තයිරොක්සින් නෑ : ස්ටොක් තියෙනවා – ආණ්ඩුව : මාස හයක් තිස්සෙ නෑ, ආණ්ඩුව ගෙන්වන්නෙත් නෑ – ඖෂධ වෙළෙඳ සංගමය

(නිලුක සඳුන් පද්මසිරි)
ශ්‍රී ලංකාව තුළ තයිරොක්සින් ඇතුළු ඖෂධ රැසක හිඟයක් පවතින බව ඖෂධහල් ආරංචි මාර්ග පවසයි.
සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් වෙනත් ප්‍රදේශවලට යෑමට නොහැකි තත්ත්වයක් තුළ බොහෝ ප්‍රදේශවල ඖෂධ වෙළෙඳසල්වල තයිරොක්සින් ඖෂධය මිලදී ගැනීමට නොමැති බැවින් රෝගීන් බරපතළ අපහසුතාවට පත්ව සිටින බව MediaLK වෙත වාර්තා විය. සංචරණ සීමා හේතුවෙන් එක් ප්‍රදේශයක ඖෂධ නැත්නම් වෙනත් ප්‍රදේශයකට යෑමට ජනතාවට නොහැකි වී තිබේ.
බොහෝ ඖෂධහල්වල තයිරොක්සින් ඖෂධය නොමැති බව ද, ඇතැම් ඖෂධහල්වල ඇත්තේ එම ඖෂධයේ ප්‍රමාණවලින් එකක් පමණක් (50g / 100g) බව ද ඖෂධහල්වලින් කළ විමසීම්වලදී දැනගන්නට ලැබිණි.

තත්ත්වය බරපතළ වීමේ අවදානමක්

මේ සම්බන්ධයෙන් MediaLK ශ්‍රී ලංකා ඖෂධ වෙළෙඳ සංගමයේ සභාපති කපිල ද සොයිසා මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ තයිරොක්සින් ඖෂධයේ හිඟයක් ලංකාව පුරාම වාර්තා වී ඇති බවයි.
ඊට අමතරව තවත් ඖෂධ රැසක් වරින්වර හිඟ වන බව ද, කලින්-කලට එම ඖෂධ ගෙන්වීම මත එම හිඟය පියවෙන බව ද ඔහු සඳහන් කළේය.
ඊට ප්‍රධාන වශයෙන් ඩොලර් සංචිතවල ඇති ගැටළුව ද බලපා ඇතැයි ඔහු පැවසූ අතර, ලංකාවේ අඩු මිලක් ගෙවීම හේතුවෙන් ඇතැම් සමාගම් ඒවා ලංකාවට එවීම පසෙකලා වෙනත් රටවලට යවන බව ද සභාපතිවරයා සඳහන් කළේය. මෙම තත්ත්වය දිගටම පැවතුණහොත්, ඉදිරියේදී මේ ඖෂධ හිඟය තවදුරටත් වැඩිවීමේ අවදානමක් ඇතැයි ද අප කළ විමසීමේදී ඔහු කීය.
ශ්‍රී ලංකාවේ ඖෂධ සම්බන්ධයෙන් ඇති නීති අනුව සමාගමක් විසින් ගෙන්වනු ලබන යම් ඖෂධයක හිඟයක් පවතින්නේ නම්, ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවට එම ඖෂධය ගෙන්වීමේ හැකියාව ඇති බව ද ඔහු MediaLK වෙත වැඩිදුරටත් සඳහන් කළේය.
‘සමහර බෙහෙත් හිඟයි. ගම්මන්පිල මහත්තයා ඊයෙ කිව්වෙ බඩු ගෙන්වන්න ඩොලර් හිඟයි කියලා. දැනටත් මාස තුනෙන් එහා මාස හය, නවය, දහය වගේ ක්‍රෙඩිට්වලට තමයි කොම්පැනිවලින් බඩු දෙන්නෙ.

ඩොලර් හිඟය බලපාන්නේ කොහොමද?

උදාහරණයක් විදිහට ආණ්ඩුවෙන් කොස්මටික් ගෙන්වන්න දෙන්නේ නෑ. කොස්මටික් කම්පැනිවලින් ඉල්ලීමක් කළා කොස්මටික් අවශ්‍යතාවක් තියෙනවා රටට, ගෙන්වන්න ඉඩදෙන්න කියලා. එතකොට රජය කිව්වා දැන් බෑ. මාස තුන – හය ක්‍රෙඩිට් තියලා තමයි පටන් ගත්තේ. එතකොට අපි ගෙවන්න ඕනෙ මාස හයකින්. ඒ මට සල්ලි නැති නිසා නෙමෙයි. ලංකාවේ එල්සී යවන්න ඩොලර් නෑනෙ. මේ ඩොලර් හම්බුණු දවසක ගෙවන්න සමහර කම්පැනිවලින් එල්සී එවනවා. මේක දිගටම යන්න බෑනෙ. කලින් ගෙන්නුව ඒවගෙ එල්සී ගෙවලා ඉන්න ඕනෙ ආපහු ගෙන්වන්න කලින්. එහෙම නැතිවුණාම පිටරටවල්වලින් බඩු එවන්නේ නෑ. විශ්වාසවන්තම සමාගමක් තිබු⁣ණොත් එවයි. එකක් – දෙකක් එවයි. අනෙක් ඒවා එවන්නේ නෑ. දැනටමත් ටික – ටික නැතිවේගෙන යන්නේ. නැති වෙයි ආයෙ එයි එ් වගේ. අද එකක් නැතිවුණාම ඒකට එල්සී යැව්වම ඒක එයි. ඊට පස්සේ තව බේතක් නැති වෙයි. එකපාරම මේ වර්ගයේ බේත් නැතිවෙනවා කියලා කියන්න අමාරුයි. මේ අහවල් වර්ගයේ බේත නෑ කියලා කියන්න බෑ. නැති බේත කම්පැනි දඟලලා මහ බැංකුවත් එක්ක කතා කරලා අමාත්‍යාංශයෙන් අනුමැතිය අරගෙන ගෙනෙයි. දැන් නෑ කියන බේතත් ඒ විදිහට තව සතියකින් විතර එයි.

‘කලබල වෙන්න එපා – ඇමැති කිව්වා’

තයිරොක්සින් ඇත්තටම නෑ. මම කම්පැනිවලින් ඇහුවම කිව්වෙ මිල අඩු හින්දා ලංකාවට එවන්න නිෂ්පාදකයා අදිමදි කරනවා කියලා. චන්න ජයසුමන ඇමතිතුමාගෙන් ඇහුවම කිව්වා, කලබල වෙන්න එපා එස්පීසී ස්ටොක් ඇතිවෙන්න තියෙනවා කියලා, තයිරොක්සින් කම්පැනිය ලබන සතියේ බඩු එවන්න පොරොන්දු වුණා කියලා. දැන් එ් වුණාට මාස හයක් තිස්සෙ බඩු නෑ.

මාෆියාව තියෙන්නේ කොතැනද?

තව ආරංචියක් ආවා තයිරොක්සින් පාලන මිල මෙහෙ 547යි. මාලේට යවනවා කියලා, මාලේ 2,000යි පැක් එකක්. ඒ රටවල ගණන් නිසා සහ මෙහෙ ගණන් අඩු නිසා එවන්නෙ නෑ. බේත් කියන්නේ මාෆියා බිස්නස් එකක්. ගිය ආණ්ඩුවෙන් මිල සීල් කළා. ඒ කියන්නේ ඒ ඒ බ්‍රෑන්ඩ්වලට මෙතැනින් උඩට මිල වැඩි කරන්න බෑ කියලා. ඒත් එවටත් ඩිස්කවුන්ට් දෙනවා. සියයට පනහක් අඩු කරලත් අවුරුදු තුනක් ගිහිල්ලත් ඩොලර් එක 140ට – 150ට තිබුණු කාලෙ ගෙනාපු ගාණට ගෙනැල්ලත් තව ඩිස්කවුන්ටුත් දෙනවා. එතැන මොකක් හරි මාෆියාවක් තියෙනවා. සාධාරණ ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන්න බෑ.
MediaLK – කොයි පළාත්වලද මේ තයිරොක්සින් බේත නෑ කියලා වාර්තා වෙන්නේ ?
පිළිතුර – ලංකාවෙම නෑ. හැමතැනම නෑ.
MediaLK – තයිරොක්සින් බේත ගෙන්වන්නේ මොන සමාගමෙන්ද ?
පිළිතුර – එමර් කෙමි කියන සමාගමෙන්.
MediaLK – කොහෙන්ද මේක ගෙන්වන්නේ ?
පිළිතුර – ආර්ජන්ටිනාවෙන්. බැගෝ කියන නිෂ්පාදන සමාගමෙන්.

ආණ්ඩුවෙන් නොගෙන්වන හේතුව

MediaLK – මේක එස්පීසී එකට ගෙන්වන්න බැරිද ?
පිළිතුර – ඖෂධ නීතිගත සංස්ථාව ස්ථාපනය කරද්දි නීතියක් දාලා තියෙනවා, ඕනෑම සමාගමකින් ලංකාවට ගෙන්වන ඕනෑම බේතක් ඕනෑම වෙලාවක ගෙන්වලා කොස්ට් එකට විකුණන්න පුළුවන්. ඕනෑම බේතක් හදන්න පුළුවන්. ඒ නීතිය යටතේ ඔය බේත ලංකාවට ගෙන්වලා විකුණන්න පුළුවන් එස්පීසී එකට. කරන්නේ නෑ සමාගමට පාඩු වෙයි කියලා. කට්ටියම එකතුයිනෙ. කම්පැනි එක්ක තරහා නම් එස්පීසී එක ටක්ගාලා ඕක කරයි. එහෙම නැති නිසා වෙන්නේ නෑ. එහෙම කරපු අවස්ථාත් තියෙනවා.
සමස්ත ලංකා ඖෂධහල් හිමියන්ගේ සංගමයෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසුවේ තයිරොක්සින් ඖෂධයේ හිඟයක් පැවති බවත්, මේ වන විට එහි තොග ලැබී ඇතැයි විශ්වාස කරන බවත් ය.

‘ලොකුවට කියවුණේ නෑ’

මේ පිළිබඳව කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ ඇතැම් ප්‍රදේශවල යම් ඖෂධ හිඟතාවක් විය හැකි නමුත්, විශාල වශයෙන් ඖෂධ හිඟයක් වාර්තා නොවූ බවයි.
‘ඔයිට ඉස්සෙල්ලාත් ඔය ප්‍රශ්නය ආවා. දවස් තුන-හතරකට කලින්. මට එහෙම වාර්තා වුණාට පස්සේ හොයලා බැලුවා. එහෙම ලොකු හිඟයක් නම් නෑ කියලා තමයි වාර්තා වුණේ. කොළඹ ඇතැම් ඖෂධහල්වල ස්ටොක් තියෙනවා කියලා දැනගන්නට ලැබුණා. සමහර පැතිවල පොඩි අඩුවක් තියෙන්න පුළුවන්. ලොකු අඩුවක් හැටියට නම් කියවුණේ නෑ’ යැයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රතිචාරයක් නැත !

මේ සම්බන්ධයෙන් විමසීමට ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සහ තයිරොක්සින් ඖෂධය ලංකාවට ගෙන්වන සමාගම සම්බන්ධ කරගැනීමට, අවස්ථා කිහිපයකදී උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.
මේ අතර පහත ඖෂධ බොහෝ ඖෂධහල්වල නොමැති බව ද අපට වාර්තා විය.
Acarbose 50mg
Aciclofenac 100mg
Amilodopine 5mg ,10mg
Amitriptyline 10mg
Atenolol 50mg
Azathioprine 50mg
Betahistamine 8mg
Bisacodyl 5mg
Bisoprolol 5mg
Carvadilol 3.125mg, 6.25mg ,12.5mg
Celocoxib 100mg
Chlorpromazine 50mg
Clomipramine 25mg
Clonazepam 0.5mg , 2mg
Clozapine 100mg
Diclofenac SR 100mg
Domperidone 10mg
Doxycycline 100mg
Etorocoxib 60mg
Deriphylline 150mg
Ferrous sulfate 200mg
Folic acid
GNT / TNT (heart)
Gabapentin 100mg, 300mg
Glibenclamide 5mg
Glimipride 4mg
HCT 25mg
Haloperidol
Hyoscine butyl bromide-buscopan
Ibuprofen 200mg/400mg
Imipramine
Irbesartan 150mg
Levodopa carbidopa
Metformine SR 500MG
Meloxicam 7.5mg
Methyldopa
Methyl penindate
Methyl prednisolone 4mg/16mg
Mosapride tablet
Nytrofurantoin 50mg,100mg
Norethisterone
Olanzapine 5mg,10mg
Omiprazole tab
Ondensetron 4mg
Oxybutanin 2.5mg,5mg
Pioglitazone 15mg,30mg
Pregabaline 150mg,75mg
Promethazine 10mg,25mg
Pyrental
Ramipril 2.5mg
Risperidone 2mg
Sertraline
Sitagliptin 50mg
Sulphasalazine
Telmisartan 20mg,80mg
Thyroxine 50mg,100mg
Topiramate 25mg,50mg
Vitamine A and D
Vitamine E 200mg 400mg
Wafarine 1mg,5mg
Lidocaine jelly
Adrenaline injection
Anti snake venom serum
Ampicillin injection
Benzathene penicillin
Cefuroxime injection
Cloxacillin injection
Frusemide inj
Gentamicin inj
Metoclopramide inj
Omiprazole inj
Pantaprazole inj
Previous articleඇප දීම ප්‍රතික්ෂේප කිරීම නිදහස අහිමි කිරීමක් : ශානි සාක්ෂිකරුවන් බිය ගැන්වූ බවට තොරතුරු නෑ – අභියාචනාධිකරණයේ තීරණාත්මක තීන්දුව මෙන්න !
Next articleපරමාධිපත්‍යයට බලපෑම් කරන වගන්ති නෑ : ජීඑස්පී සහනය ගැන ඇමැති කෙහෙළිය බොරු කිව්වේ කාට ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here