන්නේ මේකට තමයි. මේක ඉතාමත් භයානක තත්ත්වයක්.
මේ රෙගුලාසි පිළිගෙන ඇතුළට වෙලා සිටීම තුළ වෙන්නේ මේක තවදුරටත් අනුමත කිරීමක් සහ තවදුරටත් මර්දනය වීමක්. ඒ නිසා අත්අඩංගුවට පත්වෙන්න හරි එළියට බහින්න ඕන. එක්කෙනෙක් එළියට බැහැලා අත්අඩංගුවට ගත්තම අනෙක් මිනිස්සු එළියට බැහැලා ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඕන කියන එකයි මගේ අදහස. නැත්නම් මේක පාලනය කරන්න බෑ. ඒක තමයි වෘත්තීය සමිතියක් හැටියට සහ සිවිල් සංවිධානයක් හැටියට කියන්න තියෙන්නේ. මේකත් එක්ක සමහර අය නිරෝධායනයට ලක්වෙන්න බෑ මොකද එතකොට ඔක්කොම ඉවරයි කියන මතයේ ඉන්න උත්සහ කරනවා.
එහෙම තියෙන පසුබිම තුළ අවම ආරක්ෂාවක් ඇතිව කටයුතු කරන්නේ කියලා බලන්න ඕන. නමුත් මේක අවම ආරක්ෂාවක්වත් නැති තත්ත්වයක්නේ. ඉතින් සම්පූර්ණ වශයෙන් කටවහගෙන ඉන්න ඕන එළියට බහින්න බෑ එහෙමනම්. ඇතුළේ ඉඳගෙන ඊමේල් හරහා හෝ සූම් හරහා හෝ සූම් මීටින් කර කර ඉන්න පුළුවන්. නමුත් බලධාරීන් එක්ක සූම් ක⁣ටයුතු කරන්න බෑනේ. එතකොට අනිවාර්යයෙන් එළියට බහින්න වෙනවා. එළියට බහින එක වළක්වලා තියෙනවා. මොකද කිසිම ආයතනයක් මේ වෙද්ද වැඩ නෑනේ. මේ කම්කරුවන් වෙනුවෙන් පිහිටවපු ආයතනත් මේ වෙලාවේ දොරවල් වහගෙන ඉන්නේ. එහෙම ආයතනයක් එක්ක ගනුදෙනු කරන්න බැරි තත්ත්වයක් ඇතිකරලා තියෙනවා. ඒ තත්ත්වය මත එළියට බැස්සම ඒවා වළක්වන්නත් මෙහෙම කටයුතු කරනවා. ඒක භයානක තත්ත්වයක්. මේක කඩාගෙන එළියට එන්න ඕන කියන එකයි මගේ අදහස. නැත්නම් මම දන්නේ නෑ මොනව වෙයිද කියලා ඉස්සරහට.’
උද්ඝෝෂණයට සහභාගි වීම නිසා මේ වන විට නිරෝධායනය කරනු ලැබ සිටින ජෝසෆ් ස්ටාලින් මහතා – ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්
‘පාර්ලිමේන්තුවේදී සරත් වීරසේකර අමාත්‍යවරයා කියනවා නිරෝධායනයට යවපු කට්ටිය විධිමත්ව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යැවුවා කියලා. අමු බොරු. කිසිදු සෞඛ්‍ය නිර්දේශයක් නෑ.
කිසිදු සෞඛ්‍ය නිර්දේශයක් ලබා දීලා තිබුණේ නෑ. කොහොමද පීඑච්අයි කෙනෙක් බලන්නේවත් නැතිව සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන්නේ. ඒක සම්පූර්ණයෙන් පචයක්. අපි මේ බොරුව සම්පූර්ණයෙන් හෙළා දකිනවා. පාර්ලිමේන්තුව හරහා ජනතාව මේ ආකාරයට නොමග යවන එක වැරදියිග. ඒ වගේම ඔහු සඳහන් කරනවා අපිට රෙදි දුන්නේ නැත්තේ රෙදි දුන්නොත් ප්‍රශ්නයක් වෙයි කියලා. අපිට ටූත්පේස්ට් දුන්නේ හාමුදුරු නමක්. මේ සරත් වීරසේකර දුන්න ඒවා නෙමෙයි. අපිට කිසිදු රෙදි කෑල්ලක් දුන්නේ නෑ. මේ ඉන්න අය උදේ ඉඳන් ඇඳන් හිටියේ බෙඩ් ෂීට්. කිසිම පහසුකමක් නෑ. පොලිසිය කිව්වේ යන තැන ඔක්කොම තියෙනවා කියලා. සරත් වීරසේකර ඇමතිවරයා කියනවා මීගමුව පොලිසිය අපිට බේත් දුන්නා කියල. අමු බොරු. ඉන්හේලර් එක⁣ට 1200ක් යනවා ඒක අරන් දුන්නේ නෑ පොලිසිය. මේ වගේ වැරදි වැඩ කරලා ඒ වගේම අපි යනකොට හලාවත පොලිසිය ගාව නවත්තලා පාන් කාලයි කෙහෙල්ගෙඩියයි දුන්⁣නේ. හිඟන කෑම මේවා. අපි කෑමට අගෞරව කරනවා නෙමෙයි. මේ වගේ වැඩ කරන්න එපා.’
නීතිඥ සේනක පෙරේරා – ජනතා නීතිඥයෝ සංවිධානය
‘රජය නිරෝධායන පනතේ රෙගුලාසිවලට මුවා වෙලා ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් විවිධ කටයුතුවල යෙදෙමින් තමයි මේ වෙලාවේ ඉන්නේ. දැන් අපි ඒකේ අාසන්නම උදාහරණය විදියට දැක්කා ඊයේ දිනයේ කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට විරෝධය පළ කරලා ගුරු සංගමය සහ අනෙකුත් ක්‍රියාකාරීන් විදියට පාර්ලිමේන්තුව අවට කරපු විරෝධතාවය මැඩපැවැත්වපු ආකාරය දිහා බැලුවහම ඉකාමත් පැහැදිලි මේ කරන්නේ ජනතාවගේ යහපත වෙනුවෙන් නෙමෙයි කියලා. මොකද නිරෝධායන නීති එතැන හරියට ක්‍රියාත්මක වුණේ නෑ කියන මේ ආණ්ඩුව මේ පොලිසියම ඊයේ දින දිවුරුම් දුන්න බැසිල් රාජපක්ෂ බෙල්ලන්විල පන්සලට යන එක⁣ට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. මොකද මේ කොරෝනා මර්දන රෙගුලාසි අනුව ආගමික ස්ථානය වහලා තියෙන්න ඕන. නමුත් බැසිල් රාජපක්ෂට ඔය කියන ආගමික ස්ථානය ඇරුණා. ඒ වගේම දකුණේදි ශෂීන්ද්‍ර රාජපක්ෂටත් ඒ කියන දේවාල ඇරුණා.
ඉතින් මම හිතන්නේ ඒකෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන් මේ ගෙනියන්නේ පැහැදිලිවම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියට එන අරගලය යට කරන්න. ඒ වෙනුවෙන් මර්දනය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩපිළිවෙළක් විදියට තමයි මේ කොවිඩ්-19 මර්දන රෙගුලාසි කියලා දාගෙන කරන්නේ. ඒක තුළ කිසිම ජනතාවාදීභාවයක් අපි දකින්නේ නෑ.’
නීතිය හා සාමය භාර ඇමැති සරත් වීරසේකර
‘මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයිනෙ. අපි කරන්නෙ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් දෙන ලද උපදෙස් පිළිපදින එකනෙ. මෙතෙක් කල් අපි උද්ඝෝෂණ කරන අය අත්අඩංගුවට ගත්තෙ නෑනෙ.  එතුමා ලිඛිතව දැනුම් දීලා තියෙනවා, රැස්වීම් සහ උද්ඝෝෂණ රෝග ව්‍යාප්තියට හේතුවෙනවා, ඒ නිසා වහාම මේවා ගැන ක්‍රියාත්මක වෙන්න කියලා. නිරෝධායන සහ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පනතට අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට පුළුවන්නෙ පොලිස්පතිතුමාට නියෝග දෙන්න. ඒක නිසා මේක ඔබ අහන්න ඕනෙ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන්, ඇයි එහෙම නියෝගයක් දුන්නෙ කියලා. මගෙන් අහලා වැඩක් නෑ.
රෝග ව්‍යාප්තිය සිදුවෙනවා නම් අපිට පුළුවන්ද ගැසට් පත්‍ර එනකම් ඉන්න. එහෙම බලා ඉඳලා, රෝග ව්‍යාප්තිය වැඩි වුණොත් ඒකට කවුද වගකියන්නෙ. එතකොට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මෙහෙම කරන්න කියනව නම්, අපි ඒක කරන්න ඔ්නෙ. අපි ඒවා ඕනෑවට – එපාවට, අපේ හිතූවට කරලා නෑ.’ (සම්පූර්ණ ප්‍රකාශය මෙතැනින්) 
Previous articleවිරුද්ධවාදීන් මර්දනය කරන ‘අලුත් නීති’ අප රැගෙන යන්නේ කොතැනට ද?
Next articleනිරෝධායනය දඬුවමක් කිරීම අධිකරණයට කරන අපහාසයක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here