නිරෝධායන නීතියෙන් මර්දනය එපා – තවත් සංවිධාන 8කින් ඒකාබද්ධ නිවේදනයක් !

නිරෝධායන නීතිවලට මුවා වී, අරගලවල නිරත වෘත්තීය සමිති හා දේශපාලන කි‍්‍රයාධරයන් මර්දනය කිරීම බරපතල ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවක් බව සංවිධාන 8ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මුතුරාජවෙල පරිසර කලාපය පිළිබඳ උද්ඝෝෂණයකට සම්බන්ධවී සිටි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ අත්අඩංගුවට ගැනීම, කොළඹ ඉංජිනේරු සංස්ථාවේ සේවකයින්ගේ වැටුප් නොගෙවීමට එරෙහි වෘත්තීය කි‍්‍රයාමාර්ගයට සහය පළ කරමින් උද්ඝෝෂණයේ යෙදීම හේතුවෙන් ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ කැඳවුම්කරු දුමින්ද නාගමුව ඇතුළු තිදෙනෙක් සමග සත්‍යග‍්‍රහයේ නිරත පිරිස අත්අඩංගුවට ගැනීමත්, ගොවි උද්ඝෝෂණයකට සහභාගි වූ සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න අත්අඩංගුවට ගැනීමත් දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව එම සංවිධාන සඳහන් කරයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ඉකුත් 06 වැනිදා නිකුත් කළ ලිපියකට අනුව නිරෝධායන නීතිවලට මුවා වී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවද එම සංවිධාන සඳහන් කරයි.
ජනතාවට උද්ඝෝෂණ කිරීමට සිදුව ඇත්තේ ආණ්ඩු ජනතා ගැටළු විසඳීමට කටයුතු නොකිරීම නිසා බවද උද්ඝෝෂණ සහ ජනතා අරගල නැවැත්වීමට අවශ්‍ය නම් ආණ්ඩුව කළ යුත්තේ එම ගැටලූ විසඳීමට කටයුතු කිරීම බවද එම සංවිධාන ප්‍රකාශ කරයි. එසේ නොමැතිව ජනතා ගැටළු දිනෙන් දින උත්සන්න වෙමින් පවතින විට එම ගැටළු විසඳීමට බලකරමින් උද්ඝෝෂණවල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ මර්දනකාරී පිළිවෙත කි‍්‍රයාවට නැගීමක් බව එම සංවිධාන පවසයි.
කෝවිඩ්-19 නිරෝධායන නීතිවලට මුවා වී ජනතාවගේ විරෝධය පෑමේ හා උද්ඝෝෂණය කිරීමේ අයිතිය උල්ලංඝනය නොකරන ලෙසත්, උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නියමයන් වහා අකුලා ගන්නා ලෙසත් එම සංවිධාන ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ශී‍්‍ර ලංකා ජාතික විදුහල්පති සංගමය, පුහුණු හා විද්‍යාපීඨ උපාධිධාරී ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ලංකා ප‍්‍රගති ගුරු සංගමය සහ ශී‍්‍ර ලංකා ජාතික ගුරු සංගමය මෙම නිවේදනය නිකුත් කර තිබේ.
Previous articleමැයි මාසයේ නීතිපතිගේ ඉල්ලීම ඉටු වෙයි – පාස්කු ප්‍රහාර විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් !
Next articleහමුදාව එන්නත්කරණය කරන්නේ නුපුහුණු අය මගින් ද ? – ඇවිත් ඇස් දෙකෙන්ම බලන්න – යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here