පරමාධිපත්‍යයට බලපෑම් කරන වගන්ති නෑ : ජීඑස්පී සහනය ගැන ඇමැති කෙහෙළිය බොරු කිව්වේ කාට ද?

(නිලුක සඳුන් පද්මසිරි)
ජීඑස්පී ප්ලස් සහනය ලබාදීම හෝ කප්පාදු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම මත මෙන්ම ත්‍රස්තවාදී සංවිධාන සමග සමගි සන්ධානයට එළැඹීම හෝ ගිවිසුම් ගතවීම මත තීරණය කරන්නේ නම්, එය මෙරට ජනතාවගේ පරමාධිපත්‍යයට එල්ල කරන බලපෑමක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය 15දා පැවසීය.
නමුත් ජීඑස්පී ප්ලස් සහනය සම්බන්ධයෙන් පසුගියදා යුරෝපා පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවේ එවැනි කරුණක් ඇතුළත් වී නැත.
මෙය ශ්‍රී ලංකාව තුළ පවතින ස්වෛරීත්වයට එල්ල කරන තර්ජනයක් බවත්, මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය නිවැරදි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ 15 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ජීඑස්පී ප්ලස් සහනය ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමට යුරෝපා සංගමය ගෙන ඇති තීරණය පිළිබඳව මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

විදේශ අමාත්‍යංශය උත්තරයක් දෙයි

ව්‍යවස්ථාව වෙනස්කිරීම රටේ ජනතාවගේ අයිතියක් පමණක් බවත්, එයට බාහිර බලවේගවලට අතපෙවීමට හැකියාවක් නොමැති බවත්, රටේ විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන ත්‍රිත්වයට විනා ජනතාවගේ ස්වාධිපත්‍ය නිරූපණය කිරීමට වෙනත් බාහිර සංගම්වලට හැකියාවක් නොමැති බවත් ඇමැතිවරයා මෙහිදී කී⁣වේය.
ළමා මෙහෙකාර සේවය, කම්කරු නීතිය නොපිළිපැදීම හෝ කම්කරු අයිතීන් කඩ කිරීම වැනි කටයුතු ශ්‍රී ලංකාව සිදු කරන්නේ නම්, ජීඑස්පී ප්ලස් සහනය කප්පාදු කිරීම සාධාරණීකරණය කළ හැකි වුවද, ඇඟලුම් හා ජීඑස්පී ප්ලස් සහනය ඇති අනෙකුත් කර්මාන්තවලට කිසිදු සම්බන්ධයක් නොමැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් කිරීමක් අළලා ජීඑස්පී ප්ලස් සහනය ඉවත් කිරීම සාධාරණ නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය නිසි පිළිතුරක් ලබාදෙනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

යහපාලනය, මානව හිමිකම් සහ තිරසර සංවර්ධනය

අමාත්‍යවරයා එසේ පැවසුවද, ශ්‍රී ලංකාවට මෙන්ම අනෙක් රටවලට ද ජීඑස්පී ප්ලස් සහනය ලබාදීමේ මූලික එකඟතාව ලෙස සලකන්නේ එම රටවල යහපාලනය, මානව හිමිකම් සහ තිරසර සංවර්ධනය යන කරුණු ය. ඒ බව පැහැදිව ජීඑස්පී ප්ලස් සහනය ලබාදීමේ එකඟතාවල සඳහන් වේ.
එමෙන්ම පසුගියදා යු⁣රෝපා පාර්ලිමේන්තු⁣වේ සම්මත කෙරුණු යෝජනාවේ කම්කරු කටයුතු සම්බන්ධයෙන් ද වගන්තියක් ඇතුළත් විය.
එහි මෙසේ දැක්වෙයි. (යෝජනාවේ සම්පූර්ණ කරුණු මෙතැනින්)
‘කම්කරු අයිතිවාසිකම් තත්ත්වය පිරිහීම කෙරෙහි කොවිඩ් 19 වසංගතයේ බලපෑම ගැන සැලකිලිමත් වන අතර, විශේෂ වෙළෙඳ කලාපවල ඇඟලුම් කම්කරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව ඇතුළුව කර්මාන්තශාලා සේවකයන්ගේ ශ්‍රම අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී. ළමා ශ්‍රමය තුරන් කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම හා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කම්කරු ප්‍රමිතීන් හා රැකියා සම්බන්ධතා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් අංක 87 සහ 98 වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගෙන ඒම සඳහා කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.’

ජීඑස්පී මූලික එකඟතා

ජීඑස්පී සහ ජීඑස්පී ප්ලස් සහනය ලබාදීමේ එකඟතා සම්බන්ධයෙන් යුරෝපා කොමිසම මෙසේ සඳහන් කරයි.
‘අඩු සහ පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා සම්මත ජීඑස්පී සහනය ලබාදෙයි. මෙයින් අදහස් කරන්නේ තීරුබදුවලින් තුනෙන් දෙකක රේගු බදු අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් ඉවත් කිරීමයි.
GSP +: තිරසර සංවර්ධනය සහ යහපාලනය සඳහා වූ විශේෂ දිරිගැන්වීමේ සහනය. මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසරය ආරක්ෂා කිරීම සහ යහපාලනය සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ක්‍රියාත්මක කරන අවදානම් සහිත අඩු හා පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා එම ගාස්තු 0% දක්වා මෙමගින් අඩු කරයි.මීට අමතරව, ජීඑස්පී + ලබාදෙන්නේ නම්, ප්‍රතිලාභී රටවල් අදාළ ජාත්‍යන්තර සම්මුතීන් 27ක් අනුමත කළ යුතුය. මෙම සම්මුතීන් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා කොමිසම සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුය.
ජීඑස්පී රෙගුලාසියේ ලැයිස්තුගත කර ඇති මානව හිමිකම් සහ කම්කරු අයිතිවාසිකම් පිළිබඳ මූලික සම්මුතීන් 15ක මූලධර්මවලට සියළුම ජීඑස්පී ප්‍රතිලාභී රටවල් ගරු කළ යුතුය.’

ජීඑස්පී+ තාවකාලිකව ඉවත් කිරීම

සහනය තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ කොන්දේසිවල මෙසේ දැක්වෙයි.
‘මූලික මානව හිමිකම් සහ කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇතැම් ජාත්‍යන්තර සම්මුතීන්හි දක්වා ඇති සහ එම සම්මුතීන්ගේ අරමුණු ප්‍රවර්ධනය කිරීම සඳහා වන මූලධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කිරීම මෙම යෝජනා ක්‍රමය යටතේ ඇති විධිවිධාන තාවකාලිකව ඉවත් කර ගැනීමට හේතු විය යුතුය.
ප්‍රතිලාභී රට එම සම්මුතීන් අනුමත කිරීම හා ඵලදායී ලෙස පවත්වාගෙන යෑම හෝ අදාළ සම්මුතීන් විසින් පනවා ඇති වාර්තාකරණ අවශ්‍යතාවන්ට අනුකූල වීම සඳහා වන බැඳීම්වලට ගරු නොකරන්නේ නම් හෝ මෙම රෙගුලාසියේ දක්වා ඇති පරිදි ප්‍රතිලාභී රට සංගමයේ අධීක්ෂණ ක්‍රියා පටිපාටිවලට සහයෝගය නොදක්වන්නේ නම් හෝ තිරසර සංවර්ධනය හා යහපාලනය සඳහා වූ විශේෂ දිරිගැන්වීමේ විධිවිධාන යටතේ තීරුබදු මනාපයන් තාවකාලිකව ඉවත් කර ගත යුතුය.’

කෙහෙළිය බොරු කිව්වද, නැද්ද?

කෙහෙළිය රඹුක්වැල්ල මහතා එසේ පැවසුවද, ඉකුත් ජනවාරි 25 වැනිදා ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමයේ කොන්දේසිවලට අදාළ එකඟතා ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වී තිබේ.
ප්‍රධාන වශයෙන් සුදුසු සංශෝධන සිදුකිරීමේ අරමුණ සහිතව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීමට අපේක්ෂා කරන බවට ශ්‍රී ලංකා රජය ඉකුත් ජනවාරි 25 වැනිදා යුරෝපා සංගමයට සනාථ කර තිබේ. මානව හිමිකම් සහ ප්‍රතිසන්ධාන ගැටළු පිළිබඳව අඛණ්ඩව සමීපව කටයුතු කීරීම සඳහා ද ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට එදින එකඟ වී ඇත.

විමර්ශන කොමිෂන් සභාවක්

ව්‍යවස්ථාවට හා නීතිවලට අනුකූලව ජාතික සංහිඳියාව හා ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකාව මෙහිදී පැහැදිලි කර ඇති අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විමර්ශන කොමිෂන් සභාවක් පත්කරන බව ශ්‍රී ලංකාව නිවේදනය කර ඇති බව ද එහිදී පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර සංහිඳියාව, යුක්තිය, වගවීම සහ සාමකාමී සහජීවනය වර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව යුරෝපා සංගමය එහිදී නැවත වරක් අවධාරණය කර තිබේ.

සම්මුතීන් 27ක්

මානව හා කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය පිළිබඳ ජීඑස්පී+ යෝජනා ක්‍රමය මඟින් ආවරණය වන ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ඇති කැපවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය එහිදී යළි තහවුරු කර ඇත.
යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය සිය 23 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම ඉකුත් ජනවාරි 25 වැනි දින වීඩියෝ සම්මන්ත්‍රණයක් ලෙස පවත්වා ඇති අතර, එහිදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත

ශ්‍රී ලංකාව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කොට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගෙන ඒමේ අවශ්‍යතාව යුරෝපා සංගමය යළිත් එහීදි අවධාරණය කර තිබේ. තිරසර සංවර්ධනය හා යහපාලනය සඳහා වූ විශේෂ දිරිගැන්වීමේ විධිවිධාන (ජීඑස්පී+) යටතේ ප්‍රදානය කළ යුරෝපා සංගමයේ ඒකපාර්ශ්වික තීරුබදු සහන මඟින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු අන්දමේ දායකත්වයක් ලබා දී ඇති බවට ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය එම සාකච්ඡාවේදී එකඟ වී ඇත. ශ්‍රී ලංකාවේ සිට යුරෝපා සංගමය වෙත කරන අපනයන යූරෝ බිලියන 2.3ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, එමඟින් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළඳපොළ බවට පත්වී ඇති බවත් එහිදී අවධාරණය වී තිබේ.
ව්‍යවස්ථාවට හා නීතිවලට අනුකූලව ජාතික සංහිඳියාව හා ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකාව මෙහිදී පැහැදිලි කර ඇති අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විමර්ශන කොමිෂන් සභාවක් පත්කරන බව ශ්‍රී ලංකාව නිවේදනය කර ඇති බව ද එහිදී පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර සංහිඳියාව, යුක්තිය, වගවීම සහ සාමකාමී සහජීවනය වර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව යුරෝපා සංගමය එහිදී නැවත වරක් අවධාරණය කර තිබේ. (ජනවාරි 25 සාකච්ඡාව සම්බන්ධ සම්පූර්ණ වාර්තාව මෙතැනින්)
කෙහෙළිය රඹුක්වැල්ල මහතා එවන් ප්‍රකාශයක් කර ඇත්තේ මෙවන් තත්ත්වයක් තුළදීය.
Previous articleතයිරොක්සින් නෑ : ස්ටොක් තියෙනවා – ආණ්ඩුව : මාස හයක් තිස්සෙ නෑ, ආණ්ඩුව ගෙන්වන්නෙත් නෑ – ඖෂධ වෙළෙඳ සංගමය
Next articleතෙල් මිල : ජනාධිපති මාධ්‍ය අංශයෙන් තවත් බොරුවක් – මිල ස්ථායීකරණ අරමුදලට මොකද වුණේ ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here