අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බැඳ රාජ්‍ය නිලධාරීන් භීතියට පත්කිරීමේ උත්සාහයක් – වැඩ කරන ජන බලය

සත්‍ය තොරතුරු පිළිබඳ දැනුවත් නිලධාරීන් මාධ්‍ය හරහා ජනතාවට අදහස් ප‍්‍රකාශ කිරීම පිළිබඳ වගකිවයුතු පිරිස් බියට පත්ව ඇති බවත්, අදහස් ප‍්‍රකාශ කිරීම සීමාකිරීමට ඔවුන් ඍජුවම මැදිහත් වන බවත් වැඩ කරන ජන බලය සංවිධානය පවසයි.
රාජ්‍ය සේවය තුළ සිටින නිලධාරීන්ගේ ප‍්‍රකාශන අයිතිය සීමාකිරීම සහ නිලධාරීන් බිය ගැන්වීම ආණ්ඩුවේ අරමුණ බව ද එම සංවිධානය පෙන්වා දෙයි.රජයේ සේවකයන් බියගන්වා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමේ නින්දිත උත්සාහයන් පිළිබඳ ආණ්ඩුවේ නායකයන්ට අනාගතයේ පසුතැවීමට සිදු වනු ඇති බවත්, පාලකයන් රාජ්‍ය සේවකයන් බියගැන්වීමට ගන්නා උත්සාහයන්ට බිය නොවී නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය භාවිත කරන ලෙස සියලු රජයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටින බවත් වැඩ කරන ජන බලය ප්‍රකාශ කර සිටී.
මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අදහස් ප‍්‍රකාශනය මූලික අයිතියක් ලෙස පිළිගෙන ඇතැයි ද, ඊට අමතරව මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියද ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇතැයි ද එම සංවිධානය අවධාරණය කරයි.

චමිල ජයසිංහ අත්අඩංගුවට ගැනීම

ෆේස්බුක් සටහනක් පළකිරීම හේතුවෙන් කොත්මලේ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් චමිල ජයසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීම එම නිලධාරියාගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය නිර්දය ලෙස සීමා කිරීමක් බව වැඩ කරන ජන බලය සංවිධානය අවධාරණය කරයි.කොළඹ සිට මහනුවර දිස්ත‍්‍රික්කයට ගමන් කොට හදිසියේ මෙම නිලධාරියා අත්අඩංගුවට ගැනීමට තරම් ඔහු භයානක අපරාධයක් සිදු කර නොමැති බවද ඔවුහු පවසති.
‘මැයි 21 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කොත්මලේ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් චමිල ජයසිංහ අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ ෆේස්බුක් වෙබ් අඩවියේ සිංහරාජය සම්බන්ධ පුවත් හුවමාරු කරගැනීම පිළිබඳ චෝදනා කරමිනි.
එලෙස අත්අඩංගුවට ගැනීමට පෙර එම නිලධාරියාට ෆේස්බුක් අඩවියේ පළකළ සටහනක් පිළිබඳ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ද කර තිබිණි. එලෙස කැඳවා තිබුණේ චමිල ජයසිංහ මහතා පළකරන ලද ෆේස්බුක් සටහනක් පිළිබඳව ය. එම සටහන මීට පෙර සමාජ මාධ්‍යවල හුවමාරු වූ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට අදාළ පුවතක් පිළිබඳ සටහනකි’ යැයි එම සංවිධානය සඳහන් කරයි.

චමල් සංජීවට එරෙහි විනය පරීක්ෂණය

‘සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ තම අමාත්‍යාංශයේ නිලධාරීන්ට අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට ඇති සීමා සඳහන් කරමින් ලිපියක් නිකුත් කර තිබිණි. රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ සහ ආයතන සංග‍්‍රහය උපුටා දක්වමින් අදහස් ප‍්‍රකාශ කරන නිලධාරීන්ට විරුද්ධව විනය පියවර ගන්නා බවට එම ලිපියෙන් තර්ජනය කර තිබිණි’ යැයි එම වැඩ කරන ජන බලය සංවිධානය ⁣සඳහන් කරයි.
ඉන්පසු යූ ටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදීම සම්බන්ධයෙන්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ වතු හා නාගරික නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චමල් සංජීවට එරෙහිව විනය පරීක්ෂණයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි පුවත් පළ වී තිබූ බවත් මෙවැනි පියවර ගැනීමෙන් රාජ්‍ය සේවය තුළ සිටින නිලධාරීන්ගේ ප‍්‍රකාශන අයිතිය සීමාකිරීම මෙන්ම එම සේවයේ සිටින නිලධාරීන් බිය ගැන්වීම ආණ්ඩුවේ අරමුණ බවත් එම සංගමය කියයි.
‘රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පෙනී නොසිට, යම් කරුණක් වේ නම් ඒ පිළිබඳව සෘජුවම තමන්ට දැනුම් දීම වඩා වැදගත් යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැයි 21 වැනිදා ප‍්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක සඳහන් වේ.
නිලධාරීන් මාධ්‍ය හරහා ජනතාවට අදහස් ප‍්‍රකාශ කිරීම පිළිබඳ වගකිව යුතු පිරිස් බියට පත්ව ඇති බවත් අදහස් ප‍්‍රකාශ කිරීම සීමාකිරීමට ඔවුන් ඍජුවම මැදිහත් වන බවත් එවැනි ප‍්‍රකාශවලින් ද තහවුරු වේ.’ යනුවෙන් එම සංවිධානය පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් උපුටා දක්වමින් එම සංවිධානය මෙසේ ද කියයි.
‘ඊටත් එහා ගොස් අප සිහිපත් කළ යුතු වැදගත් කාරණයක් ඇත. ආයතන සංග‍්‍රහය ගෙනහැර දක්වමින් නිලධාරීන්ගේ ප‍්‍රකාශනයේ අයිතිය සීමාකිරීමේ හැකියාවක් පාලකයන්ට නැත. ශ‍්‍රී ලංකාවේ මේ සම්බන්ධව ඓතිහාසික ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ඇත.
එම ඓතිහාසික තීන්දුව වන්නේ ගුරුවරියක වන පී.එස්.එම්. පැලකැටිය මහත්මිය ආයතන සංග‍්‍රහය ගෙනහැර දක්වමින් තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සීමා කර, මාධ්‍ය වෙත ලබා දුන් ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් තමන්ට එරෙහිව පියවර ගැනීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ය. 76/2012 අංකය දරන එම තීන්දුවෙන් රාජ්‍ය නිලධාරීන්ට අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කර ඇත. ආයතන සංග‍්‍රහයට ඉහළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පවතින බව එම තීන්දුවෙන් තහවුරු කර ඇත.
අපේ රටේ නිලධාරීන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද මෙවැනි මර්දන උත්සාහයන් ප‍්‍රියනොකරන බවත්, ඉතිහාසය පුරා මේවාට එරෙහිව නැගී සිටි බවත් අපි සිහිපත් කරන්නෙමු.’
Previous articleව්‍යාජ කාර්යාල සහ VIP වාහන ගැන මානව හිමිකම් කොමිෂන් සභාවෙන් දැනුවත් කිරීමක් !
Next articleජීවත් වීමේ අයිතිය සහ අකුරුවලට ඇති භීතිය !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here