තෙල් මිල : ජනාධිපති මාධ්‍ය අංශයෙන් තවත් බොරුවක් – මිල ස්ථායීකරණ අරමුදලට මොකද වුණේ ?

(නිලුක සඳුන් පද්මසිරි)
ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පුළුල් කතාබහක් සහ දැඩි විරෝධයක් සමාජය තුළ ඇතිවෙමින් පවතින අතර, එම විරෝධය ජනතාවට අමතක කරවීම සඳහා ආණ්ඩුව විසින් විවිධ මාතෘකා පැළ කරමින් සිටින බවට ද දේශපාලන විචාරකයෝ චෝදනා කරති.

බොර තෙල් බැරලය ඩොලර් 70ත් ඉක්මවලා

ලංකාවේ තෙල් මිල ඉහළ-පහළ යා හැක්කේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල සහ ලංකාවේ විදේශ විනිමය අනුපාතය අනුව බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගිය කාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවලදී පැවසීය. මේ අතර ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩව ඉහළ යෑම තෙල් මිල ඉහළ දැමීමට හේතුවක් බවත්, මේ වන විට බොර තෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 70 ඉක්මවා ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

ඩොලර් 10ට අඩු වූ වෙලාවේ කළේ කුමක්ද?

බොර තෙල් බැරලය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 70 දක්වා ඉහළ ගිය මේ අවස්ථාවේ මෙරට තෙල් මිල ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කළද, විපක්ෂයේ සිටියදී ඔවුන් පොරොන්දු වූයේ තෙල් මිල පහළ දමන බවටයි. එහෙත් බලයට පැමිණීමෙන් පසු, 2020 වසරේදී බොර තෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 10 මට්ටම දක්වා පහළ ගිය ද, එම සහනය ජනතාවට ලබාදෙන්නට ඔවුන් කටයුතු කළේ නැත.

ජනාධිපති මාධ්‍ය අංශයෙන් තවත් බොරුවක්

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ 2020 වසරේදී බොර තෙල් බැරලයක මිල අඩු වූයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 45.57ක් දක්වා බවයි. නමුත් 2020 අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 10ට ආසන්න මට්ටම දක්වා පහත වැටිණි.
එමෙන්ම ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු බොරතෙල් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ගණන් 2020 අප්‍රෙල් මාසයේදී සෘණ අගයක් පෙන්නුම් ක⁣⁣ළේය. ඒ කොරෝනා වසංගතය නිසා තෙල් සඳහා වූ ඉල්ලුම පහත වැටී තෙල් ගබඩා කිරීම සඳහා ඉඩකඩ අඩු වීම නිසාය.

මිල ස්ථායීකරණ අරමුදල කෝ?

එහිදී ආණ්ඩුවේ නායකයන් පැවසුවේ එම වාසිය පරිප්පු සහ සැමන් ජනතාවට ලබාදෙන බවත්, බොර තෙල් මිල අඩු වන විට ලැබෙන ලාභය මිල ස්ථායීකරණ අරමුදලට බැර කර, ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යන විට එම අරමුදල හරහා තෙල් මිල පාලනය කරන බවත් ය. නමුත් එහිදී ද, මෙහිදී ද ලැබුණු සහනයක් නැත. එම අරමුදලට සිදුවූ දෙයකුත් නැත.

ජනතාවට නොදුන් වාසිය

අවසන් වරට බොරතෙල් මිල ඉහළ අගයක පැවතුණේ 2019 ඔක්තෝබර් 05 වැනිදා ය. එය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 74 – 85ත් අතර ය. ඉන්පසුව 2020 ජනවාරි 31 වැනිදා වන විට ඩොලර් 50 – 60 මට්ටමට අඩු වූ බොර තෙල් බැරලයක මිල, මේ වසරේ පෙබරවාරි මුල සතිය දක්වා වසරකට ආසන්න කාලයක් පැවතුණේ ඊට වඩා අඩු, එනම් ඩොලර් 60ට වඩා අඩු අගයක ය. ඇතැම් අවස්ථාවල එය ඩොලර් 10 මට්ටමට ද පැමිණිනි. නමුත් එම වසර තුළ කිසිම අවස්ථාවක බොර තෙල් බැරලයක මිල අඩු වීමේ වාසිය මෙරට ජනතාවට නොලැබිණි.
කොරෝනා වසංගතය ආරම්භ වූ මුල් කාලයේදී, එනම් 2020 මාර්තු මාසයේදී ඩොලර් 20 මට්ටම දක්වාත්, අප්‍රේල් මාසයේදී ඩොලර් 15 මට්ටම දක්වාත් ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළ ගියේය. ඉකුත් වසරේ ඔක්තෝබර් තෙක් එම මිල පැවතුණේ ඩොලර් 30 -40 අතර ය.

අයිඕසී ලාබයි – සංස්ථාව පාඩුයි

2019 / 2020 අය-වැය වසර සඳහා ලංකා ඉන්දියන් තෙල් සමාගමේ (ලංකා අයිඕසී) ආදායම රුපියල් බිලියන 81.95ක් බව එම සමාගම සඳහන් කරයි. නමුත් බලශක්ති අමාත්‍යවරයා තෙල් මිල වැඩි කරන බවට ප්‍රකාශ කළ මාධ්‍ය හමුවේදී පැවසුවේ ලංකා ⁣ඛණිජ තෙල් සංස්ථාවේ 2020 වසර අවසානයේ පාඩුව පමණක් රුපියල් බිලියන 331ක් බවයි.

තහවුරු නොකළ ප්‍රකාශ පිළිගත හැකි ද?

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ මිල ස්ථායීකරණ අරමුදලේ මුදල් විදුලිබල මණ්ඩලයේ ණය ගෙවීම සඳහා වැය කර ඇති බවයි.
එමෙන්ම ඉකුත් 13 වැනිදා ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවත්, ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ ණය මත යැපෙන ආයතනයක් වී ඇති බවත්, මෙම රාජ්‍ය බැංකු දෙක සඳහා මේ වන විට රුපියල් බිලියන 652ක් ණය ගෙවීමට ද ඇති බවත් ය.

ජනතාව හිර කරන ඉලක්කම් හරඹ

2019 වර්ෂයේ බොර තෙල් ආනයනය සඳහා වැය කර ඇති විදේශ විනිමය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 3,677ක් බව ද, 2020දී මෙම වියදම ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 2,325ක් බව ද ජනාධිපති මාධ්‍ය අංශය කියයි. මේ වන විට පවතින මිල ගණන් ඉහළ යෑම නිසා 2021 වර්ෂයේ බොර තෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 70 ඉක්මවීම තුළ වාහන ආනයන තහනම පවත්වාගෙන ගියද, ඛනිජ තෙල් ආනයනය සඳහා විදේශ විනිමය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 4,000ක් පමණ වනු ඇතැයි ද, මෙම වියදම විදේශ විනිමය උපයන සමස්ත අපනයන ආදායමෙන් 1/3කට ආසන්න වියදමක් බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඇමෙරිකාවයි – ලංකාවයි සැසඳීම

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ ඇමෙරිකාවේ ද තෙල් මිල ලංකාවට වඩා ඉහළ බවයි. නමුත් ඔහු සඳහන් නොකළ දෙයක් නම්, විවිධ රටවල් අතර මෙවැනි ආර්ථික සංසන්දන සිදුකිරීමේදී වැදගත් කරුණක් වන්නේ ඒක පුද්ගල ආදායම බවයි. ඇමෙරිකාවේ ඒක පුද්ගල ආදායම ලංකාවට වඩා ඉතාමත් ඉහළ ය. ලංකාවේ එම අගය ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 4,000 කටත් අඩු ය. ඇමෙරිකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 65,000ක් පමණ වේ.
මේ අතර ඩීසල් සහ බොර තෙල් ආනයනය කිරීම සඳහා වන නව කොන්ත්‍රාත් දෙකක් සඳහා කැබිනට් අනුමැතිය ඉකුත් 14 වැනිදා හිමි විය.
නව කොන්ත්‍රාත් පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය
2021 ජුනි මස 01 දින සිට 2022 ජනවාරි මස 31 දින දක්වා මාස 08ක කාලයක් සඳහා ඩීසල් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
2021 ජුනි මස 01 දින සිට 2022 ජනවාරි මස 31 දින දක්වා මාස 08ක කාලයක් සඳහා ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,137,500ක් සහ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 262,500ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s Petrochina International (Singapore) Pte. Ltd වෙත පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.
මර්බන් බොරතෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
2021 ජුනි මස 01 දින සිට 2022 පෙබරවාරි මස 28 දින දක්වා මාස 09ක කාලයක් සඳහා මර්බන් බොරතෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව M/s Conscio Ltd, Nigeria වෙත පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

2005 සිට මේ දක්වා මිල වැඩි වීම

පිළිතුරු නැති ඇත්ත ප්‍රශ්න

  • 2020 වසරේ මාර්තු සහ අප්‍රේල් මාසවලදී බොර තෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 10ට ආසන්න මට්ටමට පහළ ගිය අවස්ථාවේ සහ වසරක පමණ කාලයක් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 60ක් දක්වා අඩුව පැවති අවස්ථාවේ එම සහනය ජනතාවට නොදුන්නේ ඇයි?
  • බොර තෙල් බැරලයක මිල අඩු වූ අවස්ථාවේ ලැබෙන ලාභය බැර කිරීම සඳහා සකස් කළ මිල ස්ථායීකරණ අරමුදලට සිදු වූයේ කුමක්ද?
  • මෙහි වරද කාගේද?
  • ලංකා ඛණිජ තෙල් සංස්ථාව මෙතරම් පාඩු ලැබීමට හේතුව කුමක්ද?
මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සම්බන්ධ කරගැනීමට MediaLK උත්සාහ කළ ද, එය ව්‍යර්ථ විය.
Previous articleපරමාධිපත්‍යයට බලපෑම් කරන වගන්ති නෑ : ජීඑස්පී සහනය ගැන ඇමැති කෙහෙළිය බොරු කිව්වේ කාට ද?
Next articleමාස 14ක් පමාවී පාස්කු චෝදනාපත්‍ර එයි ; දේශබන්දුත් ඒ අතර?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here