🔴 Blog : ස්ටාලින්ලා හමුවෙන්න ගිය මානව හිමිකම් නිලධාරීන්ට දෙවැනි දිනටත් දොර වැසේ

2021.07.13 | Update 2.00 PM

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවනු ලැබ සිටින ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස හමුවීමට එහි ගිය මානව  හිමිකම් කොමිෂන් සභා නිලධාරීන්ට එම කඳවුරේ නිලධාරීන් විසින් අද දෙවැනි දිනටත් අවස්ථාව ලබා දී නැතැයි MediaLK වෙත වාර්තාවේ.
මීට පෙර ද ස්ටාලින් මහතා ඇතුළු පිරිස මුණගැසීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය කාර්යාලයේ නිලධාරීන් ගොස් තිබුණු අතර එදිනද මුණගැසීමට අවස්ථාව ලබා දී තිබුණේ නැත. අද දෙවැනි දිනටත් එම නිලධාරීන් කඳවුරට ගිය අවස්ථාව ගුවන් හමුදා නිලධාරීන් දැනුම් දී ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අවසර ලබාගෙන පැමිණියහොත් පමණක් මුණගැසීමට අවස්ථාව දිය හැකි බවයි.
එමෙන්ම ස්ටාලින් මහතා ඇතුළු පිරිස රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් කිසිම ලිඛිත නියෝගයක් නොමැති බව ද ගුවන් හමුදා නිලධාරීහු දැනුම් දී තිබේ.

“රඳවා තබාගැනීමට අදාළ කිසිවක් ලිඛිතව නෑ – ගුවන් හමුදාව දැනුම් දුන්නා“


2021.07.10


නිරෝධායනයෙන් මර්දනය කළ නොහැකි අරගලකරුවෝ

සත්තු වගේ ඇදලා දාගත්තා : නීතිය ක්‍රියාත්මක වීම දෙවිදිහකට – තැන්නේ ඥානානන්ද හිමි


2021.07.09

මුලතිව් හමුදා කඳවුරේ නිරෝධායනය කිරීම සඳහා උද්ඝෝෂකයින් රැගෙන ගියේ සෞඛ්‍ය නිර්දේශ අනුව බවට පොලිසිය බාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.
ඒ මහතා මෙසේද පැවසීය.
“පාර්ලිමේන්තුවේදී සරත් වීරසේකර අමාත්‍යවරයා කියනවා ඊයේ නිරෝධායනයට යවපු කට්ටිය විධිමත්ව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යැවුවා කියලා. අමු බොරු. කිසිදු සෞඛ්‍ය නිර්දේශයක් නෑ.
කිසිදු සෞඛ්‍ය නිර්දේශයක් ලබා දීලා තිබුණේ නෑ. කොහොමද පීඑච්අයි කෙනෙක් බලන්නේවත් නැතිව සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන්නේ. ඒක සම්පූර්ණයෙන් පචයක්. අපි මේ බොරුව සම්පූර්ණයෙන් හෙළා දකිනවා. පාර්ලිමේන්තුව හරහා ජනතාව මේ ආකාරයට නොමග යවන එක වැරදියි. ඒ වගේම ඔහු සඳහන් කරනවා අපිට රෙදි දුන්නේ නැත්තේ රෙදි දුන්නොත් ප්‍රශ්නයක් වෙයි කියලා. අපිට ටූත්පේස්ට් දුන්නේ හාමුදුරු නමක්. මේ සරත් වීරසේකර දුන්න ඒවා නෙමෙයි. අපිට කිසිදු රෙදි කෑල්ලක් දුන්නේ නෑ. මේ ඉන්න අය උදේ ඉඳන් ඇඳන් හිටියේ බෙඩ් ෂීට්. කිසිම පහසුකමක් නෑ. පොලිසිය කිව්වේ යන තැන ඔක්කොම තියෙනවා කියලා. සරත් වීරසේකර ඇමතිවරයා කියනවා මීගමුව පොලිසිය අපිට බේත් දුන්නා කියල. අමු බොරු. ඉන්හේලර් එක⁣ට 1200ක් යනවා ඒක අරන් දුන්නේ නෑ පොලිසිය. මේ වගේ වැරදි වැඩ කරලා ඒ වගේම අපි යනකොට හලාවත පොලිසිය ගාව නවත්තලා පාන් කාලයි කෙහෙල්ගෙඩියයි දුන්⁣නේ. මේ වගේ වැඩ කරන්න එපා.”


Update : 4.00 PM
ඇඳුම් සහ සනීපාරක්ෂක වැනි මූලික අවශ්‍යතා සපයාගැනීමට නොහැකිව තමන් ඇතුළු පිරිස අපහසුතාවට පත්ව සිටින බව මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටින තැන්නේ ඥානානන්ද හිමියෝ පවසති.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිදාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානනද හිමියෝ මෙසේද පැවසූහ.
“මුලතිව් ගුවන් හමුදා කඳවුර ඇතුළේ තියෙන නිරෝධායන කඳවුරක් කියලා නම් කරපු තැනක අපිව රඳවලා තියෙනවා. අද උදේ 3.30යි අපිව මෙතැනට ගෙනත් දාද්දි. අපි නිරෝධායනයට ගෙනාවනම් අපි ගෙනාව පොලිස් කණ්ඩායමත් නිරෝධායනය වෙන්න ඕන. නමුත් ඔවුන් නම් පිටත් වුණා. අපිට කිසිම ඇඳුමක්, මූලික අවශ්‍යතා සනීපාරක්ෂක ද්‍රව්‍ය කිසිවක් අපිට සම්පාදනය කළේ නෑ. අපි තමයි ඒවා පෞද්ගලිකව සම්පාදනය කරගත්තේ. මේ වෙනකොටත් අපිට සමහර දේවල් සපයගන්න බැරිව අපහසුතාවට පත්වෙලා ඉන්නේ. මේකේ පැහැදිලි කාරණය නිරෝධායනය කියන එක දඬුවමක් විදියට තමයි මේ කරන්නේ.
ආණ්ඩුව දිගටම ශවේන්ද්‍ර සිල්වා වගේ ප්‍රධානීන්, සරත් වීරසේකර වගේ අය කතා කරමින් ඉන්නවා නිවෙස් නිරෝධායනය ගැන , නීතිය ගැන ඒ වගේම අපිට ගොඩක් සැලකුවා කියන කතාවත්.
දැන් මේ වෙලාවේ උද්ඝෝෂකයෝ මේවට ගෙනල්ලා දාලා. අපිට පීසීආර් පරීක්ෂණයක් හෝ ඇන්ටිජන් පරීක්ෂණයක් කරලා නෑ. පීඑච්අයි කෙනෙක් අපි දැකලාවත් නෑ. උසාවිය පැහැදිලිව කියද්දි ඇප දීලා නිදහස් කරන්න කියලා පොලිසිය බලහත්කාරයෙන් බලහත්කාරයෙන්. ඒ මොන නීතියක් ද?
අපිව නිරෝධායනය කරන්න කියලා මොන සෞඛ්‍ය බලධාරීයාද නිර්දේශ කළේ. කෝ ඒ නිර්දේශය. බැසිල් රාජපක්ෂට උත්සව තියන්න රට වටේ එක නීතියකුත් අපිට එක නීතියකුත් තමයි යන්නේ.
ඒ වගේම මේ වෙද්දි කාන්තාවන් තුන් දෙ⁣නෙක් අපි එක්ක ගෙනාවා. ඔවුන් තුන් දෙනාට අඩුම තරමේ පොලිස් කාන්තාවන් දෙන්නෙක්වත් නතර කරලා යන්න තිබුණා. එහෙමවත් කරලා නෑ. කඳවුර ඇතුළේ දුක් විඳිමින් ඉන්නවා. ඇඳුම් ටිකක්වත් නිශ්චිතව ලබා දීලා නෑ. මෙහෙම තමයි එයාලා උද්ඝෝෂකයන්ගේ කට වහන්න හදලා තියෙන දඬුවම. අපි කියනවා සරත් වීරසේකර මහතාට ඒ වගේම මේ නියෝගය දන්න ගොන් තකතීරු මොකෙක් හරි මිනිහෙක්ට මේකෙන් නම් මැදිහත් වන්නේ උද්ඝෝෂණ පාලනය කරන්න සොරි කියලා තමයි එයාලට කියන්න තියෙන්නේ.”

බීමට අපිරිසිදු වතුරත් දීලා?

Update : 10.00 AM
මුලතිව්හි ගුවන් හමුදා කඳවුරක නිරෝධායනය කරමින් සිටින පිරිසට පානය කිරීමට ලබා දී ඇත්තේ පිරිපහදු නොකළ ජලය බව එහි සිටින පිරිස් කියති. එම ජලයේ රෝඩු කැබලි ආදිය ද තිබෙන බව ඔවුහු පවසති.
එම ප්‍රදේශයේ පිරිපහදු නොකළ ජලය පානය කිරීම සෞඛ්‍යාරක්ෂිත නොවන බවත්, තමන්ටද පිරිපහදු කළ ජලය ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ බවත් එහි සිටින කෙනෙක් පැවසීය.


නිරෝධායනය කරන පිරිසට ඉඳගන්න පුටුවක්වත් නෑ

Update : 9.40 AM
නිරෝධායනය සඳහා මුලතිව් කඳවුරට රැගෙන යනු ලැබූ පිරිසට වාඩි වී ආහාර ගැනීමටවත් ස්ථානයක් නොමැති බව වාර්තා වෙයි.
පුටු නොමැතිවීම නිසා ඔවුන්ට ආහාර ගැනීමට සිදුවූයේ බිම වාඩිගෙන බව එහි සිටි සාමාජිකයෙක් MediaLK වෙත පැවසීය.

 


නිරෝධායනයට ගෙන ගිය පිරිස ඇඳ ඇතිරිලි පිටින් : හරිය⁣⁣ට කන්නත් නෑ

Update : 8.50 AM
උද්ඝෝෂණය කිරීම නිසා අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප ලැබුණු පසුත් නිරෝධායනය සඳහා බලහත්කාරයෙන් මුලතිව් ගුවන් හමුදා කඳවුරට රැගෙන යනු ලැබූ පිරිසට ඇඳීමට ඇඳුම් පවා මෙතෙක් ලබා දී නොමැති බවත් ඔවුන් ඇඳ ඇතිරිලි ඇඳගෙන සිටින බවත් MediaLK වෙත වාර්තා වෙයි.
එමෙන්ම ඊයේ (08) උදෑසන අත්අඩංගුවට ගත් මෙම පිරිසට ඊයේ දවසටම ආහාර ලෙස ලබා දී ඇත්තේ පාන් කැබැල්ලක් බව ද  මේ වන තෙක් අද(09) උදෑසන ආහාර වේල ලබා දී නැති බවද වාර්තා වෙයි.

 

ඊයේ රාත්‍රියේ ලබාදී ඇති ආහාර

උද්ඝෝෂණය කළ පිරිස මුලතිව් ගුවන් හමුදා කඳවුරට

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණ කළ පිරිස නිරෝධායනය සඳහා මුලතිව් ගුවන් හමුදා කඳවුර⁣ට රැගෙන ගොස් තිබේ.

 


2021.07.08


මම දැක්කේ නෑ : මම දන්නේ නෑ – ඇමති

අධිකරණයෙන් ඇප ලැබුණු විරෝධතාකරුවන් පිරිස් සෞඛ්‍ය අංශ නොමැතිව පොලිසියෙන් බලහත්කාරයෙන් නිරෝධායනයට අරන් යාමේ සිද්ධීන් තමා නොදන්නා බවත් නොදැක්ක බවත් පොලිසිය බාර අමාත්‍ය සරත් වීරසේකර මහතා MediaLK වෙත ප්‍රකාශ කළේය. (සම්පූර්ණ ප්‍රකාශය මෙතැනින්)

ඇඳුනුත් නෑ : බෙහෙතුත් නෑ : හරියට තැන කියලත් නෑ

Update : 10.20 PM
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණ කිරීම නිසා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප හිමි වූ පිරිස මේ වන විට නිරෝධායනය සඳහා අවශ්‍ය මූලික ද්‍රව්‍ය හෝ ලබාගැනීමට නොදී නිරෝධායනය සඳහා බස් රථයකින් රැගෙන යමින් පවතී.
අත්අඩංගුවට ගත් පිරිසෙන් 16 දෙනකු මෙලෙස නිරෝධායනය සඳහා රැගෙන යමින් පවතින බවද ඒ අතර කාන්තාවන් තිදෙනකු සහ හිමිවරුන් දෙදෙනකු ද සිටින බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය ක්‍රියා කළ ආකාරය නිසා එම කාන්තාවන් තිදෙනාගේ ඇඳුම් ඉරී ඇතැයි ද එසේ නමුත් ඔවුන්ට ඇඳුම් ගැනීමට හෝ ඉඩ ලබා නොදී මෙලෙස රැගෙන යමින් පවතින බව පැවසේ.
එමෙන්ම එම පිරිසේ ඇතැමුන්ගේ ශරීරවල තැලුම් තුවාල ද තිබෙන නමුත් ඒවාට බෙහෙත් හෝ ලබාගැනීමට අවස්ථාවක් නිරෝධායනයට රැගෙන යාමට පෙර පොලිසිය විසින් ලබාදී නැතැයි වාර්තා වෙයි.
ඔවුන් නිරෝධායනය සඳහා රැගෙන යන ස්ථානය මේ වන තෙක් හෝ ඔවුන්ට දැනුම් දී නැත.

“දුර ගමනක් යන්න ලෑස්ති වෙන්න”

Update : 7.20 PM
පොලිසිය විසින් බලහත්කාරයෙන් නිරෝධායනය කිරීම සඳහා රැගෙන යනු ලබන පිරිස වරාය පොලිසිය තුළට රැගෙන ගොස් ඇතැයි ද දුර ගමනක් යාමට සූදානම් වන ලෙසට පොලිසිය පවසා ඇතැයි ද යන ස්ථානයක් පිළිබඳ මෙතෙක් ප්‍රකාශ කර නැතැයි ද එම ස්ථානයේ සිටින පුද්ගලයෙක් පැවසීය.

සෞඛ්‍ය බලධාරියෙක් නොමැතිව නිරෝධායනයට – ඊයෙ වගේමයි අදත් !

Update : 7.10 PM
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණ කරනු ලැබූ පිරිසට අධිකරණයෙන් ඇප ලබා දී තිබියදීත් සහ නිරෝධායනය කිරීම සඳහා අධිකරණයට බලයක් නැතැයි ප්‍රකාශ කර තිබියදීත් එම පිරිස නිරෝධායනය කිරීම සඳහා පොලිසිය විසින් බලහත්කාරයෙන් ඔවුන් රැගෙන ගොස් තිබේ.
නීතිය අනුව ඒ සඳහා අදාළ සෞඛ්‍ය බලධාරීයකු සිටිය යුතු නමුත් කිසිදු සෞඛ්‍ය බලධාරීයකු හෝ නොමැතිව මෙලෙස ඔවුන් රැගෙන ගොස් ඇත.

සෞඛ්‍ය අංශ නැතිව බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන යාමේ තැතක්

Update : 6.10 PM
අධිකරණයෙන් ඇප ලැබුණු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස අධිකරණ භූමිය තුළදීම වැලිකඩ පොලිසිය විසින් බලහත්කාරයෙන් නිරෝධායනය කිරීම සඳහා රැගෙන යාමට උත්සහ කරමින් සිටී.
නීතිඥවරුන් එය වළක්වා ඇති අතර නිරෝධායනය පොලිසියට කළ නොහැකි බවත් ඒ සඳහා ⁣සෞඛ්‍ය අංශ සිටිය යුතු බවටත් නීතිඥවරුන් පොලිසියට දැනුම් දී තිබේ.
කෙසේ ⁣නමුත් ඔවුන්ට අධිකරණ භුමියෙන් පිටතට පැමිණීමට නොහැකිව සිටිති.


අත්අඩංගුවට ගත් පිරිසට ඇප

Update : 5.40 PM
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවක නියැලී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ 33 දෙනා 25000 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරන්ජනා ද සිල්වා මහත්මිය නියෝග කළාය.
එහිදී ඔවුන්ව නිරෝධායනය කිරීම සඳහා වැලිකඩ පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර එය අධිකරණයට කළ නොහැකි බව අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය. (වැඩි විස්තර මෙතැනින්..)

අත්අඩංගුවට ගත් පිරිස උසාවියට

Update : 5.00 PM

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුම අසල සාමකාමී විරෝධතාවක නියැලී සිටියදී අත්අඩංගුවට ගත් පිරිස මීට සුළු මොහොතකට පෙර අලුත්කඩේ උසාවියට රැගෙන එනු ලැබූහ.

විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට මැදිහත් වන්නැයි මානව හිමිකම් කොමිසමට ඉල්ලීමක්

Update : 2.00 PM
පාර්ලිමේන්තු වටරවුම අසල සාමකාමී විරෝධතාවක නියැලී සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත්වී මූලික අයිතිවාසිකම් කඩවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ලිපියක් මගින් ඉල්ලා සිටී.
එම ලිපියේ මෙසේ සඳහන් විය.
“නීති විරෝධී සහ අනාරක්ෂිත අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙනි.
පාර්ලිමේන්තු වටරවුම අසල සාමකාමී විරෝධතාවක නියැලී සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තලංගම පොලිස් ස්ථානයට රැගෙන යනු ලැබූහ.
මේ පිරිස අතර වයෝවෘද්ධ පිරිස් ද සිටිනු දක්නට ලැබුණි.
ඔවුන් අත්පාවලින් ඔසවාගෙන බස් රථයකට ගෙන ගිය ආකාරයත්, පොලිසිය ඔවුන් සමඟ පොර බැදූ ආකාරයත් නිසා විරෝධතාකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැනද බරපතල ගැටලු සහගත බවක් තිබේ.
එබැවින් මේ සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත්වී මූලික අයිතිවාසිකම් කඩවීම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
සවිස්තරාත්මක පැමිණිල්ලක් වෙනම එවීමට කටයුතු කරමු.”

නීතිවලට මුවා වෙලා මර්දනය කිරීම නවත්වන්න – ජාතික වෘත්තීය සමිති පෙරමුණ

නීති ප්‍රතිපාදනවලට මුවා වෙමින් ජනතාව පීඩාවට පත් කරන තීරණයන්ට එරෙහිව හඬ නැගීමට මහජනතාවට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මර්දනය කිරීම වහා නවතන ලෙස ජාතික වෘත්තීය සමිති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කම්කරුවන් ඇතුළු පීඩිත ජනතාව ඉල්ලා සිටින සහන සැලසීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් එම වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
එම නිවේදනය පහතින්..


පිරිසක් තලංගමට – පිරිසක් මිරිහානට

Update : 12.00 PM
පාර්ලිමේන්තු වටරවුම අසල සාමකාමී විරෝධතාවක නියැලී සිටියදී අත්අඩංගුවට ගත් පිරිසක් තලංගම පොලිසියටත් පිරිසක් මිරිහාන පොලිසියටත් රැගෙන ගොස් ඇති බවට පොලිස් ආරංචිමාර්ග පවසයි.

ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Update : 10.50 AM
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුම අසල සාමකාමී විරෝධතාවක නියැලී සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බස් රථවල නංවාගෙන රැගෙන ගොස් තිබේ.

නිරෝධායන නීති මගින් විරෝධතා මර්දනය බරපතළ තත්ත්වයක් – වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන 45කින් ඒකාබද්ධ නිවේදනයක් !

නිරෝධායන නීති යොදාගනිමින් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව සිදුකරන විරෝධතා මර්දනය කිරීම බරපතළ තත්ත්වයක් බව වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන 45ක් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.(සම්පූර්ණ පුවත මෙතැනින්)

2021.07.07


නිරෝධායන නීතියෙන් මර්දනය එපා – සංවිධාන 8කින් ඒකාබද්ධ නිවේදනයක් !

නිරෝධායන නීතිවලට මුවා වී, අරගලවල නිරත වෘත්තීය සමිති හා දේශපාලන කි‍්‍රයාධරයන් මර්දනය කිරීම බරපතල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවක් බව සංවිධාන 8ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. (සම්පූර්ණ පුවත මෙතැනින්)

මහින්ද ජයසිංහ අත්අඩංගුවට

මුතුරාජවෙල තෙත් බිම විනාශ කිරීමට එරෙහිව  ජා-ඇල, බෝපිටිය මංසන්ධියේදී පැවති උද්ඝෝෂණයකට සම්බන්ධවී සිටි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සංජීව බණ්ඩාර – දුමින්ද නාගමුව අත්අඩංගුවට

කොළඹ ඉංජිනේරු සංස්ථාවේ සේවකයින්ගේ වැටුප් නොගෙවීමට එරෙහිව පැවති වෘත්තීය කි‍්‍රයාමාර්ගයට සහය පළ කරමින් උද්ඝෝෂණයේ යෙදීම හේතුවෙන් ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ කැඳවුම්කරු දුමින්ද නාගමුව ඇතුළු තිදෙනෙක් සමග සත්‍යග‍්‍රහයේ නිරත පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තේය.

ගොවි උද්ඝෝෂණයට සහභාගි වූ සමන්ත – නාමල් අත්අඩංගුවට

ගොවීන් මුහුණ දෙන පොහොර ගැටළුව සම්බන්ධයෙන් බණ්ඩාරවෙල – බෝරලන්ද ප්‍රදේශයේ පැවති ගොවි උද්ඝෝෂණයකට සහභාගී වීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් වන සමන්ත විද්‍යරත්න හා නාමල් කරුණරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අදාළ විරෝධතාවය සංවිධානය කිරීම සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබිණි.

සිරසට අත නොතබන්නැයි විපක්ෂය ඉල්ලයි

සිරස මාධ්‍ය ජාලයට එරෙහිව මර්දනකාරී පියවරයන් නොගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩුවට දැනුම් දුන්හ.


2021.07.06


දේශබන්දු තෙන්නකෝන්ගේ අනියම් තර්ජන ගැන විමර්ශනයක් ඉල්ලයි

මාධ්‍යවේදී තරිදු ජයවර්ධනට එරෙහිව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කරන ලද අනියම් තර්ජනය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මනූෂ නානායක්කාර, තලතා අතුකෝරල සහ විජිත හේරත් මහතා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරල මහත්මිය

 

Previous articleඅනීතික රඳවාගැනීම්වලට එරෙහිව ලුණුගම්වෙහෙරේ උද්ඝෝෂණයක් !
Next articleපෝර්ට් සිටියට හා කොළඹට විදුලිය ලබා දීමට මුතුරාජවෙල අක්කර 110ක් ගොඩ කිරීමට සැරසෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here