නිරෝධායනය දඬුවමක් කිරීම අධිකරණයට කරන අපහාසයක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

නිරෝධායනය සෞඛ්‍යාරක්ෂක ක්‍රියාමාර්ගයක් බවත් එය දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිතා නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.
ඇප මත නිදහස් කරන ලද පුද්ගලයන් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවී⁣මේ ක්‍රියාව බලහත්කාරී සහ නීතිවිරෝධී වන බව ද එය එම පුද්ගලයන් ඇප මත නිදහස් කළ අධිකරණයට කරනු ලබන අපහාසයක් බවද එම සංගමය පවසයි.
එවැනි අත්අඩංගුවට ගැනීම් හා බලහත්කාරයෙන් රඳවා තබාගැනීම් හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක හමුදා සහ පොලිසිය විසින් කොවිඩ්-19 මර්දනය කිරීම සඳහා ගනු ලබන අව්‍යාජ ප්‍රයත්නයන් සම්බන්ධයෙන් අහිතකර ප්‍රතිඵල ඇතිකරන බව එස සංගමය ප්‍රකාශ කරයි.
කොවිඩ්-19 සම්බන්ධ සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බව පවසමින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම හා රඳවා තැබීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව සඳහන් කළේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති මෑතකාලීන සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් මහජන විරෝධතා හෝ එළිමහන් රැස්වීම් තහනම් ක්‍රියා ලෙස නම් කර නැතැයි එම සංගමය පෙන්වා දෙයි.
“පොලිස් මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය අනුව කොවිඩ්-19 පැතිරීම හේතුවෙන් මහජන රැස්වීම් සහ මහජනතාව විශාල වශයෙන් ඒකරාශි වන විරෝධතා සඳහා අවසර ලබා නොදිය යුතු බව සඳහන් දැනුම්දීමක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් පොලිස්පතිවරයා වෙත ලැබී තිබේ.
අදාළ මාධ්‍ය නිවේදනයෙහි පවා
මහජනතාව විශාල වශයෙන් ඒකරාශි වන විරෝධතා වැළැක්වීමට කටයුතු කරන ලෙස උපදෙස් දෙන නමුත් මහජන විරෝධතා පූර්ණ තහනම් කිරීමක් අදහස් කර නැත. ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශානූකූලව පවත්වනු ලබන රැස්වීම් හා විරෝධතා තහනම් කර නැත.” යැයි නීතිඥ සංගමය සඳහන් කරයි.
සම්බාහන මධ්‍යස්ථාන, සුපිරි වෙළෙඳසැල් සහ අවන්හල් පවත්වාගෙන යාම, මත්පැන්හල් විවෘත කිරීම සහ එළිමහනේ ව්‍යායාම කිරීම හා දිවීම සඳහා එමගින් අවසර ලබා දී ඇතැයි ද එම සංගමය පවසයි.
නිරෝධායනය අදාළ වන්නේ රෝගය වැළඳී ඇති හෝ එය වැළඳුණු බවට සැක කරනු ලබන අයෙකුට පමණක් බවද වෙනත් කිසිවෙකුට නිරෝධායනය අදාළ වන්නේ නොවන බවද එම සංගමය පෙන්වා දෙයි.
එබැවින් සාමකාමී ලෙස විරෝධය පෑමේ අයිතිවාසිකම ක්‍රියාකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමෙන් හා රඳවා තබාගැනීමෙන් වැළකී සිටින ලෙසට පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙන්නැයි නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විරුද්ධ වීමේ නිදහසට අහිතකර ලෙස බලපාන අන්දමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ භාවිත කිරීමට ඉඩ නොදෙන ලෙසද, සෞඛ්‍ය රෙගුලාසි හා මාර්ගෝපදේශ එ්වායේ අරමුණු වන කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් පමණක් භාවිත කරන බව තහවුරු කරන ලෙසද එම සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.
සම්පූර්ණ නිවේදනය පහතින්..

Previous articleසෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙ ලිපිය නීතියට පටහැනියි – වෘත්තීය සමිති : අපි කරන්නෙ උපදෙස් පිළිපදින එක – පොලිසිය භාර ඇමැති
Next articleකාබනික පොහොර නරක ද? – ජනාධිපති කරන්නේ කුමක්ද? : විරෝධය හරියට තේරුම් ගන්න – මහාචාර්ය එල්.එම්.අබේවික්‍රම

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here