ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර කැමැත්ත විතරක් නෙවෙයි – මහින්ද දේශප්‍රිය 

(නිලූක සඳුන් පද්මසිරි)

ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතර කැමැත්ත පමණක් නොවන බවත් සුළුතර කැමැත්තට සවන් දිය යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

සෑබැ ප්‍රජාතන්ත්‍රවාදය යනු සුළුතරයට අගතියක් නොවන සේ බහුතරයේ කැමැත්ත අනුව පාලනය කිරීම බව ද නමුත් අද ප්‍රජාතන්ත්‍රවාදය කියා බොහෝ අය සිතා සිටින්නේ බහුතරයේ මතය සුළුතරය මත පැටවීම කියා බව ද ඔහු කීවේය.

බහුතරයේ කැමැත්ත මත ඕනෑම දෙයක් කළ හැකියි යන මතය තුන්වැනි ලෝකයේ දියුණුවට බාධාවක් බව ද හෙතෙම සඳහන් කළේය.

ඔහු මේ බව උදාහරණ කිහිපයක් ද සමගින් විස්තර කළ අතර එම උදාහරණ සහිත සම්පූර්ණ කතාව පහත දැක්වෙයි.

ඒ මහතා මේ බව පැවසූවේ ඒෆ්‍රියල් තරුණ ජාලයේ සත්වැනි සංවත්සරය වෙනුවෙන් ඉකුත් දා සංවිධානය කරන ලද උත්සවය අමතමිනි.

එම අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරු සහ මඩකලපුව, මුලතිව්, වවුනියාව,යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්වල සහකාර මැතිවරණ කොමසාරිස්වරු සහභාගි වූහ.

විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් දෙමළ, සිංහල සහ මුස්ලිම් තරුණ තරුණියෝ 150 දෙනෙක් මෙම උත්සවයට සහභාගි වී සිටියහ.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළ යුත්තේ තරුණයන් බවත් අද ප්‍රජාතන්ත්‍රවාදයට තරුණයන්ගේ  අවශ්‍යතාවක් පවතින බවත් මහින්ද දේශප්‍රිය මහතා එහිදී කීවේය.

ඒ මහතා මෙසේද පැවසීය.

“බොහෝ දෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදය කියලා හිතාගෙන ඉන්නේ වැඩි දෙනෙක් ගන්න තීරණය ක්‍රියාත්මක කරන එක කියලා.

අපි හිතමු ළමයි 40ක් ඉන්න පන්තියක මොනිටර් තෝරන්න ඡන්දයක් තිබ්බ කියලා. එකේකෙනකු⁣ට 37යි. අනෙක් කෙනාට 3යි.

ඡන්ද 37 කින් මොනිටර් වුණාට අර තුන් දෙනාගේ හඬට කන් නොදී ඉන්න බෑ. මම ඔය කිව්වේ විශාල ගණනකින් දිනපු අවස්ථාවක්.නමුත් සමහර වෙලාවට ඕක 21 – 19 වෙන්න පුළුවන්. සමහර වෙලාවට 3ක් ඡන්දය ඉල්ලලා 15 – 14 – 11 වෙන්න පුළුවන්.
එයාට කැමති 15යි එයාට විරුද්ධව 25ක් ඉන්නවා.

නමුත් මේ ඡන්ද ක්‍රමය අනුව 15 ඉන්න කෙනා නායකයා වෙනවා. එයාට ඕන විදියට පාලනය වෙනවා. සෑබැ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒක නෙමෙයි. සුළුතරයට අගතියක් නොවන සේ බහුතරයේ කැමැත්ත අනුව පාලනය කිරීම. අපේ හැම තැනකදීම දේශපාලන විතරක් නෙමෙයි මරණාධාර සමිතියක පවා බහුතරයේ මතය සුළුතරය මත පැටවීම ප්‍රජාතන්ත්‍රවාදය කියලා හිතනවා.

තුන්වැනි ලෝකයේ දියුණුවට බාධාවක් තමයි බහුතරයේ කැමැත්ත මත ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා හිතන එක.

අපි හැමදාම කියන ප්‍රකට උදාහරණය බලමු. අපේ ගමේ එක පවුලක සිටියා තාත්තයි අම්මයි පුත්තු දෙන්නයි දුවයි.  මේ කතාව අහලා ඇති මමම කියලා.

අපි කියන්නේ මේකට පාන් සහ බත් කතාව කියලා. මේ ගෙදර තාත්තයි ලොකු පුතයි කන්න කැමති පාන්. තුන්වේලටම පාන් කන්න කැමතියි. අම්මයි දෙවැනි පුතයි දුවට බත් ඕනේ පාන් පේන්න බෑ. පස් පාරක් බත් කනවා.දවසක් පාන් කනවද බත් කනවද කියන කතාව ආවා. ඡන්දයක් තිබ්බොත් මොකද වෙන්නේ වැඩි ඡන්දයෙන් තීරණය කරන්න ඕනේ.

එහෙනම් අර දෙන්නට හැමදාම බත් කන්න වෙනවා. හැබැයි මේ ගෙදර ප්‍රජාතන්ත්‍රවාදී ගෙදරක් ඉඳලා හිටලා මේ වගේ දෙයක් කරනවා. මේ ගෙදර උයන්න තියෙන්නේ පරිප්පුයි කරවලයි හරි ටින් මාළු හරි විතරයි. මේ ගොල්ලෝ හිතනවා ටින් මාළු ලූණු දාලා හදමු පාන් කන අයට සම්බෝලයක් විදියට ගන්න පුළුවන් කියලා. අපි පානුයි බතුයු දෙකම කමු කියලා පරිප්පු හොද හොද්දක් හදනවා පාන් කන්නයි බත් කන්නයි ගැලපෙන්න.

ඒකයි පොඩි අයට පෙන්නලා දෙන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයේ කැමැත්ත විතරක් නෙමෙයි සුළුතරයට සවන් දෙන්න ඕන කියලා.

ඉස්කෝල වැඩිපුර ඉන්නේ කාන්තා පක්ෂය. ඉස්කොලේ වැඩියෙන් අදින්න ඕන කලිසම් සාරි ද කියලා ඡන්දයක.තිබ්බොත් දිනන්නේ සාරිය. එතකොට සර්ලටත් සාරි අදින්න වෙනවා. ඡන්දයෙන් විතරක් ප්‍රජාතන්ත්‍රවාදය ගන්න බැ.

රත්නපුර දෙමළ භාෂාව කතා කරන්නේ 15%. ගාල්ලේ ඊටත් වඩා අඩුයි. අපි එතකොට ගාල්ලේ සහ රත්නපුර ඉන්න හැමෝටම සිංහලින් විතරක් ලියුම් යැවුවොත් ඒක හරිද?  මුලතිව්වල සිංහල කතා කරන අය ඉන්නේ වැලිඔය විතරයි. එතකොට වැලිඔයටත් දෙමළින් විතරක් ලියුම් යැවුවොත් හරියනවාද?

එ්ක හරියන්නේ නෑ. තමන්ගේ මව් බසින් වැඩ කරන්න ඉඩ දෙන එකත් ප්‍රජාතන්ත්‍රවාදය. ඒක නිසා තමයි අපි එෆ්‍රියල් එකට කැමති. භාෂා දෙකෙන්ම වැඩ කරන්න ඔවුන් උනන්දු කරනවා.

තමන්ගේ මව් බසත් තමන්ගේ. සහෝදරයාගේ භාෂාවත්.ජාත්‍යන්තර ලෙස ඉංග්‍රීසිත් ඉගෙන ගන්න එක වැදගත්. අපි මේ නියෝජිත  ප්‍රජාතන්ත්‍රවාදය දිහා බැලුවොත්. ඡන්දය දීලා නියෝජිතයින් තෝරාගන්න එක තමයි ඒ.

නමුත් ඔයිට වෙනස් පුජාතන්දවාද තියෙනවා. එකක් තමයි මේ හැමෝම නායකයෙක් නැතිව කතාකරන නිදහස. අලි ගැහුවම පාරට ගිහින් හැමෝම උද්ඝෝෂණ කරනවා. හැබැයි එතනින් දෙන්නෙක් කච්චේරියට නිලධාරීන් එක්ක ගිහින් කතා කරනවානම් එතන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඒ දෙන්නා වැඩි ඡන්දයෙන් තේරුවනම් සර්ව ජන ඡන්ද බලයෙන් සමාන ඡන්දයෙන් තොරගත්තනම්.

අනෙක ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදය. ඡන්ද බලය තොරතුරු පනත වගේ දේවල් ව්‍යවස්ථාමය කරුණු.

අනික් පැත්තෙන් බැලුවම ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ ගැටළු. ප්‍රජාතන්ත්‍රවාදය එපා, නිලධාරී නිදහස එපා, පළාත් සභා එපා කියන මොහොතක ප්‍රජාතන්ත්‍රවාදයට මොකද්ද වෙන්නේ? එක එක තැන්වල එක එක අදහස් තියෙනවා. එ්කට අපි කියන්නේ සාකච්ඡා ප්‍රජාතන්ත්‍රවාදය කියලා.

සමානතාව හැමෝම එකයි කියන එක
සියලු දෙනාගේ ඇතුළත්වීම කවුරුත් බැහැර නොකිරීම, හැමෝටම අදහස් දක්වන්න පුළුවන් වීම.
සාකච්ඡාව මෙහයවන්න එක්කෙනෙක් හිටියට එයාගේ මතය නෙමෙයි පිළිගන්න ඕන. විනිවිද බව අපි කරන හැමදේම විනිවිද වෙන්න ඕන රහසිගත වෙන්න බෑ.

විවිධ මත තියෙන්න ඕන. එකම මතය විතරක් බෑ. මැතිවරණ දෙපාර්තමේන්තුව වෙනුවට කොමිෂන් සභාවක් ආවේ තනි කෙනාගේ අදහසට වඩා කිහිප දෙනකුගේ අදහස් වැදගත් නිසා. විවිධ අදහස් එන්නේ විවිධ අය එකතු වුනාම. තනි පාටින් අදින චිත්‍රය ලස්සන නෑ.

කොමිසම විසින් තවත් වැඩියෙන් බරදාන කරුණක් වෙත අවධානය යොමු කරන්න කැමතියි.

අපේ කාන්තාවන්ට පාර්ලිමේන්තුවේ නෙමෙයි පළාත් සභාවේ නෙමෙයි මරණාධාර සමිතියේ හරි අාදි ශිෂ්‍ය සංගමයක හෝ වේවා සැබෑ නියෝජනයක් තියනවද නිලධාරී මණ්ඩලය තුළ.

අනෙක් කරුණ සංස්කෘතිය සහ විවාහය. මේ බැම්ම නිසා හැකියාව ඉදිරිපත් වීම දක්ෂතා යටපත් කරලා තියෙනවා අපේ රටේ.අාසියාතික රටවල් වල කොපමණ රැඩිකල් කාන්තාවක් වුවත් තම පුතාට රැඩිකල් ලේලි කෙනෙක් ගේන්න කැමති නෑ. කවුරුත් බලන්නේ ගෘහණියක් ලේලිය කරගන්න. නමුත් කාන්තාවන්ට පිරිමි තියෙන අයිතිවාසිකම්ම තියෙනවා.

ඒක සිනාසීමේ ඇඳුමට දක්වා පනවන සීමාව ඇතුළුවයි.

සාරියට වඩා සල්වාර් කමිස කොපමණ හැඩද සංවරද දිග ටොප් එකක් සහ බොටම් එකක් කාර්යාලයට සුදුසු ඇඳුමක්. බොහෝ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එ්කට කැමති නැ. පිරිමින්ටත් ටයි එක දැමිමේ නැත්නම් ගණන් ගන්නේ නැ. ඒ සංස්කෘතිය වෙනස් වෙන්න ඕන. ඒකෙන් කියවෙන්නේ නැ Three quarter බැනියම් ඇදලා බොත්තම් ඇර⁣ලා පික්චර් එකක වගේ එන්න කියන්නේ නෑ. සංවර ඇඳුමක් ඇයි අපට පිලිගන්න බැරි.සේරම නීති කාන්තාවන්ට තමයි.

පාර්ලිමේන්තු නියෝජනය ඇයි මේ නියෝජනය නැත්තේ කාන්තාවට. දේශපාලනයට අාවම කාන්තාවට නින්දිත කතා කියන එකට විරුද්ධ වෙන්න ඕනේ.

අද මෙතනට පැමිණියේ ප්‍රජාතන්ත්‍රවාදය සහ තාරුණ්‍ය ගැන කතා කරන්න.දැන් ප්‍රජාතන්ත්‍රවාදය සහ තාරුණ්‍ය, සමාන අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම් ගැන වැඩසටහන් කරනවා.

තරුණයන්ට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය වෙනවාට වඩා අද යුගයේ අවශ්‍යතාව ප්‍රජාතන්ත්‍රවාදයට තරුණයන් අවශ්‍යයි. අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ අපි වගේ කල් ඉකුත් වෙච්ච හෝ වයසට ගිය අය. නමුත් අැත්තටම අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තරුණයන් කතා කිරීම.

මේ ලෝකය අපගේ මෙන්ම ඔබගේය එසේ වුවත් අවසාන විග්‍රහය අනුව ලෝකය තරුණයාගේ පමණකි කියලා මාවෝ සේතුන් කියලා තියෙනවා. ඒකෙන් අවධාරණය කළේ තරුණයෝ තමයි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න ඕනේ කියන එක.”

ඡායාරූප






Previous articleහෙම්බිරිස්සාව උණ සාමාන්‍ය දෙයක් : වැඩ කරන්න කියලා කිව්වා – බ්‍රැන්ඩික්ස් සේවකයෙක්
Next articleචීන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට වෙනම නීතියක් : නිරෝධායනය නෑ : පීසීආර් පමණයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here