10 දෙනකුට පොලිසිය පහරදීලා – නීතිඥවරු : නිරෝධායනය කරන්න අධිකරණයට බලයක් නෑ – අධිකරණය

නිරෝධායනය කිරීම සඳහා අධිකරණයට බලයක් නැතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරන්ජනා ද සිල්වා මහත්මිය අද (08) ප්‍රකාශ කළාය.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුම අසල පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගනු ලැබූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇතුළු 33 දෙනාට අධිකරණයෙන් ඇප ලබාදීමෙන් පසු ඔවුන් නිරෝධායනය කිරීම සඳහා අවසර ලබාදෙන්නැයි වැලිකඩ පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දී අතිරේක මහේස්ත්‍රාත්වරිය මේ බව සඳහන් කළාය.
එහිදී පොලිසිය සෞඛ්‍ය බලධාරීන්ගේ යැයි පැවසෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර එය පරීක්ෂා කර අතිරේක මහේස්ත්‍රාත්වරිය පැවසූවේ එම වාර්තාවේ නිරෝධායන සඳහා රැගෙන යන ස්ථානයක් හෝ සඳහන් නොවන බවයි. එසේ නිරෝධායනය කරනු ලබන ස්ථානයක් එහි සඳහන් වූවද නොවූවද නිරෝධායනය කරන ලෙස නියෝග කිරීම සඳහා අධිකරණයට බලයක් නැතැයි අතිරේක මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.
අත්අඩංගුවට ගනු ලැබූ 33 දෙනාගෙන් කාන්තාවකට සහ හිමිනමකට ඇතුළු දස දෙනකුට පහර දී ඇතැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් උසාවියට දැනුම් දුන් අතර එම දස දෙනාගේ නම් අධිකරණයේදී ලකුණු කරනු ලැබීය.
අත්අඩංගුවට ගනු ලැබූ පිරිස වෙනුවෙන් නීතිඥවරුන් 30 දෙනෙක් පමණ පෙනී සිටියහ.
අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ සේනක පෙරේරා මහතා පැවසුවේ මෙහීදී නිරෝධායන නීති කඩ කරනු ලැබුවේ මෙම පිරිස නොව පොලිසිය බවත් නිරෝධායන නීති කඩකරමින් මේ පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ උද්ඝෝෂණය ආරම්භ කිරීමට පවා පෙර බවත් ය.
නීතිඥ ගුණරත්න වන්නිනායක බැසිල් රාජපක්ෂ දිවුරුම් දීම වෙනුවෙන් සැමරුම් පැවැත්වුවද ඒවාට නිරෝධායන නීති අදාළ නොවන්නේදැයි පොලිසියෙන් විමසා සිටියේය.
එම 33 දෙනා 25000 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
වැඩිදුර විස්තර මෙතැනින්..

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here