විරුද්ධවාදීන් මර්දනය කරන ‘අලුත් නීති’ අප රැගෙන යන්නේ කොතැනට ද?

 

(හර්ෂණ තුෂාර සිල්වා)
විරෝධතාව යනු සෑම පුරවැසියකුගේම මිනිස් අයිතිවාසිකමකි. පුරවැසියන් සිය භාෂණයේ නිදහස භුක්ති විඳින එක් ආකාරයක් ලෙස විරෝධතා පෙන්වාදිය හැකි ය.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ එක්රැස් වීමට පුරවැසියන්ට ඇති අයිතිය ස්වභාවධර්මය මගින් සීමා කරන ලදි. ස්වභාවධර්මයේ නීතිය යනු ඒවා මිස අනීතික ඝාතන නොවන බව සිහිපත් කිරීමක් කළ යුතු ය.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තයෙන් සෑම පුරවැසියකුටම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට, සාමකාමීව රැස්වීමේ නිදහසට, සමාගමයේ නිදහසට ඇති අයිතිය තහවුරු කර ඇත.
අප දන්නා නීතිය අනුව වෙන මොන නීතිය වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉක්මවා නොයන්නේ ය.
‘කොවිඩ්-19’ වසංගතයත් සමඟ ලෝකයේ නව නීති පැනවුණු අතර බොහෝමයක් සෞඛ්‍ය අංශවල උපදෙස් මතත්, විශේෂඥ උපදෙස් මතත්, ගැසට් නියෝග, රෙගුලාසි යනාදියටත් සීමා විය. ඇතැම් ඒවා කට වචනයට සීමා වූ බව ද සඳහන් කළ යුත්තේ ය. ලොවපුරා මේ තත්ත්වය අපට දැකගැනීමට හැකියාව ලැබිණි.
ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ, ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ගවාදයට සහ පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි උද්ඝෝෂණ යනාදිය මේවාට උදාහරණය ය.
විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතයට පැනවුණු සීමා, විශේෂයෙන්ම නිරෝධායන නීතියට මුවා වී දේශාපලනඥයන් වැඩිමනක්ම ආණ්ඩු කරවන්නන් සිය විරුද්ධවාදීන් මර්දනය කිරීමටත් විරුද්ධවාදීන් නිහඬ කිරීමටත් මෙම නීති භාවිත කළ යුතු අපට දක්නට ලැබිණි.
මේ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සැසිවාරවලදී සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මෙන්ම මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මේ සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන සහ නීති මෙන්ම වාර්තා ද සකස් කරන ලදි.
ඉකුත් වසරක කාලයේ දී මෙන්ම ඉකුත් දින කිහිපයේදීම නිරෝධායන නීතිවලට යටත්ව ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මර්දනය කිරීමටත්, සිය විරුද්ධවාදීන් සහ ආණ්ඩුවට එරෙහිව පැවැත්වෙන විරෝධතා පාලනය කිරීමටත් වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය හොඳින් දැක ගැනීමට අවස්ථාව ලැබිණි.
ජාත්‍යන්තරයේ යම් සිදුවීමක් වන ඒවා ඉතා රසකර පුවත් මවන සහ ශ්‍රී ලංකාවේ එසේ නොවන බවට ඉතා සුමිහිරි අත්දැකීමක් මෙරටට මවන ඇතැම් පාර්ශව, මාධ්‍ය, දේශපාලනඥයන් මෙවැනි සිදුවීම් නොසලකා සිටීම නම් රටේ අනාගතයට මිහිරි නොවේ.
මහාමාර්ගයකට පොදු ස්ථානයකට විරෝධතා දැක්වීමට ඇති අවස්ථා මඟ හැරෙන ලෝකයක අන්තර්ජාල අවකාශය තුළ විරෝධතා දැක්වීමට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා ශිෂ්ට සම්පන්න ලෝකය නීති සකසන විට අප ජීවත්වන ආකාරයේ රටවල පාලකයන් නිරෝධායන නීතියට මුවා වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති අයිතිවාසිකම් උල්ලංඝණය කරයි.
නිරෝධායන නීතියක් පනවා ඇත්නම් සතුට සැමරීමේ සිට දුක ප්‍රකාශ කිරීමටත් සිය පාක්ෂිකත්වය ප්‍රකාශ කිරීමට විරෝධතාව දැක්වීම දක්වාත් ක්‍රියාත්මක විය යුතු ය.
එහෙත් ඉන්දීය සාගරයේ මේ අමුතු දිවයිනේ සිදුවන්නේ සිය දේශපාලන පක්ෂයේ නායකයකු පාර්ලිමේන්තු පැමිණීමත් ඔහු අමාත්‍ය ධුරය දිවුරුම් දීමත් සැමරීමට ප්‍රීති ඝෝෂා පවත්වද්දි ක්‍රියාත්මක නොවන නීතිය එදිනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පතකට විරෝධය දක්වන පුරවැසි කණ්ඩායමකට ක්‍රියාත්මක වන්නේ නම් ඒ රටේ ක්‍රියාත්මක වන්නේ එක් නීතියක් නැතිනම් නීති දෙකක් ද යන්න විමසිය යුතුම ය.
නීතිය පිළිබඳ කතාවක මදකට අමතක කර බැලුව ද, මෙතරම් ව්‍යවසනකාරී අර්බුදකාරී සමයක පුරවැසියකු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමත් ඔහු අමාත්‍ය ධුරයක දිවුරුම් යනාදියට ප්‍රීතිඝෝෂා නඟන්නට කරුණක් නම් අප සිටින්නේ කොතරම් නොදියුණු සමාජ ක්‍රමයක ද යන්න නැවත නැවතත් සිතා බැලිය යුතු ය.
Previous articleඋපක්‍රම තියාගෙන අපි පස්සට යනවා : ලෝකය ඇවිත් තියෙන්නෙ අලුත් යුගයකට – ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු
Next articleසෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙ ලිපිය නීතියට පටහැනියි – වෘත්තීය සමිති : අපි කරන්නෙ උපදෙස් පිළිපදින එක – පොලිසිය භාර ඇමැති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here