ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත සලකා බලන බවට ආණ්ඩුව ජනවාරි 25 දුන් පොරොන්දුව කුමක්ද?

(නිලුක සඳුන් පද්මසිරි)
සුදුසු සංශෝධන සිදුකිරීමේ අරමුණ සහිතව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීමට අපේක්ෂා කරන බවට ශ්‍රී ලංකා රජය ඉකුත් ජනවාරි 25 වැනිදා යුරෝපා සංගමයට සනාථ කර තිබේ.
මානව හිමිකම් සහ ප්‍රතිසන්ධාන ගැටළු පිළිබඳව අඛණ්ඩව සමීපව කටයුතු කීරීම සඳහා ද ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට එකඟ වී ඇත.
එවන් සංශෝධනයක් හෝ සලකා බැලීමක් මේ දක්වා සිදුවී නැති අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය නොකිරිමේ සහ එම පනත යට⁣තේ අත්අඩංගුවට ගැනීම් ඉහළ යෑම හේතුවක් ලෙස දක්වමින් ජීඑස්පී සහනය අත්හිටුවීම පිළිබඳව සලකා බැලීම ඇතුළු කරුණු ඇතුළත් යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුව පෙරේදා (10) සම්මත කළේය.

ජනවාරියේදී සිදු වූයේ කුමක්ද?

මානව හා කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය පිළිබඳ ජීඑස්පී+ යෝජනා ක්‍රමය මඟින් ආවරණය වන ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ඇති කැපවීම පිළිබඳව ශ්‍රී ලංකා රජය එහිදී යළි තහවුරු කර ඇත.
යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය සිය 23 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම ඉකුත් ජනවාරි 25 වැනි දින වීඩියෝ සම්මන්ත්‍රණයක් ලෙස පවත්වා ඇති අතර, එහිදී මෙම එකඟතාවට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කොට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගෙන ඒමේ අවශ්‍යතාව යුරෝපා සංගමය යළිත් එහීදි අවධාරණය කර තිබේ. තිරසර සංවර්ධනය හා යහපාලනය සඳහා වූ විශේෂ දිරිගැන්වීමේ විධිවිධාන (ජීඑස්පී+) යටතේ ප්‍රදානය කළ යුරෝපා සංගමයේ ඒකපාර්ශ්වික තීරුබදු සහන මඟින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු අන්දමේ දායකත්වයක් ලබා දී ඇති බවට ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය එම සාකච්ඡාවේදී එකඟ වී ඇත. ශ්‍රී ලංකාවේ සිට යුරෝපා සංගමය වෙත කරන අපනයන යූරෝ බිලියන 2.3ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, එමඟින් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළඳපොළ බවට පත්වී ඇති බවත් එහිදී අවධාරණය වී තිබේ.
ව්‍යවස්ථාවට හා නීතිවලට අනුකූලව ජාතික සංහිඳියාව හා ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකාව මෙහිදී පැහැදිලි කර ඇති අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විමර්ශන කොමිෂන් සභාවක් පත්කරන බව ශ්‍රී ලංකාව නිවේදනය කර ඇති බව ද එහිදී පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර සංහිඳියාව, යුක්තිය, වගවීම සහ සාමකාමී සහජීවනය වර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව යුරෝපා සංගමය එහිදී නැවත වරක් අවධාරණය කර තිබේ.
2021දී බ්‍රසල්ස් හි පැවැත්වෙන මීළඟ ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමට පෙර යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව පසු විපරම් කිරීම සඳහා ක්‍රියාමාර්ග මාලාවක් සිදුකිරීම සඳහා ද එකඟ වී ඇත.
යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ ආසියා සහ පැසිෆික් කලාපයේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ පැවෝලා පැම්පලෝනි මහත්මිය සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඒ.එම්.ජේ. සාදික් මහතාගේ සම සභාපතිත්වයෙන් මෙම රැස්වීම පවත්වා තිබේ.
ජනවාරි 25 සාකච්ඡාව | ඡායාරූප – විදේශ අමාත්‍යාංශය
ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය එදින නිකුත් කළ නිවේදනය පහතින්…
” ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශය
මානව හිමිකම් හා ප්‍රතිසන්ධාන ගැටළු පිළිබඳව සමීපව කටයුතු කිරිමට යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව එකඟ වෙයි.
මානව හිමිකම් සහ ප්‍රතිසන්ධාන ගැටළු පිළිබඳව අඛණ්ඩව සහ සමීපව කටයුතු කීරීමට යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව එකඟ වී තිබේ. යුරෝපා සංගමය (EU) සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය සිය 23 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම ඉකුත් 25 වැනි දින වීඩියෝ සම්මන්ත්‍රණයක් ලෙස පැවැත්වූ අතර, එහිදී මෙම එකඟතාවට පැමිණ තිබේ. යුරෝපා සංගමයේ හා ශ්‍රී ලංකාවේ නව නායකත්වයන් යටතේ පැවති පළමු ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම ද මෙය විය. මෙම ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම සුහද හා විවෘත වාතාවරණයක් තුළ පැවති අතර, ගැඹුරු සහයෝගිතා සබඳතා සහ යුරෝපා සංගමයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවතින කැමැත්ත යළි තහවුරු කරමින්, යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව පුළුල් විෂයයන් රැසක් පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. වෙළෙඳ සබඳතා වැඩි දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු විය.
සෞඛ්‍ය, කෘෂිකාර්මික හා සංචාරක කටයුතු යන අංශ ඉලක්ක කර ගනිමින් කොවිඩ්-19 වසංගතය සමඟ කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දරන ප්‍රයත්නයට සහාය දැක්වීම සඳහා යූරෝ මිලියන 22ක ප්‍රදානයක් ලබාදීමෙන් දායක වීම පිළිබඳව ශ්‍රී ලංකාව යුරෝපා සංගමය වෙත ස්තූතිය පුද කළේය. යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඉටුකරන ලද කාර්යභාරය ඉස්මතු කළ අතර, මෙම වසංගතය හා සම්බන්ධ අභියෝගවලට මුහුණ දීම සඳහා ඵලදායී බහුපාර්ශ්වීය පද්ධතියක ඇති වැදගත්කම පිළිබඳව ද සඳහන් කළේය.

දෙවැනි විශාලතම අපනයන වෙළෙඳපොළ

තිරසර සංවර්ධනය හා යහපාලනය සඳහා වූ විශේෂ දිරිගැන්වීමේ විධිවිධාන (ජීඑස්පී+) යටතේ ප්‍රදානය කළ යුරෝපා සංගමයේ ඒකපාර්ශ්වික තීරුබදු මනාප මඟින්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු අන්දමේ දායකත්වයක් ලබා දී ඇති බවට ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය එකඟ විය. ශ්‍රී ලංකාවේ සිට යුරෝපා සංගමය වෙත කරන අපනයන යූරෝ බිලියන 2.3ක් (ශ්‍රී ලංකා මුදල්වලට සමානව) දක්වා ඉහළ ගොස් ඇති අතර, එමඟින් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළඳපොළ බවට පත්වී තිබේ.
ලබා දී ඇති තීරුබදු සහන වඩාත් හොඳින් භාවිත කිරීම සඳහා හැකියාවක් ශ්‍රී ලංකාව සතුව පවතින බව ඒකාබද්ධ කොමිෂන් සභාව පිළිගත්තේය. මේ සම්බන්ධයෙන්, විවෘත හා සාධාරණ වෙළෙඳාම සඳහා සම මට්ටමේ ක්‍රීඩා පිටියක් අවශ්‍ය වන බව යුරෝපා සංගමය අවධාරණය කළ අතර, යුරෝපීය ව්‍යාපාර කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇති කරමින් කොවිඩ් වසංගතයෙන් අනතුරුව 2020 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව විසින් පනවන ලද ආනයන සීමා කිරීම් පිළිබඳව සිය දැඩි සැලකිලිමත් බව පළකළේය. මෙම ක්‍රියාමාර්ග පිළිබඳව ලෝක වෙළෙඳ සංවිධානයට දැනුම් දෙන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය. යුරෝපා සංගමයේ වෙළෙඳාමට හා ආයෝජනයට බලපාන බාධාවන්ට පිළියම් යෙදීම පිණිස නිත්‍ය යුරෝපා-ශ්‍රී ලංකා ආයෝජක සංවාදය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව කැපවී සිටී.
ජනවාරි 25 සාකච්ඡාව | ඡායාරූප – විදේශ අමාත්‍යාංශය

ජාත්‍යන්තර සම්මුති 27

මානව හා කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය පිළිබඳ ජීඑස්පී + යෝජනා ක්‍රමය මඟින් ආවරණය වන ජාත්‍යන්තර සම්මුතීන් 27 ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පවතින ඇති කැපවීම පිළිබඳව ශ්‍රී ලංකාව යළි තහවුරු කළේය. මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකාව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කොට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගෙන ඒමේ අවශ්‍යතාවය යුරෝපා සංගමය යළිත් අවධාරණය කළේය. සුදුසු සංශෝධන සිදුකිරීමේ අරමුණින් යුතුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත සලකා බැලීමේ අපේක්ෂාව ශ්‍රී ලංකා රජය සනාථ කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව හා පසුව එය අන්තර්ගත කොට ගොඩනඟන ලද යෝජනා සඳහා සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්වීම පිළිබඳව යුරෝපා සංගමය කණගාටුව පළ කළේය. ව්‍යවස්ථාවට හා නීතිවලට අනුකූලව ජාතික සංහිඳියාව හා ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකාව මෙහි දී පැහැදිලි කළේය. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විමර්ශන කොමිෂන් සභාවක් පත්කරන බව ශ්‍රී ලංකාව නිවේදනය කර ඇති බව ද මෙහිදී පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර සංහිඳියාව, යුක්තිය, වගවීම සහ සාමකාමී සහජීවනය වර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව යුරෝපා සංගමය යළිත් අවධාරණය කළ අතර, විශේෂයෙන් අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ මානව හිමිකම් කොමිසම ඇතුළුව මෑත වසරවලදී පිහිටුවන ලද ස්වාධීන ආයතනවල වැදගත් කාර්යභාරය අවධාරණය කළේය. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා වන විවිධත්වය තුළ පූර්ණ වශයෙන් බලගතු හා ඔරොත්තු දෙන සිවිල් සමාජයක ඇති වටිනාකම පිළිබඳව යුරෝපා සංගමය අවධාරණය කළේය. මෙම ප්‍රයත්න සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට අඛණ්ඩව සූදානමින් සිටින බව යුරෝපා සංගමය පැවසීය.

මරණීය දණ්ඩනය

ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය අත්හිටුවීම පිළිබඳ වාර්තාව යුරෝපා සංගමය පිළිගත් අතර, මරණීය දණ්ඩනය පැනවීම නීත්‍යානුකූලව අහෝසි කිරීම සඳහා ද දිරිමත් කළේය. සෑම තත්ත්වයක් තුළම මරණීය දණ්ඩනය භාවිත කිරීම සඳහා සිය විරුද්ධත්වය යුරෝපා සංගමය නැවත අවධාරණය කළේය.
2020 ඔක්තෝබර් 28 වැනි දින බ්‍රසල්ස් හි දී පැවති සංවර්ධන සහයෝගීතාව පිළිබඳ සිව්වැනි යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායමේ කටයුතු පිළිබඳව ඒකාබද්ධ කොමිසම වෙත දැනුම් දෙන ලදි. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ප්‍රතිචාරය සඳහා සහාය දැක්වීමට අමතරව, ශ්‍රී ලංකාවේ අධිකරණ අංශයට සහාය වීම, ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම සහ දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වන උත්සාහයන් ශක්තිමත් කිරීම පිණිස යුරෝපා සංගමය විසින් ලබා දෙන යූරෝ මිලියන 35.75ක් වටිනා තවත් ප්‍රදානයන් තුනක් ක්‍රියාකාරී කණ්ඩායම විසින් ධනාත්මකව ඇගයීමට ලක් කරන ලදි. මෙය 2021 සහ ඉන් ඔබ්බෙහි දී ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කොට ඇත. හරිත ප්‍රකෘතිමත් වීම ඇතුළත් හා සාමකාමී සමාජයක් ප්‍රවර්ධනය කිරීම සහ ජල කළමනාකරණය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කළ හැකි නව ක්‍රියාමාර්ග සකස් කිරීම පිණිස ඉදිරි වසරවල දී එක්ව කටයුතු කිරීම සඳහා කැපවන බව යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව සඳහන් කළහ.
යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව, විශේෂයෙන් පැරිස් ගිවිසුම ක්‍රියාත්මක කිරීම ඇතුළුව, දේශගුණික විපර්යාස පිළිබඳ අනාගත සහයෝගීතාව පිළිබඳව සොයා බැලීය. ගෝලීය කොවිඩ්-19 අර්බුදයෙන් මිදීම, ආර්ථිකය තිරසර ලෙස නැවත ගොඩනැංවීමේ අවස්ථාවක් ලෙස භාවිත කළ යුතු බවට එකඟ විය. පාරිසරික හා දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතීන් ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම යුරෝපා සංගමය විසින් සාදරයෙන් පිළිගන්නා අතර, විශේෂයෙන් 2021 පෙබරවාරි මාසයේ දී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියට (UNFCCC) කාලෝචිත ලෙස ඉදිරිපත් කරනු ලබන, ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් සංශෝධනය කිරීම ද යුරෝපා සංගමය අගය කළේය. ප්ලාස්ටික් පිළිබඳ ගෝලීය ගිවිසුමක් සඳහා ශ්‍රී ලංකාවේ ධනාත්මක ප්‍රවේශය සහ 2030 වන විට ජෛව විවිධත්ව හානිය ආපසු හැරවීම සඳහා (එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්වය පිළිබඳ සමුළුවේ දී නායකයාගේ සොබාදහම පිළිබඳ ප්‍රතිඥාව හරහා) ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ කැපවීම ද යුරෝපා සංගමයේ ඇගයීමට ලක්විය. 2050 වසර වන විට දේශගුණික මධ්‍යස්ථභාවය කරා ළඟාවීම සහ හරිතාගාර වායු විමෝචනය 1990 වසරට සාපේක්ෂව අවම වශයෙන් සියයට 55 කින් අඩු කිරීම සඳහා වැඩිදියුණු කරන ලද 2030 ඉලක්කය ද ඇතුළුව, සිය දේශගුණික අභිලාෂය වැඩිදියුණු කිරීම සඳහා ගන්නා ලද සිය මෑත කාලීන ක්‍රියාමාර්ග පිළිබඳව යුරෝපා සංගමය අවධාරණය කළේය. තිරසර, කාබන් අවම සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන සංවර්ධනයක් සහතික කිරීම සඳහා අභිලාෂයෙන් යුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා පවතින කැපවීම පිළිබඳව ශ්‍රී ලංකාව සනාථ කළේය. එළඹෙන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය (UNFCCC) සඳහා පාර්ශ්වකරුවන්ගේ සමුළුව (COP26) සහ ජෛව විවිධත්ව සම්මුතිය (CBD) සඳහා පාර්ශ්වකරුවන්ගේ 15 වැනි සමුළුව (COP15) යන එක්සත් ජාතීන්ගේ සමුළු මඟින්, අභිලාෂයෙන් යුතු, අර්ථවත් කැපවීම් කිරීම පිණිස ප්‍රයෝජනවත් අවස්ථාවන් ජාත්‍යන්තර ප්‍රජාව සඳහා ඉදිරිපත් කරනු ඇති බවට යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව එකඟ විය.
ජනවාරි 25 සාකච්ඡාව | ඡායාරූප – විදේශ අමාත්‍යාංශය

මානව හිමිකම් ප්‍රමිතීන්

2019 ජූලි මාසයේ දී කොළඹදී පැවති තාවකාලික ත්‍රස්ත විරෝධී සංවාදය සහ එහි දී යුරෝපා සංගමය විසින් අරමුදල් සපයන ව්‍යාපෘතියක් මඟින් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) සහ ඉන්ටර්පොල් සමඟ සපයනු ලබන අඛණ්ඩ සහයෝගය සමාලෝචනය කිරීම පිළිබඳව යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව සැලකිල්ලට ගත්හ. ත්‍රස්තවාදයට එරෙහි සටනේ දී ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව යුරෝපා සංගමය අවධාරණය කළේය. ශ්‍රී ලංකාව, ත්‍රස්ත මර්දන සංවාදය සහ ආරක්ෂක සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට අපේක්ෂා කරයි.
සංචලතාව හා සංක්‍රමණය සම්බන්ධ ගැටළු ද න්‍යාය පත්‍රයේ අඩංගු විය. පර්යේෂණ හා නවෝත්පාදන සඳහා යුරෝපා සංගම් රාමු වැඩසටහන වන හොරයිසන් 2020 පිළිබඳව විශේෂ සඳහනක් කරමින්, උසස් අධ්‍යාපනය සඳහා වන සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ මාර්ග පිළිබඳව ද අවධානය යොමු කරන ලදි.
ඉන්දියන් සාගර ටූනා කොමිෂන් සභාවේ (IOTC) රාමුව තුළ මෙන්ම, සෞඛ්‍ය සම්පන්න සාගර සංරක්ෂණය, සාගර ජීවී සම්පත් සංරක්ෂණය හා තිරසාර භාවිතය යන පොදු අරමුණු කෙරෙහි සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. 2021 දී බ්‍රසල්ස් හි පැවැත්වෙන මීළඟ ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමට පෙර යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව පසු විපරම් කිරීම සඳහා ක්‍රියාමාර්ග මාලාවක් සිදුකිරීම සඳහා ද එකඟ විය.
යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ ආසියා සහ පැසිෆික් කලාපයේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ පැවෝලා පැම්පලෝනි මහත්මිය සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.එම්.ජේ සාදික් මහතාගේ සම සභාපතිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
හවුල්කාරිත්වය සහ සංවර්ධනය පිළිබඳ 1995 යුරෝපා සංගම්-ශ්‍රී ලංකා සහයෝගිතා ගිවිසුම අධීක්ෂණය කරන මෙම ඒකාබද්ධ කොමිසම, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන පුළුල් පරාසයක ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරයි. මෙම ගිවිසුම නිසි ලෙස ක්‍රියාත්මකවීම හා ක්‍රියාත්මක කිරීම පිළිබඳව සහතික කිරීම, ප්‍රමුඛතා සැකසීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම එහි කාර්යයන් වේ.
ඒකාබද්ධ කොමිෂන් සභාවේ නියමයන් යටතේ පිහිටුවා ඇති ක්‍රියාකාරී කණ්ඩායම් තුන විසින්ම, 2019 අගෝස්තු මාසයේ දී (පාලන හා නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම), 2019 ඔක්තෝබර් මාසයේදී (වෙළඳ හා ආර්ථික සහයෝගීතා ගැටළු පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම) සහ 2020 ඔක්තෝබර් 28 වැනි දින (සංවර්ධන සහයෝගීතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම) පවත්වන ලද තම රැස්වීම් පිළිබඳව වාර්තා ඉදිරිපත් කරන ලදි.”
Previous articleඅසත්‍ය පුවත් : නඩු තීන්දු උපුටා දක්වමින් නීතිඥ සංගමය නීතිය කුමක්දැයි කියයි !
Next articleඑක්ස්ප්‍රස් පර්ල් විනාශය වළක්වාගැනීමට හැකියාව තිබුණා : ධම්මික පැණිය ගැනත් විමර්ශනයක් ඕනෑ – සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here