මම දැක්කෙ නෑ : මම දන්නෙ නෑ – මර්දනය ගැන පොලිසිය භාර ඇමැති කියයි !

නීතිය හා සාමය භාර ඇමැති – සරත් වීරසේකර
නිරෝධායන නීති භාවිතා කරමින් ජනතාවගේ විරෝධතා මර්දනය කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. පොලිසිය භාර ඇමැතිවරයා විදිහට ඔබ මේ තත්ත්වය අනුමත කරනවද?
මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයිනෙ. අපි කරන්නෙ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් දෙන ලද උපදෙස් පිළිපදින එකනෙ. මෙතෙක් කල් අපි උද්ඝෝෂණ කරන අය අත්අඩංගුවට ගත්තෙ නෑනෙ. එතුමා ලිඛිතව දැනුම් දීලා තියෙනවා, රැස්වීම් සහ උද්ඝෝෂණ රෝග ව්‍යාප්තියට හේතුවෙනවා, ඒ නිසා වහාම මේවා ගැන ක්‍රියාත්මක වෙන්න කියලා. නිරෝධායන සහ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පනතට අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට පුළුවන්නෙ පොලිස්පතිතුමාට නියෝග දෙන්න. ඒක නිසා මේක ඔබ අහන්න ඕනෙ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන්, ඇයි එහෙම නියෝගයක් දුන්නෙ කියලා. මගෙන් අහලා වැඩක් නෑ.
ඒත් මේ තහනම් කිරීම්වලට අදාළව මෙතෙක් කිසිදු ගැසට් පත්‍රයක් නිකුත් කරලා නෑ. ඒ කියන්නෙ මේ අත්අඩංගුවට ගැනීම් බරපතළ ගැටළුවක් …?
රෝග ව්‍යාප්තිය සිදුවෙනවා නම් අපිට පුළුවන්ද ගැසට් පත්‍ර එනකම් ඉන්න. එහෙම බලා ඉඳලා, රෝග ව්‍යාප්තිය වැඩි වුණොත් ඒකට කවුද වගකියන්නෙ. එතකොට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මෙහෙම කරන්න කියනව නම්, අපි ඒක කරන්න ඔ්නෙ. අපි ඒවා ඕනෑවට – එපාවට, අපේ හිතූවට කරලා නෑ.
කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප දුන්නු විරෝධතාකරුවන් පිරිසක් සෞඛ්‍ය අංශ නැතුව පොලිසියෙන් බලහත්කාරයෙන් නිරෝධායනයට අරන් ගියා. ඒකත් ඔබ අනුමත කරනවද?
ඒක නම් මම දන්නෙ නෑ. කවදද වුණේ…
ඊයේ (07) මේ සිද්ධිය වුණේ. සිද්ධිය දන්නෙ නැති වුණාට, පොලිසියට එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙන්න..?
සමහර විට මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා කියලා ඇති මෙහෙම යවන්න කියලා. නැත්නම් ඒ යන අතරෙ පීඑච්අයි එකතු වෙන්න ඇති.
එහෙම පුළුවන්ද එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා හෝ වෙනත් ඊට වගකිවයුතු සෞඛ්‍ය නිලධාරියෙක් නැතුව නිකම්ම කියපු ගමන් අරගෙන යන්න?
එහෙම කරන්න බෑ. සෞඛ්‍ය අංශ නැතුව එහෙම කරන්න බෑ පොලිසියට. මම දන්න විදිහට පොලිසිය නිරෝධායනයට ගෙනියන්නෙ නෑ. ඒක ඒගොල්ලොන්ගෙ වැඩක් නෙමෙයිනෙ. උසාවියෙන් කිව්වොත් මේගොල්ලොන්ව නිරෝධායනයට ගෙනියන්න කියලා, ඒ ගෙනියන්නෙ කොහොමද කියලා තීරණය කරන්නෙ මහජන සෞඛ්‍ය පරීක්ෂක.
බැසිල් රාජපක්ෂ මහත්තයගෙ අලුත් සම්ප්‍රාප්තිය සමරන්න රට වටේ තිබුණු සැමරුම්වලට නම් නිරෝධායන නීති බලපෑමක් කරලා තිබුණෙ නෑ ඇමැතිතුමා?
එහෙම වුණා නම් ඒක වැරදියි. කට්ටිය එකතු වෙන ඒවා තිබුණා නම්, ඒක වැරදියි. එහෙම කරන්න බෑ. හැබැයි මම දැක්කෙ නෑ එහෙම ඒවා.
Previous articleහමුදාවට එන්නත්කරණය දුන්නේ ඇයි? : අපිට එන්නත් නෑ – සෞඛ්‍ය අංශ
Next article10 දෙනකුට පොලිසිය පහරදීලා – නීතිඥවරු : නිරෝධායනය කරන්න අධිකරණයට බලයක් නෑ – අධිකරණය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here