ජීඑස්පී සහනය ලංකාවට අවශ්‍ය ද? – මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ යුරෝපා සංගම් යෝජනාව සම්මත වෙයි !

ශ්‍රී ලංකාවේ පවතින මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව සලකා බලමින් ලංකාවට ලබාදී ඇති ජීඑස්පී සහනය අහෝසි කිරීමට කටයුතු ආරම්භ කිරීම ඇතුළු කරුණු ඇතුළත් යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබේ.
මේ සඳහා ප්‍රධාන හේතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම බව එම යෝජනාවේ දැක්වේ.
ශ්‍රී ලංකාවට ලබාදී ඇති ජීඑස්පී+ සහනය සහ එයින් ලැබෙන ප්‍රතිලාභ තාවකාලිකව ඉවත් කර ගැනීම සඳහා වන ක්‍රියා පටිපාටියක් ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් හේතු තිබේද යන්න පිළිබඳව තක්සේරුවක් කරන ලෙස ද යුරෝපා පාර්ලිමේන්තුව යෝජනා කර තිබේ. ජීඑස්පී+ සඳහා ශ්‍රී ලංකාවේ සුදුසුකම් තක්සේරු කිරීමේදී වර්තමාන සිදුවීම් නිසි ලෙස සැලකිල්ලට ගන්නා ලෙස ද මෙමගින් යෝජනා කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ ඉහළ යමින් පවතින චීනයේ භූමිකාව සහ ඇඟිලි ගැසීම් සම්බන්ධයෙන් ද යුරෝපා පාර්ලිමේන්තුව කනස්සල්ල පළ කරයි.
ශ්‍රී ලංකාවේ රජයේ සිවිල් කාර්යයන් වේගයෙන් මිලිටරීකරණය කිරීම, වැදගත් ව්‍යවස්ථාමය ආරක්ෂණ ආපසු හැරවීම, වගවීම පිළිබඳ ක්‍රියාවලිය⁣ට දේශපාලනයෙන් ඇති කෙරෙන බාධා කිරීම්, සිවිල් සමාජය බිය ගැන්වීම සහ ත්‍රස්ත විරෝධී නීති භාවිත කිරීම වැනි බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් නැවත ඇති වීම කෙරෙහිත්, ඒ හරහා රට යන භයානක මාවත පිළිබඳවත් ඔවුන් දැඩි කනස්සල්ල පළ කර සිටී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව භාවිත කිරීම⁣ට එරෙහිව දැඩි විරෝධය පළකරන බවත්, එම පනත සමාලෝචනය කිරීමට හා අවලංගු කිරීමටත් එය අන්තර්ජාතික නියමිත භාවිතයන්ට අනුකූල වන ත්‍රස්ත විරෝධී නීති මගින් ප්‍රතිස්ථාපනය කිරීමටත් දුන් පොරොන්දුව ඉටු කරන ලෙස එම පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා ඇත. හිජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් වැනි සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයන්, ලේඛකයන් සහ කවියන් නිසි නීතිමය ක්‍රියාදාමයක් සහ යුක්තිය සඳහා ප්‍රවේශයක් නොමැතිව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරන බව ද එම පාර්ලිමේන්තුව ගෙන ආ යෝජනාවේ දැක්වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකරන එම පාර්ලිමේන්තු යෝජනාව, රඳවාගෙන සිටින පුද්ගලයන්ට වලංගු චෝදනා මත සාධාරණ නඩු විභාගයක් වහාම ලබා දෙන ලෙසත්, කිසිදු චෝදනාවක් නොමැති නම් ඔවුන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
2019 පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිමය ප්‍රමිතීන්ට අනුකූලව දැඩි, අපක්ෂපාතී සහ සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසත්, වැරදිකරු බවට සාක්ෂි ඇති අය වහාම නඩු විභාගයට ඉදිරිපත් කිරීමට සහ ප්‍රමාණවත් සාක්ෂි නොමැති අය නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් යුරෝපා පාර්ලිමේන්තුව ඉල්ලා සිටී.
අදහස් දැක්වීමේ නිදහසට එවැනි නීතියක් මගින් ඇතිවිය හැකි තර්ජන පිළිබඳව සිවිල් සමාජ සංවිධාන පෙන්වා දී තිබුණද, අසත්‍ය පුවත් පිළිබඳ නව නීති පැනවීමට ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී කරන ලද යෝජනාව ගැන සැලකිලිමත් වන බව ද, සිංහල හා දෙමළ භාෂාවලින් වෛරී කතා සහ අසත්‍ය පුවත් සංසරණයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ක්‍රියාශීලී පියවර ගන්නා ලෙස අදාළ සමාජ මාධ්‍ය ජාල සමාගම්වලින් ඉල්ලා සිටින බව ද එම යෝජනාවේ සඳහන් වෙයි.
යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ පහත සඳහන් සිද්ධීන් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.
  • ‘2009දී අවසන් වූ දශක ගණනාවක් පුරා පැවති සිවිල් යුද්ධය අතරතුර දෙපාර්ශ්වයම බරපතළ මානව හිමිකම් උල්ලංඝනය සිදු කර තිබීම.
  • ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ක්‍රමානුකූලව පිරිහෙමින් පවතින අතර, පසුගිය රජය යටතේ ලබා ඇති සීමිත ප්‍රගතිය වර්තමාන රජය ආපසු හරවමින් සිටී.රට තුළ සිවිල් සමාජයට සහ ස්වාධීන මාධ්‍යවලට ක්‍රියාත්මක විය හැකි ඉඩකඩ ඉතා වේගයෙන් ඇහිරෙමින් තිබේ.
  • ආන්දෝලනාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) 1979 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අතර, සිවිල් සැකකරුවන් පරීක්ෂා කිරීම, අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා පොලිසියට එමගින් පුළුල් බලතල ලබා දෙයි.
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබා දී ඇති පුළුල් බලතල වධහිංසා හා ලිංගික අපයෝජන, බලහත්කාරයෙන් පාපොච්ඡාරණ ලබාගැනීම සහ නියමිත නීති ක්‍රියාදාමය ප්‍රතික්ෂේප කිරීම වැනි තහවුරු වූ සිද්ධීන් වලට තුඩු දී තිබේ.
  • ජාත්‍යන්තර නියමිත භාවිතයන්ට අනුකූල නීති මගින් ප්‍රතිස්ථාපනය කරන තෙක්, නව අත්අඩංගුවට ගැනීම් සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම තහනම් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ඇගේ මෑත කාලීන වාර්තාවේ දී ද ඉල්ලා සිටිනු ලැබීය.
  • ‘ආගමික හෝ වාර්ගික අසමගිය’ ඇති කිරීම සම්බන්ධයෙන් නඩු විභාගයකින් තොරව වසර දෙකක් රඳවා තබා ගැනීමට ඉඩ ලබාදෙමින් ශ්‍රී ලංකා රජය 2021 මාර්තු 9 වන දින 2021 අංක 01 දරන රෙගුලාසි නිකුත් කළේය.
  • 26 හැවිරිදි මුස්ලිම් ගුරුවරයෙකු හා කවියෙකු වන අහ්නාෆ් ජසීම් සහ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සුප්‍රසිද්ධ නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇතුළු ශ්‍රී ලංකාවේ මුස්ලිම් සහ සුළුතර කණ්ඩායම් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රමානුකූලව භාවිත කර ඇත.
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කර මානව හිමිකම් සම්මුතීන් ඇතුළු ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන බවට වන කොන්දේසිය මත 2017 මැයි 19 වැනිදා ශ්‍රී ලංකාව ජීඑස්පී+ යටතේ තීරුබදු සහන ලබා ගත්තේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් යුරෝපා සංගමය නැවත-නැවතත් කනස්සල්ල පළ කර ඇති අතර, ශ්‍රී ලංකාව එම පනත අවලංගු කිරීමට අපොහොසත් වී ඇති බව සඳහන් කර ඇත.
  • විධායක ජනාධිපති ධුරය ශක්තිමත් කරමින් 2020 ඔක්තෝබර් 20 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළේය.
  • යුද්ධය අවසාන වී වසර 12කට ආසන්න කාලයක් ගතවී ඇතත්, වගවීම සහ සංහිඳියාව සඳහා වූ දේශීය මුලපිරීම් ප්‍රතිඵල ලබාදීමට නැවත-නැවතත් අසමත් වී ඇති අතර, එමගින් වරදට දඬුවම් නොලැබීම සහ පද්ධතිය කෙරෙහි වින්දිතයන්ගේ අවිශ්වාසය වැඩි කරයි.
  • ශ්‍රී ලංකා රජයේ සිවිල් ක්‍රියාකාරකම් වේගවත් ලෙස මිලිටරීකරණය කිරීමේ පැහැදිලි ලකුණු පෙන්වයි. 2020 සිට මේ දක්වා අවම වශයෙන් හිටපු හමුදා සහ බුද්ධි අංශ ප්‍රධානීන් 28 දෙනෙකු ප්‍රධාන පරිපාලන තනතුරු සඳහා පත්කරන ලදි. එම පත්වීම් ලද නිලධාරීන් අතර යුද්ධයේ අවසන් වසරවල දී යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ වාර්තාවල චෝදනා ලැබ සිටින ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ද ඇතුළත් වේ.
  • පොලිස් අත්අඩංගුවේ පසුවන බොහෝ සැකකරුවන් මෙන්ම බන්ධනාගාරවල සිටින රැඳවියන් ද ඝාතනය කර ඇත. මීට 2021 මැයි මාසයේ දී පොලිස් අත්අඩංගුවේ සිදු වූ මියයෑම් ද ඇතුළත් ය. 2020 වසරේ නොවැම්බර් මාසයේ දී කොවිඩ්-19 තත්ත්වයක් මත මහර බන්ධනාගාරයේ ඇති වූ කෝලාහලයක් පාලනය කිරීම සඳහා බන්ධනාගාර ආරක්ෂකයන් විසින් වෙඩි තැබීමෙන් රැඳවියන් 11 දෙනෙකු මියගොස් 117 දෙනෙකු තුවාල ලැබීය.
  • 1976 සිට රට තුළ මරණ දඬුවම භාවිත කිරීම සම්බන්ධයෙන් තහනමක් පැනවුවද, ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් 2019දී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා මරණ දඬුවම නියම කරන ලදී.
ඉහත කරුණු සම්බන්ධයෙන් සලකා බලමින් යුරෝපා පාර්ලිමේන්තුව පහත යෝජනා ඉදිරිපත් කර තිබේ.
1. ශ්‍රී ලංකාව පිළිබඳ මෑත කාලීන එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් විස්තර කර ඇති පරිදි රජයේ සිවිල් කාර්යයන් වේගයෙන් මිලිටරීකරණය කිරීම, වැදගත් ව්‍යවස්ථාමය ආරක්ෂණ ආපසු හැරවීම, වගවීම පිළිබඳ ක්‍රියාවලිය⁣ට දේශපාලනයෙන් ඇති කෙරෙන බාධා කිරීම්, සිවිල් සමාජය බිය ගැන්වීම සහ ත්‍රස්ත විරෝධී නීති භාවිත කිරීම වැනි බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් නැවත ඇති වීම කෙරෙහිත්, රට යන භයානක මාවත පිළිබඳවත් ගැඹුරු කනස්සල්ල පළ කරයි.
2. වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව භාවිත කිරීම⁣ට එරෙහිව දැඩි විරෝධය යළිත් අවධාරණය කරයි. එම පනත සමාලෝචනය කිරීමට හා අවලංගු කිරීමටත්, එය අන්තර්ජාතික නියමිත භාවිතයන්ට අනුකූල වන ත්‍රස්ත විරෝධී නීති මගින් ප්‍රතිස්ථාපනය කිරීමටත් දුන් පොරොන්දුව ඉටු කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. අහිතකර රෙගුලාසි වහාම අත්හිටුවන ලෙස තවදුරටත් ඉල්ලා සිටී.
3. 2021 අංක 01 දරන රෙගුලාසි මගින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 9 වන වගන්තියේ දක්වා ඇති පරිදි අත්අඩංගුවට ගන්නා ඕනෑම පුද්ගලයෙකුට කාර්ය පටිපාටික වගකියනු ලැබීමක් නොලැබෙන බවත්, එමගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය ආරක්ෂාවන් උල්ලංඝනය කරන බවත් පෙන්වා දෙයි.
4. සමාන නීති යටතේ නියාමනය කරනු ලබන පුනරුත්ථාපන හා නැවත සමාජගත කිරීමේ මධ්‍යස්ථානවල අතීතයේ දී ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය ඇතුළු වධහිංසා පැමිණවීම් සහ වෙනත් අයුතු ලෙස සැලකීම වැනි බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවීම පිළිබඳව නැවත සිහිපත් කරයි. හිජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් වැනි සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නීතිඥයන්, ලේඛකයන් සහ කවියන් නිසි නීතිමය ක්‍රියාදාමයක් සහ යුක්තිය සඳහා ප්‍රවේශයක් නොමැතිව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර රඳවා තබා ගැනීම ගැන සැලකිලිමත් වන අතර, රඳවාගෙන සිටින පුද්ගලයන්ට වලංගු චෝදනා මත සාධාරණ නඩු විභාගයක් වහාම ලබා දෙන ලෙසත්, කිසිදු චෝදනාවක් නොමැති නම් ඔවුන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
5. මුස්ලිම්, හින්දු, දෙමළ සහ කිතුනුවන් ඇතුළු ශ්‍රී ලංකාවේ ආගමික හා ජනවාර්ගික සුළුතරයන් හා ප්‍රජාවන්ට එරෙහිව දිගින්-දිගටම වෙනස් කොට සැලකීම සහ ප්‍රචණ්ඩත්වය හෙළා දකී. වෛරී කතාව, ප්‍රචණ්ඩත්වයට පොළඹවා ගැනීම සහ රටේ ආගමික හා ජනවාර්ගික කණ්ඩායම්වලට වෙනස් කොට සැලකීම නිසැකවම හෙළා දැකීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. රජය සහ හමුදාව තුළ සිටින අය ඇතුළුව එවැනි බෙදීම් ඇති කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටී.
6. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් අධිකරණයේ ස්වාධීනත්වය පහත වැටීම, පාර්ලිමේන්තු පාලනය අඩු වීම සහ ජනාධිපති ධුරය වෙත අධික බලයක් රැස් කිරීම පිළිබඳව බරපතළ කනස්සල්ල පළ කරයි.
7. අදහස් දැක්වීමේ නිදහසට එවැනි නීතියක් මගින් ඇතිවිය හැකි තර්ජන පිළිබඳව සිවිල් සමාජ සංවිධාන පෙන්වා දී තිබුණද, සාවද්‍ය තොරතුරු පිළිබඳ නව නීති පැනවීමේ ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී කරන ලද යෝජනාව ගැන සැලකිලිමත් වන අතරම, සිංහල හා දෙමළ භාෂාවලින් වෛරී කතා සහ සාවද්‍ය තොරතුරු සංසරණයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ක්‍රියාශීලී පියවර ගන්නා ලෙස අදාළ සමාජ මාධ්‍ය ජාල සමාගම්වලින් ඉල්ලා සිටී.
8. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන, විශේෂයෙන් 365, 365ඒ සහ 399 වගන්ති, විවිධ ලිංගික දිශානතියන් සහ විවිධ ස්ත්‍රී-පුරුෂ අනන්‍යතාවන් ඇති පුද්ගලයන් අපරාධකරණය කිරීම සඳහා අර්ථ නිරූපණය කර ඇති බවට සැලකිලිමත් වෙයි.
9. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ඇතැම් අවස්ථාවල දී මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ඇතුළු ජනවාර්ගික හා ආගමික කණ්ඩායම්වල සහ සිවිල් සමාජයේ සාමාජිකයන්ට හිංසා පීඩා කිරීමේ මෙවලමක් ලෙස යොදාගැනෙන අතර, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය සහ ‘ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය වීම’ නම් ඉන්ටර්පෝල් ව්‍යාපෘතිය සඳහා වන අරමුදල් කඩිනමින් තක්සේරු කරන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටී. සිවිල් සමාජයට, විශේෂයෙන් මානව හිමිකම් ආරක්ෂා කරන්නන්, පරිසර ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් සඳහා සිය සහයෝගය වැඩි කරන ලෙස ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත වෙත හා සාමාජික රටවල්වල නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටී.
10. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ අතීත අපරාධ සම්බන්ධයෙන් වගවීම ඇතුළුව ජාතික සංහිඳියා ක්‍රියාවලියට අවශ්‍ය අවධානය සහ ප්‍රතිඵල ලබා දීම සහතික කිරීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරයි. ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ සම්බන්ධයෙන් 2015 ඔක්තෝබර් 14 වැනිදා යෝජනාවට සම අනුග්‍රහය දක්වමින් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත කළ කැපවීම්වලින් වර්තමාන රජය ඉවත්වීම ගැන කනගාටුව පළ කරයි. අන්තර්ජාතික ප්‍රජාව සමඟ සබඳතා යථා තත්ත්වයට පත්කිරීමට සහ සිංහල, දෙමළ, මුස්ලිම්, හින්දු සහ ක්‍රිස්තියානි ප්‍රජාවන් අතර ජාතික සංහිඳියාව ඇති කිරීමේ ක්‍රියාවලියක් ඇති කිරීමට ඉවහල් වන බැවින් කවුන්සිලය සමඟ නැවත සම්බන්ධ වන ලෙස යෝජනා කරයි.
11. බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට එරෙහි විමර්ශනවලට සහ නඩු පැවරීම්වලට බාධා ඇතිවීමට ඉඩ නොදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. සිවිල් යුද්ධය අතරතුර සිදු වූ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතු යැයි අවධාරණය කරයි. බරපතළ අපරාධවලට සම්බන්ධ වත්මන් හා හිටපු හමුදාපතිවරුන් රජයේ ජ්‍යෙෂ්ඨ තනතුරු සඳහා පත්කිරීමේ පුරුද්ද නතර කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
12. 2019 පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිමය ප්‍රමිතීන්ට අනුකූලව දැඩි, අපක්ෂපාතී සහ සම්පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටී. වැරදිකරු බවට සාක්ෂි ඇති අය වහාම නඩු විභාගවලට ඉදිරිපත් කිරීමට සහ ප්‍රමාණවත් සාක්ෂි නොමැති අය නිදහස් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.
13. එම සම්මුතීන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ලබාදෙන ජීඑස්පී + යෝජනා ක්‍රමය මඟින් රටේ අපනයනකරුවන් සඳහා යුරෝපා සංගම් වෙළඳපොළට වඩා හොඳ ප්‍රවේශයක් ලබා දීමට අවස්ථාවක් ලබා දෙන බවට සිහිපත් කරයි. ජීඑස්පී+ යටතේ වාසිදායක වෙළඳ සම්බන්ධතාවක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී නීති ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන්ට අනුකූල වන ලෙස සම්පුර්ණයෙන්ම පෙළගැස්වීම ශ්‍රී ලංකාවේ එක් ප්‍රධාන කැපවීමක් බව සිහිපත් කරයි. මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට, අහිතකර නීති අවලංගු කිරීමට සහ වර්තමානයේ වැඩිවෙමින් පවතින උල්ලංඝනයන් සහිත ගමන් මඟ ආපසු හැරවීමට අඛණ්ඩව අපොහොසත් වුවහොත් සිදුවිය හැකි, ජීඑස්පී රෙගුලාසියේ පුරෝකථනය කර ඇති ප්‍රතිවිපාක සිහිපත් කරයි.
14. ශ්‍රී ලංකාවට ලබා දෙන ජීඑස්පී+ යෝජනා ක්‍රමය රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති අතර, එයින් යුරෝපා සංගමයට කරන අපනයන මගින් ලැබෙන ආදායම යුරෝ බිලියන 2.3ක් දක්වා ඉහළ ගොස් ඇත. එමගින් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන වෙළෙඳපොළ බවට පත් වී තිබේ. ශ්‍රී ලංකාවේ ජීඑස්පී+ සඳහා දැනට පවතින සුදුසුකම් අධීක්ෂණය කිරීම ඉස්මතු කරන අතර, ජීඑස්පී+ වෙළෙඳ සබඳතා අඛණ්ඩව පවත්වා ගැනීම ස්වයංක්‍රීය නොවන බව අවධාරණය කරයි. ජීඑස්පී+ සඳහා ශ්‍රී ලංකාවේ සුදුසුකම් තක්සේරු කිරීමේදී වර්තමාන සිදුවීම් නිසි ලෙස සැලකිල්ලට ගන්නා ලෙස කොමිසමෙන් සහ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයෙන් (EEAA) ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් බැඳීම්වල දියුණුව සඳහා සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම හෝ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඉල්ලා සිටීමට තල්ලුවක් ලෙස ජීඑස්පී +  සහනය භාවිත කරන ලෙස, ශ්‍රී ලංකාවේ ජීඑස්පී + තත්ත්වය සහ එයින් ලැබෙන ප්‍රතිලාභ තාවකාලිකව ඉවත් කර ගැනීම සඳහා වන ක්‍රියා පටිපාටියක් ආරම්භ කිරීම සඳහා ප්‍රමාණවත් හේතුවක් තිබේද යන්න ප්‍රවේශමෙන් තක්සේරු කිරීමට සහ හැකි ඉක්මනින් මේ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට කටයුතු කරන ලෙස ලෙස කොමිසමෙන් සහ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයෙන් තවදුරටත් ඉල්ලා සිටී.
15. කම්කරු අයිතිවාසිකම් තත්ත්වය පිරිහීම කෙරෙහි COVID-19 වසංගතයේ බලපෑම ගැන සැලකිලිමත් වන අතර, විශේෂ වෙළෙඳ කලාපවල ඇඟලුම් කම්කරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව ඇතුළුව කර්මාන්තශාලා සේවකයන්ගේ ශ්‍රම අයිතිවාසිකම් ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී. ළමා ශ්‍රමය තුරන් කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම හා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කම්කරු ප්‍රමිතීන් හා රැකියා සම්බන්ධතා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන් අංක 87 සහ 98 වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගෙන ඒම සඳහා කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
16. සෑම අවස්ථාවකදීම සහ ව්‍යතිරේකයකින් තොරව යුරෝපා සංගමයේ මරණීය දණ්ඩනයට ඇති දැඩි විරෝධය යළිත් අවධාරණය කරයි. මරණීය දණ්ඩනය පිළිබඳ ශ්‍රී ලංකාවේ අඛණ්ඩ තහනම පිළිගනී. රට තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අහෝසි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.
17. ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් සඳහා යුරෝපා සංගමයේ අතීත සහයෝගය සාදරයෙන් පිළිගන්නා අතර, ඒ සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට යුරෝපා සංගමයේ සූදානම අවධාරණය කරයි.
18. ශ්‍රී ලංකාව තුළ ඉහළ යමින් පවතින චීනයේ භූමිකාව සහ ඇඟිලි ගැසීම් ගැන කනස්සල්ල පළ කරයි.
19. මෙම යෝජනාව සභාවට, කොමිසමට, කොමිෂන් සභාවේ උප සභාපති / විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ සංගමයේ ඉහළ නියෝජිතවරයාට, මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගමයේ විශේෂ නියෝජිතවරයාට, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහ ශ්‍රී ලංකා රජයට සහ පාර්ලිමේන්තුවට යොමුකරන ලෙස සභාපතිවරයාට උපදෙස් දෙයි.
එහිදී පහත යෝජනා, වාර්තා සහ කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබේ.
  • ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තුව මීට පෙර ඉදිරිපත් කළ යෝජනා
  • ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ යන මාතෘකාව යටතේ 2021 පෙබරවාරි 9 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව
  • ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ යන මාතෘකාව යටතේ 2021 මාර්තු 23 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව
  • ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2021 මාර්තු 12 වන දින ප්‍රකාශයට පත් කරන ලද 2021 අංක 01 දරන රෙගුලාසි
  • ‘ශ්‍රී ලංකාවේ සංචාරය’ මැයෙන් යටතේ 2018 දෙසැම්බර් 14 වැනිදා ත්‍රස්තවාදය මැඩපැවැත්වීම, මානව හිමිකම් සහ මූලික නිදහස ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුගේ වාර්තාව
  • 2021 පෙබරවාරි 24 වැනිදා ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචෙලට්ගේ ප්‍රකාශය
  • 2019 නොවැම්බර් 16 වැනිදා ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණය සඳහා වූ යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම් පිළිබඳ 2020 ජනවාරි නිකුත් කළ අවසන් වාර්තාව
  • 1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය
  • 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය
  • ශ්‍රී ලංකාව ප්‍රතිලාභියෙකු වන විශේෂ දිරිගැන්වීමේ වැඩසටහනක් වන යුරෝපා සංගම් ජීඑස්පී + සහනය.
  • යුරෝපා පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියේ රීති 144 (5) සහ 132 (4)
Previous articleපොලිස් භාරයේ සිටින පුද්ගලයන් මියයෑම මහජන ආරක්ෂාවේ බිඳවැටීමක් – මානව හිමිකම් කොමිසම බලය භාවිත කරයි !
Next articleඅධිකරණ බලයට උඩින් වැඩ කරන්න සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට බෑ – හිජාස්ගේ නඩුවේදී හලාවත මහාධිකරණ විනිසුරු කියයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here