මැතිවරණ සැලසුමක තවත් ගොදුරක් : වෛද්‍ය සාෆි – 01

(තරිඳු ජයවර්ධන)
එදා 2019 මැයි මස 23 වැනිදා ය. දිවයින පුවත්පතේ ප්‍රධාන පුවතින් රට ම ගිනියම් වී තිබිණි. එහි ශීර්ෂය වූයේ “තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා – සාක්කි සහිතව හෙළිදරව් වෙයි – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ” යන්නයි. එය කියැවූ අයකුට හැඟී යන්නේ තවුහිත් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳ කළ (නැවත ගැබ්ගැනීමට නොහැකි) බව විමර්ශනවලින් අනාවරණය කරගෙන ඇති බවයි. එම ප්‍රවෘත්තියේ වෛද්‍යවරයාගේ නම හෝ ප්‍රදේශය සඳහන් කර තිබුණේ නැත. නිශ්චිත පුද්ගලයකු උපුටා දැක්වීමෙන් තොරව ‘පොලිසිය කියයි’ යනුවෙන් එහි සඳහන් කර තිබිණි.
වටේ ගිය පුවතට කලබල වූ පිරිස
නමක් ගමක් නොමැතිව පළවූ මේ පුවතින් පසු අන් හැමෝටම වඩා කලබල වූයේ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර ඇතුළු පිරිසකි. ඔවුහු මාධ්‍ය හමුවක් පවත්වා කුරුණෑගල රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුට මෙම චෝදනාව ආරෝපණය කර, ඔහුට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියහ. මේ කියන වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ එවකට ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් සිටියේය. ඔහු නමින් සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි ය.
වෛද්‍ය සාෆි…?
සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි මෙම සිදුවීම සිදුවන කාලයේ 42 හැවිරිදි තිදරු පියෙකි. එම වකවානුවේ ඔහුගේ දරුවෝ අවුරුදු 15, 13 සහ 10 යන වයස්වල පසු වූහ. සාෆි කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයකු ලෙස රැකියාව කළ අතර, ඔහුගේ බිරිඳ එම රෝහලේ ම වකුගඩු ඒකකයේ වෛද්‍යවරියක වූවාය.
කුරුණෑගල – කොළඹ පාරේ අංක 237 ස්ථානයේ පිහිටා ඇති ගෝල්ඩ්මේඩ් ඩයග්නොස්ටික්ස් සහ ලැබොරටරීස් ප‍්‍රයිවට් ලිමිටඩ්හි වෛද්‍ය සාෆි පෞද්ගලික වෛද්‍ය සේවයේ ද යෙදෙමින් සිටියේය. ගෝල්ඩ්මේඩ් ඩයග්නොස්ටික්ස් සහ ලැබොරටරීස් ප‍්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෛද්‍යවරයාගේ පියා සහ ඉන්දියානු ජාතිකයකු විසින් ක‍්‍රියාත්මක කරගෙන ගිය අතර, එය ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයට වෛද්‍ය සහතික නිකුත් කරන අනුමත ආයතනයක් ද විය.
අනුරාධපුර, කලාවැව ගම්මානයේ උපත ලැබූ වෛද්‍ය සාෆි ශිහාබ්දීන් කලාවැව මධ්‍ය විද්‍යාලයෙන් තම මූලික අධ්‍යාපනය ලබාගෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය සම්පූර්ණ කිරීමෙන් පසු උසස් පෙළ සඳහා ගම්පොළ සහිරා විද්‍යාලයට ඇතුළත් විය. ජීව විද්‍යා අංශයේ ශිෂ්‍යයකු වූ ඔහු 1995 වසරේ දී අපොස උසස් පෙළ විභාගය සමත් වී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨය සඳහා සුදුසුකම් ලබාගත්තේය. වෛද්‍ය නිලධාරියකු ලෙස 2005 වසරේ අගෝස්තු 10 වැනිදා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගත් ඔහු සීමාවාසික වෛද්‍යවරයෙක්, වෛද්‍ය නිලධාරියෙක් සහ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙක් ලෙස රාජ්‍ය සේවයේ කටයුතු කර තිබේ. මෙම කාලයේ ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ, ගලේවෙල දිස්ත‍්‍රික් රෝහලේ සහ දඹුල්ල මූලික රෝහලේ රාජකාරි කර ඇත.
මැතිවරණ අපේක්ෂක ක්‍රියාදාමය
2015 මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග වැද මනාප ඡන්ද 54,000ක් ලබා ගත් වෛද්‍ය සාෆි මනාප ලැයිස්තුවේ අට වැනි තැන සිටියත්, කුරුණෑගලින් එක්සත් ජාතික පක්ෂයට ආසන හතක් පමණක් ලැබුණු නිසා ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස තේරී පත්වූයේ නැත. ඔහුගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන සටන් පාඨයක් වූයේ ජාතිය පදනම් කරගනිමින් පක්ෂ දේශපාලනය කරන රිෂාඩ් බදියුදීන් වැනි දේශපාලකයන් පරාජය කළ යුතු බවයි.
පාර්ලිමේන්තු ආසනයක් ලබාගැනීමට අසමත් වීමෙන් පසු යළි වෛද්‍ය සේවයට පැමිණි වෛද්‍ය සාෆි 2016 අගෝස්තු මාසයේදී දඹුල්ල මූලික රෝහලේ ප‍්‍රසව හා නාරිවේද අංශයේ වෛද්‍යවරයකු ලෙස පත්කරනු ලැබීය. 2017 පෙබරවාරි මාසයේදී ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද අංශයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයකු ලෙස ස්ථාන මාරු ලැබීය.
ඉඩම් ගනුදෙනුවේ තත්ත්වය
මේ අතරතුර කාලයේදී නීතීඥ සහ ප‍්‍රසිද්ධ නොතාරිස් ෆාතිමා එම්. අන්සාර් මහත්මිය විසින් ලියා සහතික කරන ලද හුවමාරු ඔප්පු අංක 4220 දරන කුරුණෑගල, පුත්තලම පාරේ අංක 16, බෝධිරාජ මාවතේ 40 සහ 42 යන ඉඩම වෛද්‍ය ශිහබ්දීන්, එම්. සාජිත්, එම්. රාවුස්දීන් සහ ඉෂාක් රහුමාන් විසින් මිලදී ගනු ලැබූහ. රුපියල් කෝටි 13කට තක්සේරු කළ ඉඩම මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හයක් වෛද්‍ය ශිහබ්දීන් ඇතුළු හවුල්කාර පාර්ශ්ව විසින් ගෙවා තිබුණු අතර, ඉතිරිය සඳහා අමානා බැංකුවේ මූල්‍ය පහසුකම් ලබාගෙන ගෙවනු ලැබ තිබිණි. තමන්ගේ වැටුපෙන්, පෞද්ගලික වෛද්‍ය සේවයේ ඉපැයුම්වලින් සහ ප‍්‍රකාශිත වෙනත් ආදායම් මාර්ගවලින් ඉතිරි කළ මුදල් එම ඉඩම මිලදී ගැනීමට තමන්ගේ කොටස ලෙස ලබා දුන් බව වෛද්‍ය සාෆි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියා තිබිණි.
මෙම ඉඩම ඔවුන් මිලදී ගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ තවත් ව්‍යාපාරිකයන් පිරිසක් නොසතුටෙන් සිටි බව කියැවිණි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය
එසේ තිබියදී 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල විය. එයින් පසු මුස්ලිම් ප්‍රජාව ගැන සැක-සංකා ඇති කිරීමට බොහෝදෙනෙක් කටයුතු කරන්නට වූහ. බෝම්බ සිද්ධිය නිසා ව්‍යාජ චෝදනා පවා ජනතාව විශ්වාස කරන තැනට තල්ලු වී තිබිණි. ඒ ආකාරයට කිසිම අන්තවාදී ක්‍රියාවකට සම්බන්ධ නොවූ පිරිස් පවා අත්අඩංගුවට පත්වූ බව අනාවරණය විය. ඊට හොඳම උදාහරණය රත්නපුරයෙන් අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා ය. රත්නපුර නගරය ඡායාරූපගත කළ බවට එල්ල වූ චෝදනාවකට අත්අඩංගුවට ගත් ඔවුන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනිණි. පසුව අනාවරණය වූයේ මෙය භික්ෂුවකගේ අවශ්‍යතාව මත සිදු වූවක් බවයි.
මේ වකවානුවේ කුරුණෑගල ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත බව කියමින් පොලිසියේ පිරිසක් 2019 මැයි 06 වැනිදා වෛද්‍ය සාෆි සේවය කළ පෞද්ගලික වෛද්‍ය ආයතනය පරීක්ෂාවට භාජනය කළහ. එහෙත් සැකකටයුතු කිසිවක් හමුවී නොතිබිණි. ඉන්පසු කුරුණෑගල රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා තවුහිත් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙන බව දන්වමින් නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා කුරුණෑගල පොලිස් අධිකාරීවරයාට ඩීඅයිජී/කේයූ/ආර්අයියූ/134/19 අංකයෙන් 2019 මැයි 12 වැනිදා ලිපියක් යොමු කර තිබිණි.
නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්
ඒ වන විට කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ බිරිඳ ද වෛද්‍ය සාෆි සේවය කළ කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියක් ලෙස සේවය කරමින් සිටියාය.
බුද්ධි තොරතුරු… ?
2019 මැයි මස 22 වැනිදා කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයා ඉදිරියේ නඩු අංක බී/1398/19 යටතේ කරුණු වාර්තා කළේය. ඒ, අයිඑස්අයිඑස් සංවිධානයත් සමඟ සම්බන්ධතා ඇති මුස්ලිම් අන්තවාදී සංවිධානයකට සහාය දක්වන කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී ඇති බැවින් විමර්ශනයක් පවත්වා ඒ ගැන සාක්ෂි ඇත්නම් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසට කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා උපදෙස් ලබා දී ඇති බවටයි.
විදේශීය රාජ්‍ය නොවන සංවිධානයකින් විශාල වශයෙන් මුදල් ආධාර ලබමින් ඒවා භාවිත කරමින් වෛද්‍යවරයා කුරුණෑගල ප්‍රදේශයේ දේපොළ මිලදී ගෙන ඇති බවත්, ඒම ස්ථානවල ව්‍යාපාර පවත්වාගෙන යන බවත්, සිංහල කාන්තාවන් සිසේරියන් සැත්කම්වලට භාජනය කරද්දී පැලෝපීය නාලවලට හානි කරමින් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන් මදසරු බවට පත්වී ඇති බවට ද බුද්ධි තොරතුරු ලැබුණේයැයි පොලිසිය එහිදී ප්‍රකාශ කළේය. ඒ බවට අධිකරණයට කරුණු වාර්තා කළ පොලිසිය, වෛද්‍ය ශිහබ්දීන්ගේ ගිණුම් වාර්තා ලබාගැනීමේ නියෝගයක් අධිකරණයෙන් ලබාගත් අතර, වෛද්‍යවරයා සැකකරුවකු ලෙස නම් කර හෝ මේ විමර්ශනය පවත්වාගෙන යන්නේ ඔහු සම්බන්ධයෙන් බව හෝ සඳහන් කර තිබුණේ නැත.
‘දිවයින’ පුවත්පත
මැයි 22 වැනිදා එසේ කරුණු වාර්තා කළ අතර, මැයි 23 වැනිදා දිවයින පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ “තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා – සාක්කි සහිතව හෙළිදරව් වෙයි – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ” යන්නයි. ‘පරීක්ෂණවලින් සාක්කි සහිතව හෙළිදරව් වෙයි’ යනුවෙන් ප්‍රවෘත්තියේ සඳහන් කර තිබුණද, ඊට පෙර දින බී වාර්තාවේ පොලිසිය සඳහන් කර තිබුණේ විමර්ශන පවත්වා සාක්කි ඇත්නම් අත්අඩංගුවට ගන්නා බවයි. එනම් විමර්ශනයක්වත් සිදුකර තිබුණේ නැත. අඩු තරමේ ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන නොතිබිණි. එසේ තිබියදී “තවුහිත් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳකරලා – සාක්කි සහිතව හෙළිදරව් වෙයි – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ” යනුවෙන් පුවත්පතේ පළ වූයේ කෙසේද?
ලිපිය ආරම්භයේදී සඳහන් කළ පරිදි දිවයින පුවතින් පසු රටම ගිනියම් වී තිබූ අතර, පොලිසිය ද ගිනියම් වී තිබිණි. පුවත්පත් වාර්තාවෙන් පසු, එනම් 2019 මැයි 23 වැනිදා දෙවැනි බී වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය වෛද්‍ය සාෆි සැකකරුවකු ලෙස නම් කර, ඔහුට රටින් පිටවීම වළක්වමින් විදේශ ගමන් තහනමක් ද ලබාගත්තේය. ඒ වන විට වෛද්‍ය සාෆි කතුන් වඳභාවයට පත්කරන්නේ යැයි එකදු පැමිණිල්ලක් හෝ පොලිසියට ලැබී නොතිබිණි. එකදු කටඋත්තරයක් හෝ කිසිදු කාන්තාවකගෙන් පොලිසිය ලබාගෙන තිබුණේ ද නැත.
(‘පැමිණිල්ලක් හෝ විමර්ශනයක් නොමැතිව පොලිසිය එසේ කරුණු වාර්තා කළේ ඇයි? ඉන්පසු සිදුවූයේ කුමක්ද?’ ඒ ගැන ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න…)
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්/ පැහැදිලි කිරීමක්/ නිවැරදි කිරීමක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleසාෆිට වැටුප් ගෙවන්න අවශ්‍ය කටයුතු කරනවා – කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ : රෝහල කළේ වරදක් – සෞඛ්‍ය අමාත්‍යංශය
Next articleමඩකලපුවේ නෞකාව නීතිවිරෝධී ඛනිජ වැලි ව්‍යාපෘතියේ කොටසක් ද? : ඒක ඉන්ධන අවසන් වූ නැවක් – නාවික හමුදාව

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here