ජීවත් වීමේ අයිතිය සහ අකුරුවලට ඇති භීතිය !

(තරිඳු ජයවර්ධන)
කොවිඩ්-19 වසංගතයක් ලෙස රට පුරා පැතිරෙමින් තිබේ.  වසංගතය පාලනය කිරීම සඳහා රට වසා දමන ලෙස දිගින් දිගටම සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියේය. ඒ මීට මාස දෙකකට පමණ පෙර සිටය. නමුත් බලධාරීන් සෞඛ්‍ය අංශවල ඉල්ලීම අසා නොඇසුණා සේ සිටියේය. එහි ප්‍රතිඵලය අද භුක්ති විඳිමින් සිටී. දිනකට 20ක් 30ක් මැරෙන තැනට රට පත්ව තිබේ. ඉදිරියේදී එය තව බොහෝ සෙයින් වැඩිවෙතියි සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.
අවශ්‍ය වේලාවට හරි තීන්දු ගෙන වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට පාලකයෝ කටයුතු නොකළහ. එලෙස වගකීම් අත්හළ පාලකයන්ට නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට පොලිසිය ද මුහුණු ආවරණ නැති පිරිස් වැනි ‘පොඩි’ මිනිසුන් අත්අඩංගුවට ගනිමින් සිටී.
ඉන් එහා ගොස් රජය පසුගිය කොවිඩ් සමයේ මෙන් වැඩ කිරීමට පටං ගෙන තිබේ. මෙවර ද කොවිඩ් ගැන ලියන කියන අය මර්දනය කිරීමට පිඹුරුපත් සකසමින් සිටින බව කියැවේ. ඊට හොඳම උදාහරණය සෞඛ්‍ය අමාත්‍යංශයේ ‘හදිසි’ චක්‍රලේඛයයි. ‘ආයතන සංග්‍රහය’ නම් පොතට මුවා වී ලියන කියන උදවිය නිශ්ෂබ්ද කිරීමටත්, බය කිරීමටත් රජය උත්සාහ කරන බව පෙනෙයි.  රාජ්‍ය සේවකයනට තම ආයතන ප්‍රධානියාගේ අවසරයක් නැතිව ජනමාධ්‍ය වෙත අදහස් දැක්විය නොහැකි බවට එම ‘පොතේ’ තිබේ. පසුගිය කාලයේ එම ‘පොත’ ක්‍රියාත්මක වූයේ එක්තරා පිරිසකට පමණි.

මනෝහාරි පැලකැටිය එ. නීතිපති

කොළඹ මහානාම විද්‍යාලයේ ගුරුවරියක වූ සමන්ති මනෝහාරි පැලකැටිය මහත්මියට එම ‘පොත’ ක්‍රියාත්මක විය. ඇය එම විද්‍යාලයේ සිටිය දී දේශපාලනයට සම්බන්ධ පවුලක ගුවරුවරයකු අතින් ලිංගික හිංසනයකට ලක්වූවාය. ගුරුවරිය ඊට එරෙහිව පොලිසියටත්, අධ්‍යාපන අමාත්‍යංශයටත් පැමිණිලි කළාය. පැමිණිලිවලින් පලක් නොවිණි. ඇය තම දුක්ගැනවිල්ල සිරස ‘විමර්ශන’ මගින් රටට කීවාය. එවිට කලින් කී ‘පොතෙහි’ ඇති වගන්ති ක්‍රියාත්මක කරමින් ගුරුවරියගේ වැඩ තහනම් කරනු ලැබිණි. චෝදනාව වූයේ ආයතන ප්‍රධානියාගේ නිසි අවසරයකින් තොරව ජනමාධ්‍යයට ප්‍රකාශයක් ලබා දීම හා එමගින් ආයතනයත්, රාජ්‍ය සේවයත් අපකීර්තියට පත් කිරීමයි.
ගුරුවරිය ලංකා ගුරු සංගමයේ ද සහයෙන් වැඩ තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවාය. එහි තීන්දුව වූයේ ගුරුවරියගේ වැඩ තහනම් කිරීම වැරදි බවයි. වැඩ තහනමින් ගුරුවරියගේ මූලික අයිතිවාසිකම් කඩ වි ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ‘ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මකවීම සඳහා භාෂණයේ නිදහස අත්‍යාවශ්‍ය වේ. නූතන ප්‍රජාතන්ත්‍රවාදය තුළ මහජන මතය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. එය ඉතා වැදගත් වේ.’ යැයි ද එම තීන්දුවේ සඳහන් වෙයි.
‘මනෝහාරි පැලකැටිය එ. නීතිපති’ නඩුවේ තීන්දුව ලබා දෙද්දි රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වූයේ රංජිත් මද්දුම බණ්ඩාර මහතාය. ආයතන සංග්‍රහයේ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියට සීමා දමා ඇති වගන්ති ඉවත් කරන බව ඇමැතිවරයා ප්‍රසිද්ධියේ කීවේය. එය හුදෙක් ඔහුගේ තවත් එක් දේශපාලන පොරොන්දුවක් පමණක් විය. පොතේ වගන්තිය ඉවත් කැරුණේ නැත.
ලංකාවේ භාෂණයේ නිදහස සම්බන්ධයෙන් නඩු තීන්දු රැසක් තිබේ. ඒ සියල්ල පොතකට හෝ කොලයකට සීමා වී ඇත. ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවේ. රජය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ ලියන කියන අය නිශ්ෂබ්ද කළ හැකි අණ පනත් පමණි.

පරණ පුරුදු යළිත්

පසුගිය කොරෝනා කාලයේ ද රජය කොවිඩ් ගැන තොරතුරු හෝ අදහස් ප්‍රකාශ කළ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත්තේය. ‘බොරු’ තොරතුරු සමාජ ගත කිරීම සහ තවත් චෝදනා ඔවුනට එල්ල කෙරිණි. අත්අඩංගුවට ගැනීම් ගැන වරින් වර කියමින් ලියන කියන සෙසු අය ද බිය ගැන්වීමට උත්සාහ කළ බවක් පෙනිණි. දැන් යළිත් වරක් එම කටයුත්ත ආරම්භ කර තිබේ. මාධ්‍යයට අදහස් දැක්වීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තහනම් කර ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කළේය.
සෞඛ්‍ය යනු ජීවිතය සම්බන්ධ තීරණාත්මක සාධකයකි. සෞඛ්‍ය සම්බන්ධයෙන් වන අහිතකර තොරතුරු සහ හිතකර තොරතුරු ජනතාවට දැනුම් දීමට සෞඛ්‍යයට සම්බන්ධ සියලු දෙනා බැඳී සිටී. රජය සිටිනුයේ  එම ප්‍රකාශවලින් ආයතනයට හෝ රජයට හානියක් වනවාදැයි සොයා බැලීමට නොවේ. සෞඛ්‍ය අංශ හෙළි කරන තොරතුරු මත හරි තීන්දු ගැනීම රජයේ වගකීමයි. එය සිදු නොකර සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිශ්ෂබ්ද කිරීමෙන් සිදු කරනුයේ ජනතාවගේ ජීවිත තවදුරටත් අනතුරේ හෙලීමකි.
‘ලියන කියන’ අය නිහඬ කරවනවා වෙනුවට ‘ලියන කියන’ අය පෙන්වා දෙන කාරණා ගැන සොයා බැලුවහොත් භාෂණයේ අයිතිය මෙන්ම නිල නොවන ලෙස ලැබී ඇති ජීවත්වීමේ අයිතිය රැකෙනු ඇත.
Previous articleඅදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බැඳ රාජ්‍ය නිලධාරීන් භීතියට පත්කිරීමේ උත්සාහයක් – වැඩ කරන ජන බලය
Next article(ලංකාව නොවේ) දැවැන්ත ආයෝජන ගනුදෙනුවක් අත්හිටුවයි – චීනයේ වෙනස් කොට සැලකීම්වලට විරෝධය !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here