හෙම්බිරිස්සාව උණ සාමාන්‍ය දෙයක් : වැඩ කරන්න කියලා කිව්වා – බ්‍රැන්ඩික්ස් සේවකයෙක්

(නිලූක සඳුන් පද්මසිරි)

කොරෝනා පොකුරක් ඇතිවූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ එම පොකුර ඇතිවීමට හේතුව කම්හලේ නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොවීම බව එහි සේවකයෝ චෝදනා කරති.

ඊයේ නිවේදනයක් නිකුත් කරමින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ප්‍රකාශ ක⁣⁣⁣ළේ කොරෝනා බවට පරීක්ෂණවලින් තහවුරු වූ බොහෝ දෙනෙක් රෝග ලක්ෂණ නොමැති වීම නිසා හඳුනාගැනීමට අපහසු බවය.

නමුත් එම කම්හලේ සේවකයින් කිහිප දෙනකුගෙන් දුරකථන ඇමතුම් හරහා කරන ලද විමසීම්වලදී අනාවරණය වූයේ එහි ඇතැම් සේවකයින්ට ඉකුත් 21 වැනිදට පෙර සිටම රෝග ලක්ෂණ තිබී ඇති බවයි.

සේවකයින් මේ බව පාලනාධිකාරිය දැනුම්වත් කර ඇති බවත් නිවාඩු ඉල්ලා සිටියද ලබා නොදුන් බවත් එහි සේවකයෝ චෝදනා කරති.

එක් අවස්ථාවලදී කිහිප දෙනකුම උණ ආශ්‍රිත රෝග ලක්ෂණ සහිතව සිට ඇති නමුත් කම්හලේ පාලනාධිකාරිය ඒ බව තැකීමක් සිදු නොකළ බවද ඉකුත් පොහොය දින⁣යේත් සේවයට වාර්තා කරන ලෙසට බල කර ඇති බව ද ඔවුහු පවසති.

සැලකිල්ලක් නැතිකම

එම ආයතනය සැලකිල්ලක් දක්වා ඇත්තේ සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් සම්බන්ධයෙන් නොව නිෂ්පාදන සම්බන්ධයෙන් පමණක් බව Stand Up Movement Lanka සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අශිලා දන්දෙණිය මහත්මිය Medialk.com සමග පැවසූවාය.

(එම සංවිධානය කම්හල්වල කාර්යභාරය සම්බන්ධයෙන් සහ එහි වැදගත්කම පිළිබඳව සේවකයින් දැනුවත් කිරීම, සේවකයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ කම්කරුවන්ට ගැටළු සාකච්ඡා කිරීමට ආරක්ෂිත අවස්ථාවක් ලබාදීම වැනි කටයුතු සිදුකරන රාජ්‍ය නොවන සංවිධානයකි)

කොරෝනා වෛරසය ගැන කිසිදු සැලකිල්ලක් දක්වා නැති බව ද සැප්තැම්බර් 20 වැනිදා පමණ සිට එම කර්මාන්ත ශාලාවේ සේවකයින්ට රෝග ලක්ෂණ තිබී ඇතැයි ද ඇය පැවසුවාය.

සේවකයින් නිවාඩු ඉල්ලුවද නිවාඩු ලබා දී නැතැයි ද නියමිත ටාගට් අවසන් කර නිවාඩු ලබාගන්නා ලෙස කම්හලේ පාලනාධිකාරිය පවසා ඇති බවද ඇය කීවාය.

සෙම්ප්‍රතිශ්‍යාව, උණ සාමාන්‍ය දෙයක් යැයි කම්හලේ පාලනාධිකාරිය සේවකයින්ට පවසා ඇති බවත් ඔවුන් අවධානය යොමු කර ඇත්තේ කම්හලේ නිෂ්පාදනය ගැන පමණක් බවත් දන්දෙණිය මහත්මිය සඳහන් කළාය.

ඔවුන් ‘ටාගට්’ පස්සේ ගොස් ඇතැයි ද මේ හෙතුවෙන් කම්හලේ බලධාරීන් අවදානම දැක නැතැයි ද ඇය කීවාය.

කටුනායකට යන අවදානම

එම කම්හලට අනුයුක්තව සේවය කළ මෑන්පවර් සේවකයින් ප්‍රදේශ රැසක කම්හල්වල විසිරි සිටින බව ද ඒ සම්බන්ධයෙන් අවධානය ⁣මෙතෙක් යොමු කර නැති බව ද අශිලා දන්දෙණිය මහත්මිය පැවසුවාය.

මෙහි බරපතලම කාරණය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවය කළ මෑන්පවර් සේවකයින් කටුනායක වෙළෙඳ කලාපයටද අනුයුක්තව සේවය කර ඇතැයි ද මේ හෙතුවෙන් කටුනායක වෙළෙඳ කලාපයට පැතිරීමට අවදනෙමක් ඇතැයි ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද ඇය පෙන්වා දුන්නේය.

“මේක අව⁣දානම් තත්ත්වයක්. මිනුවන්ගොඩ කම්හලේ වැඩ කරපු මෑන්පවර් අය කටුනායක, සීදුව වගේ හැමතැනම වැඩ කරනවා. දැන් බලන්නේ මිනුවන්ගොඩ එකේ සේවය කරන අය ගැනයි. එයාලා පොසිටිව් වුණාම විතරක් එයාලගේ ආශ්‍රිතයින් ගැන සොයනවා. නමුත් මේ මෑන්පවර් අය ගැන හොයන්නේ දෙවැනුව. ඊයේ කටුනායකින් 17 දෙනකු නිරෝධායනය සඳහා අරන් ගිහින් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. මෑන්පවර් සේවකයින් සම්බන්ධයෙන් ක්‍රියාකරන්නේ පසුගාමී ආකාරයකින්. කටුනායකට ගියොත් මේක වළක්වාගන්න අමාරුයි. මේ වෙලාවේ කැපැසිටි එක මදි තමයි. ඒත් මේ ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. අවදානම වළක්වන්න ඒ වගේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ කාටහරි තිබුණොත් මේක එළියට යනවා ලොකු පරාසයකට. එහෙම වු⁣⁣ණොත් බරපතල තත්ත්වයක් ඇති වෙනවා. ” යැයි ඇය කීවාය.

“ඒක සාමාන්‍ය දෙයක්. වැඩ කරන්න කියලා කිව්වා”

මීට පෙර එම කම්හලේ සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශ ⁣අනුගමනය කර නැති බවත් බොහෝ සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් යොදා ඇත්තේ සිදුවීමෙන් පසුව බවත් එහි සේවකයෙක් පැවසීය.

තමන්ට අසනීප බව බලධාරීන්ට කී විට එය සාමාන්‍ය දෙයක් බවත් අදාළ ටාගට් අවසන් වන තුරු වැඩ කරන්නැයි ඉල්ලූ බවත් එහි සේවකයෝ පවසති.

ඇතැම් සේවකයින් පීසීආර් පරීක්ෂණ නොපවත්වා බස්වල නග්ගවා නිවෙස්වලට පිටත් කර ඇති බවටත් ඇතැම් සේවකයෝ චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් වීඩියෝවක් පහත දැක්වෙයි.

මෙම කොරෝනා පොකුරට වගකිව යුත්තේ කම්හලේ පාලනාධිකාරිය බවත් මෙයට මීට පෙර ක්‍රියාමාර්ගයක් ගත්තේනම් මෙතරම් විශාල පොකුරක් දක්වා නොයාමට අවස්ථාව තිබූ බවත් සේවකයෝ චෝදනා කරති.

සේවකයින් 10-15 දෙනකු රෝග ලක්ෂණ සහිතව ඒ බව පාලනාධිකාරිය දැනුම්වත් කළ අවස්ථාවේ ඊට ක්‍රියාමාර්ගයක් ගත්තේනම් මෙතරම් අවදානමක් ඇති නොවීමට ඉඩ තිබූ බව සේවකයෝ පවසති.

වසංගත රෝග විද්‍යා අංශයේ මතය

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසූවේ සැප්තැම්බර් 20 වැනිදා සිට පමණ එම කර්මාන්ත ශාලාවේ කොරෝනා වෛරසය තිබී ඇති බවයි.

ඒ මහතා මෙසේද පැවසීය.

“කොරෝනා ආසාදිත කාන්තාව ගම්පහ රෝහට ඇතුළත්ව ඇත්තේ 30 වැනිදා. නමුත් අප කර්මාන්ත ශාලාවෙන් ලබාගත් තොරතුරු අනුව සැප්තැම්බර් 20 වැනිදා සිට එහි සාමාජිකයන්ට නොයෙක් ශ්වශන රෝග තිබී තිබෙනවා. ඒක ක්‍රම ක්‍රමයෙන් වැඩිව තිබෙනවා. මේ ගැන සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබුණා. කර්මාන්ත ශාලාවට විදේශිකයන් පැමිණ ඇති බවට තහවුරුවක් නෑ.

නොයෙක් ආකාරයෙන් මෙතෙනට වෛරසය එන්න පුළුවන්. අපි පළමුවෙන්ම හඳුනාගත් කාන්තාව නෙමෙයි මෙතන රෝගී පොකුරේ පළමු රෝගියා වන්නේ. අපි හිතනවා මීට කලින් රෝගීන් එතන හිටියා කියලා. තවමත් එතන තොරතුරු ලබාගනිමින් පරීක්ෂණ පවත්වමින් තිබෙනවා. අපිට ඉදිරියේදී තමයි කියන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද මෙම රෝගය ආවේ කියලා හොයා ගන්න. එහෙම රෝගය ආවේ කොහෙන්ද කියලා තීරණය කර ගැනීමට නොහැකි වෙන්නත් පුළුවන්.

එම් කම්හලෙන් කොරෝනා ආසාදිත බවට පළමුව හඳුනාගත් කාන්තාව මෙම පොකුරේ පළමු රෝගියා නෙවෙයි. ඊට සති දෙකකට විතර කළින් මේක ඇතුලේ තිබිලා තියෙනවා.මේක ආවේ කොහෙන්ද කියලා බලන්න ආපස්සට කරුණු සොයන්න වෙනවා. 800කින් පළවෙනියා කවුද කියලා හොයන්න අමාරුයි.ස්ථිර නිගමන නැතිවෙන්නත් පුළුවන්.

කොහොම වුණත් රෝගය පාලනය කරන්න එය ගැටලුවක් නෙමෙයි. රෝගය කොහෙන්ද ආවේ කියලා දැනගන්න තිබුණනම් හොඳයි”

බ්‍රැන්ඩික්ස් සමාගමේ කරුණු දැක්වීම

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බ්‍රැන්ඩික්ස් සමාගම පැවසූවේ කම්හලේ සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශ ක්‍රියාත්මක කළ බවත් ඊට අමතරව කිසිත් ප්‍රකාශ කළ නොහැකි බවත් ඉතිරි විස්තර ඊමේල් පණිවිඩයකින් එවන බවත් ය.

ඒ අනුව අද නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

2020 ඔක්තෝබර් 7: අපගේ සමාගමට අයත් මිනුවන්ගොඩ පිහිටි කර්මාන්තශාලාවේ COVID-19 වෛරසය ආසාදන තත්ත්වයක් නිසා ඇති වී තිබෙන ආපදා තත්ත්වය පාලනය කිරීමේ අභියෝගයට අපි මුහුණදෙමින් සිටිමු. මෙම ක්‍රියාවලිය පුරා, විනිවිදභාවය උපරිම අයුරින් ආරක්ෂා කිරීම සඳහා මහජනතාවට ඇතිවන ඕනෑම ගැටළුවක් පැහැදිලි කිරීම සඳහා අපි අඛණ්ඩව කටයුතු කරමු.

අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ විදෙස් ජාතිකයන් සේවය කළ බවට යම් ගැටළුවක් මතුවී ඇති අතර ඒ පිළිබඳ මෙලෙස පැහැදිලි කිරීමට කැමැත්තෙමු. මෙම කාලය තුළ ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් කිසිඳු පාර්ශ්වයක් මිනුවන්ගොඩ කර්මාන්තශාලා පරිශ්‍රයට ඇතුළත් නොවූ බව දන්වා සිටිමු. අපගේ කර්මාන්තශාලාව තුළ ඉන්දියාවෙන් ගෙන්වන ලද රෙදිපිළි භාවිත නොකළ බවත්, අපගේ ඉන්දියාවේ පිහිටි කර්මාන්තශාලාවෙන් කිසිඳු ඇනවුමක් භාර නොගත් බවත් පැහැදිලි කරමු.

විශේෂ ගුවන්යානා යොදවා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට කාර්යමණ්ඩල සාමාජිකයන් ගෙන්වා ගැනීම පිළිබඳ ද මෙලෙස පැහැදිලි කිරීමට කැමැත්තෙමු. ඉන්දියාවේ විසාකාපට්නම්හි පිහිටි අපගේ කාර්මාන්තශාලාවේ සේවය කළ කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අප විසින් විශේෂ ගුවන්යානා තුනක් යොමු කරන ලදි. COVID-19 වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා, PCR පරීක්ෂණ සිදුකිරීම, අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රජයේ අනුමත නිරෝධායන මධ්‍යස්ථානයක දින 14 ක් නිරෝධායනයට ලක්වීම, එතැන් සිට තවත් දින 14 ක් ස්වයං-නිරෝධායනයට ලක්වීම ඇතුළු ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරන ලද සියලු පියවර එම කාර්යමණ්ඩල සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අනුගමනය කළ බව අපි සහතික වන්නෙමු. තවද, මෙම ශ්‍රී ලාංකිකයන් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කිසිවෙකු මිනුවන්ගොඩ කර්මාන්තශාලා පරිශ්‍රයට ඇතුළු නොවූ බව ද සහතික වන්නෙමු.

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවෙන් වෛරසය ආසාදනය වූ කාර්යමණ්ඩල සාමාජිකාවක හමුවීමෙන් අනතුරුව, අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයන්ට රැකියාවට වාර්තා කරන ලෙස අප බලකර සිටි බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් සංසරණය විය. එම වීඩියෝවේ කැපීපෙනෙන කාන්තාව නේවාසිකාගාරයක් පවත්වාගෙන යන තැනැත්තියකවන අතර, ඇගේ නේවාසිකාගාරයේ නවාතැන්ගෙන ඇතැයි එහි සඳහන් කරන සේවිකාවන් සහ අධීක්ෂණ නිලධාරිනිය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව විසින් කොන්ත්‍රාත් පදනම මත ලබාගත් තුන්වන පාර්ශ්වයේ පිරිසිදු කිරීමේ සේවා සම්පාදක ආයතනයකට අනුබද්ධිත සේවිකාවන් තිදෙනෙකි. එම වීඩියෝවේ සඳහන්වන කිසිවෙකු බ්‍රැන්ඩික්ස් සමාගමේ කාර්යමණ්ඩල සාමාජිකයන් නොවන බව මෙයින් තහවුරු කරමු.

අපගේ රට මෙම ආපදා තත්ත්වයෙන් නැගී සිටීම සඳහා සාමූහික ප්‍රයත්නයක නිරතවන මෙවන් මොහොතක, වෛරසයෙන් ප්‍රජාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීමට දායකත්වය ලබාදෙන අතරම අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් සුබසෙත තහවුරු කිරීමට අපි අඛණ්ඩව කැපවෙමු.

මීට පෙර බ්‍රැන්ඩික්ස් සමාගම මේ සම්බන්ධයෙන් දෙවරක් නිවේදන නිකුත් කළේය.

පළමු නිවේදනයේ ⁣සඳහන් වූයේ එම සමාගමේ සියලුම මෙහෙයුම් අංශ තුළ දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ කඩිනම් ක්‍රියාමාර්ග සහ සහයෝගය හේතුවෙන් එම ආසාදන තත්ත්වය කලින්ම හඳුනාගෙන එම සාමාජිකාව ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුළත් කළ බවත්ය.

ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේ කොවිඩ්-19 ආසාදිත වූ  සිය කර්මාන්ත ශාලාවේ සේවයකරන සාමාජිකාව වාර්තා වීමත් සමඟ සෞඛ්‍ය ආරක්‍ෂිත පියවර ක්‍රියාත්මක කර ඇතැයි එම නිවේදනයේ සඳහන් විය.

මෙම ක්‍රියාවලිය සඳහා අදාළ බලධාරීන්ගේ උපදෙස් මත එම නිළධාරින්ට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට සිය සමාගම කටයුතු කරන බවද එම නිවේදනයේ දැක්විණි.

වෛරසය ව්‍යාප්ත වීම මුළුමනින්ම නවතා දැමීම සඳහා එම සාමාජිකාව සේවය කළ පරිශ්‍රය දැඩි විෂබීජහරණයකට ලක් කිරීම ඇතුළු කඩිනම් ක්‍රියාමාර්ග රැසක් මේවන විට ද ගෙන ඇති බවද එහි සඳහන් විය.

එම රෝගියා සමග කටයුතු කළ එම පරිශ්‍රයේ තවත් සාමාජිකයන් 45 දෙනෙක් ද ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ද වහාම නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුන්ට එම වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කරන බව ද බ්‍රැන්ඩික්ස් සමාගම සදහන් ක⁣ළේය.

දෙවැනි නිවේදනය

” 2020 ඔක්තෝබර් මස 6: පවත්නා තත්ත්වය හමුවේ සාමාන්‍ය ජනතාව සහ අදාළ සියලු පාර්ශ්ව දැනුම්වත් කිරීම සඳහා, අපගේ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ පළමු COVID-19 වෛරසය ආසාදනය වූ කාර්යමණ්ඩල සාමාජිකාව හඳුනාගැනීමේ සිට මේ දක්වා අප සතු තොරතුරු ලබාදීමට කැමැත්තෙමු. ඊයේ දිනයේදී මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සාමාජික-සාමාජිකාවන් 1,394 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කෙරිණි. විශාල පිරිසක් පරික්ෂාවට ලක්කෙරුණු බැවින් සාමාජික-සාමාජිකාවන් හට යම් කාලයක් රැඳී සිටීමට සිදු විය. දැනට කාර්යමණ්ඩල සාමාජිකයන් 567 දෙනෙක් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

අපට මුහුණදීමට සිදුවූ ප්‍රධානත ම අභියෝගයක් වූයේ, ආසාදිතයින් අතරින් වැඩි පිරිසකගෙන් රෝගී ලක්ෂණ පෙන්නුම් නොවීමය.

අදාළ බලධාරීන් හට උපරිම සහයෝගය ලබාදෙමින් කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ පවුලේ සාමාජිකයන් සහ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා අපි අඛණ්ඩව කටයුතු කරමු. කාර්යමණ්ඩල සාමාජිකයන් නිරෝධායනයට ලක්වන කාලය තුළ ඔවුන්ට සුවපහසුව ගත කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට ද අපි කටයුතු කරන්නෙමු.

අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත්, ප්‍රජාවගේත්, අපගේ රටේත් සුබසිද්ධිය අපගේ ප්‍රමුඛතාවයි. එමෙන්ම, ජනාධිපති ලේකම් කාර්යාලය, ආරක්ෂක අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව මේ මොහොතේ අප වෙත ලබාදුන් සහයෝගය සහ මගපෙන්වීම වෙනුවෙන් ඔවුන්ට ද අපගේ කෘතඥතාව පළකර සිටිමු.”

 

Previous articleපොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශය බොරු වෙයි
Next articleප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර කැමැත්ත විතරක් නෙවෙයි – මහින්ද දේශප්‍රිය 

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here