(ලංකාව නොවේ) දැවැන්ත ආයෝජන ගනුදෙනුවක් අත්හිටුවයි – චීනයේ වෙනස් කොට සැලකීම්වලට විරෝධය !

(නිලූක සඳුන් පද්මසිරි)
චීන රජය එරට ෂින්ජියැන්ග් පළාතේ උයිගර් ප්‍රජාවට වෙනස් කොට සැලකීම සම්බන්ධයෙන් හා යුරෝපා සංගමයේ නිලධාරීන්ට එරෙහිව සම්බාධක පැනවීම හේතුවෙන්, යුරෝපා පාර්ලිමේන්තුව චීනය සමඟ දැවැන්ත ආයෝජන ගනුදෙනුවක් සඳහා ඉදිරිපත් කෙරුණු ආයෝජන පිළිබඳ විස්තීර්ණ ගිවිසුමක් (CAI) අත්හිටුවීම සඳහා ඡන්දය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව යුරෝපා පාර්ලිමේන්තුව එම ගනුදෙනුව සම්බන්ධයෙන් කටයුතු කිරීමට නම් චීනය විසින් අදාළ සම්බාධක ඉවත් කරගත යුතු බවට යෝජනා වී ඇති බවත්, එම සම්බාධක ඉවත් කිරීමෙන් පමණක් ගනුදෙනුව අනුමත නොකෙරනු ඇති බවට ඇතැම් මන්ත්‍රීවරුන් අනතුරු අඟවා ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි. මෙම යෝජනාව 30⁣ට 599ක් ලෙස වැඩි ඡන්ද 569කින් සම්මත විය. 58 දෙනකු ඡන්ද විමසීමට පැමිණ සිට නැත.මෙම තීරණය චීන-යුරෝපා සංගම් සබඳතා පිරිහීමේ තවත් ලකුණක් වන බවත්, මෙය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිරීක්ෂකයන්ට පුදුමයක් නොවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
⁣මෙලෙස අත්හිටුවනු ලැබූ දැවැන්ත වෙළෙඳ ගනුදෙනුව වසර හතක සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පැමිණි ගනුදෙනුවකි. එහි අවසාන සාකච්ඡා පසුගිය වසරේ අගභාගයේදී චීන ජනාධිපති ෂී ජින් පිං සහ ජර්මනියේ ඇන්ජෙලා මර්කල්, ප්‍රංශයේ එමානුවෙල් මැක්‍රොන් මෙන්ම යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලයින් වැනි යුරෝපීය නායකයන් අතර පැවැත්විණි. මෙම ගනුදෙනුව මුල සිටම යුරෝපයේ මතභේදාත්මක ගනුදෙනුවක් විය. සාකච්ඡා අවසන් වීමටත් පෙර මානව හිමිකම් උපදේශකයන් දිගු කලක් තිස්සේ ඉල්ලා සිටියේ බීජින් සමඟ ගනුදෙනු කිරීමේදී මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයට ප්‍රමුඛතාව දෙන ලෙසයි.

ෂින්ජියැන් පිහිටීම

නිල වශයෙන් ෂින්ජියැන් උයිගර් ස්වයං පාලන කලාපය (XUAR) ලෙස හැඳින්වෙන ෂින්ජියැන් පිහිටා ඇත්තේ වයඹ දිග චීනයේ ය.
ටිබෙටය මෙන් ෂින්ජියැන්වලටද ස්වයං පාලනයේ යම් බලයක් ඇත. එහෙත් ප්‍රායෝගිකව මධ්‍යම ආණ්ඩුවේ ප්‍රධාන සීමාවන්ට ලක්වන ප්‍රදේශයකි. එය බොහෝදුරට කාන්තාර කලාපයක් වන අතර, එය ලෝකයේ කපුවලින් පහෙන් එකක් පමණ නිෂ්පාදනය කරයි. තෙල් හා ස්වභාවික ගෑස්වලින් ද පොහොසත් කලාපයක් වන අතර, මධ්‍යම ආසියාව හා යුරෝපයට ආසන්නව පිහිටා ඇති නිසා බීජිනය එය වැදගත් වෙළෙඳ පිහිටීමක් ලෙස සලකයි. විසිවන සියවසේ මුල් භාගයේදී උයිගර්වරුන්ට නිදහස ලැබුණද, එම කලාපය 1949දී චීනයේ නව කොමියුනිස්ට් ආණ්ඩුවේ පූර්ණ පාලනය යටතට පත් විය.

ෂින්ජියැන්වල මොකද වුණේ ?

ෂින්ජියැන් හි මුස්ලිම් – උයිගර් ජනගහනයට සැලකීම සම්බන්ධයෙන් චීනය ලොව පුරා දැඩි විවේචනවලට මුහුණ දී සිටී.
මානව හිමිකම් සංවිධාන විශ්වාස කරන්නේ පසුගිය වසර කිහිපය තුළ චීනය, උයිගර් ජනතාව මිලියනයකට වැඩි ප්‍රමාණයක් රඳවාගෙන සිටින බවත් රජය විසින් ඔවුන් රඳවාගෙන සිටින කඳවුරු ‘පුනරුත්ථාපන අධ්‍යාපන කඳවුරු’ ලෙස අර්ථ දක්වා ඇති බවත් ය. උයිගර්වරු බලහත්කාරයෙන් කම්කරු සේවයේ යොදවන බවටත්, කාන්තාවන් බලහත්කාරයෙන් වන්ධ්‍යකරණය කරන බවටත් සාක්ෂි අනාවරණය වී ඇතැයි එම සංවිධාන පවසයි. කපු නිෂ්පාදනයේදී චීනය බලහත්කාර කම්කරු සේවය යොදාගන්නා බවට චෝදනා එල්ල වී තිබේ.
එක්සත් ජනපදය, කැනඩාව සහ නෙදර්ලන්තය ඇතුළු රටවල් කිහිපයක් චීනය ජන සංහාරයක් සිදු කර ඇති බවට චෝදනා කර ඇත්තේ ජාත්‍යන්තර සම්මුතිය මගින් නිර්වචනය කර ඇති ආකාරයට ‘ජාතික හෝ ජනවාර්ගික, හෝ ආගමික කණ්ඩායමක් විනාශ කිරීමේ අභිප්‍රාය’ ලෙස සඳහන් කරමිනි.උයිගර් ජනගහනය අඩු කිරීම සඳහා උයිගර් කාන්තාවන් වන්ධ්‍යකරණයට ලක්කරන බවට සහ උයිගර් දරුවන් ඔවුන්ගේ පවුල්වලින් වෙන්කිරීම සඳහා චීනය කටයුතු කරන බවට ⁣චෝදනා එල්ල වෙයි.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසා ඇත්තේ චීනය මානව වර්ගයාට එරෙහි ජන සංහාර සහ අපරාධ සිදුකරන බවයි. එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩොමිනික් රාබ් පවසා ඇත්තේ උයිගර්වරුන්ට චීනයේ සැලකීම ‘අතිශය මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් මෙන්ම එය බිය උපදවන දෙයක්’ බවයි.
2018දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවක් කියා සිටියේ ෂින්ජියැන් හි ‘අන්තවාදී මර්දන මධ්‍යස්ථාන’ තුළ චීන ජාතිකයන් මිලියනයක් පමණ රඳවාගෙන සිටින බවට විශ්වාසදායක වාර්තා ඇති බවයි.
ඕස්ට්‍රේලියානු ක්‍රමෝපායික ප්‍රතිපත්ති ආයතනය විසින් 2020දී ෂින්ජියැන් හි මෙම ‘අධ්‍යාපන පුනරුත්ථාපන කඳවුරුවලින්’ 380කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳ සාක්ෂි සොයා ගත් අතර, එය පෙර ඇස්තමේන්තුවලට වඩා සියයට 40ක වර්ධනයකි.චීනය එවැනි චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ කලාපයේ බෙදුම්වාදයට හා ඉස්ලාමීය සටන්කාමීත්වයට එරෙහිව සටන් කරන බවයි.

උයිගර්වරුන් කවුද?

ෂින්ජියැං ප්‍රදේශයේ වෙසෙන බහුතරයක් මුස්ලිම් වන උයිගර්වරු මිලියන 12 ක් පමණ වෙති. ඔවුන් ෂින්ජියැන් ජනගහනයෙන් අඩකටත් වඩා අඩු ය. උයිගර්වරුන් තුර්කි භාෂාවට සමාන තමන්ගේම භාෂාවක් කතා කරන අතර, ඔවුන් මධ්‍යම-ආසියානු ජාතීන්ට සංස්කෘතික හා වාර්ගික වශයෙන් සමීප අය ලෙස සලකති.
මෑත දශකය තුළ චීන හැන් ප්‍රජාවට අයත් පුද්ගලයන් (චීනයේ ජනවාර්ගික බහුතරය) ෂින්ජියැන්ග් වෙත විශාල වශයෙන් සංක්‍රමණය වී ඇති බවත්, උයිගර්වරුන්ගේ සංස්කෘතිය හා ජීවනෝපායන් තර්ජනයට ලක්ව ඇති බවට ඔවුන්ට හැඟී ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය කියයි.
උයිගර් සිවිල් අයීතීන් පිළිබඳ කණ්ඩායමක් වන ‘උයිගර් මානව හිමිකම් ව්‍යාපෘතිය’ විසින් කරන ලද නව පර්යේෂණයකට අනුව, චීනය විසින් ෂින්ජියැන් කලාපයේ මර්දනය දියත් කිරීමෙන් පසු 2014 සිට මේ දක්වා අවම වශයෙන් ඉමාම්වරුන් සහ වෙනත් මුස්ලිම් ආගමික පුද්ගලයන් 630 දෙනෙකු සිරගත කර හෝ රඳවා තබාගෙන තිබේ. පූජකයන් 18 දෙනෙකු රැඳවුම් භාරයේදී හෝ ඉන් නිදහස් වී දින කිහිපයකට පසු මියගිය බවට සාක්ෂි ද හමු වී තිබේ.
රඳවාගෙන සිටින පූජකවරුන්ගෙන් බොහෝදෙනෙකුට එරෙහිව ‘අන්තවාදය ප්‍රචාරය කිරීම’, ‘සමාජ සාමකාමීත්වයට බාධා කිරීම සඳහා ජනතාව එක්රැස් කිරීම’ සහ ‘බෙදුම්වාදයට උසිගැන්වීම’ වැනි චෝදනා ගොනු කර තිබේ.
රඳවාගෙන සිටින අයගේ ඥාතීන්ගෙන් ලද සාක්ෂිවලට අනුව, මෙම චෝදනා පිටුපස ඇති සැබෑ අපරාධ බොහෝවිට ධර්මය දේශනා කිරීම, යාච්ඥා කණ්ඩායම් කැඳවීම හෝ හුදෙක් ඉමාම්වරයෙකු ලෙස ක්‍රියා කිරීම ය.
‘සියල්ල සඳහා යුක්තිය’ නම් සිවිල් අයිතීන් කණ්ඩායම සමඟ කටයුතු කරමින් උයිගර් මානව හිමිකම් ව්‍යාපෘතිය අධිකරණ ලේඛන, පවුල්වල අයගේ සාක්ෂි සහ රාජ්‍ය හා පෞද්ගලික දත්ත ගබඩාවලින් ලබාගත් මාධ්‍ය වාර්තා භාවිත කරමින්, මුස්ලිම් පූජකවරුන් 1,046 දෙනෙකුට අත්වූ තත්ත්වය පිළිබඳ පර්යේෂණය කර තිබේ. ඔවුන්ගෙන් බහුතරයක් උයිගර්වරු බවට අනාවරණය වී ඇත. පූජකවරුන් 1,046 දෙනෙකු යම් තැනක රඳවාගෙන සිටින බව වාර්තා වන අතර, චීනය තොරතුරු දැඩි ලෙස පාලනය කිරීම නිසා බොහෝ අවස්ථාවල දී සනාථ කරන ලද සාක්ෂි ලබාගත නොහැකි වී තිබේ.
සිද්ධීන් 630ක් අතරින්, අවම වශයෙන් පූජකවරුන් 304 දෙනෙකු සිරගත කර ඇතැයි ද සිර දඬුවමෙහි කාලය පිළිබඳ සාක්ෂිවලින් තොරතුරු ලබාගත හැකි අවස්ථාවල දී, එම දඬුවම් මගින් ෂින්ජියැන් යුක්තියේ කටුක ස්වභාවය පිළිබිඹු කරන බව ද, සියයට 96ක් අවම වශයෙන් අවුරුදු පහකට වැඩියෙන් සිරගත කර ඇතැයි ද, ඉන් සියයට 26කට වැඩි සංඛ්‍යාවකට වසර 20ක් දක්වා හෝ ඊට වැඩි හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි වී ඇතැයි ද සඳහන් වේ.

සම්බාධක සහ ප්‍රති-සම්බාධක

යුරෝපා සංගමය ෂින්ජියැන් පිළිබඳ චීනයේ මෙම ප්‍රතිපත්තියට සම්බන්ධ චීන නිලධාරීන් සිව්දෙනෙකුට සම්බාධක පැනවීය. ඊට ප්‍රතිචාර වශයෙන් චීනය යුරෝපීය පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ සාමාජිකයන් කිහිපදෙනෙකු, ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු, යුරෝපා සංගම් කමිටු දෙකකට සහ චීනය කේන්ද්‍ර කරගත් යුරෝපීය පර්යේෂකයන් ගණනාවක් ඉලක්ක කර ගනිමින් ප්‍රති-සම්බාධක පැනවීය.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටි⁣යේ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම වහාම නතර කරන ලෙසයි. ඔහු තවදුරටත් මෙසේ පැවසීය: ‘මෙම ගිවිසුම සමබර හා දෙපැත්තටම ජයග්‍රාහී ගනුදෙනුවක්. එය දෙපැත්තටම වාසි ගෙන දෙන එකක්.  එය‘ තෑග්ගක් ’හෝ එක් පැත්තකින් අනෙක් පැත්තට ලබාදෙන අනුග්‍රහයක් නෙවෙයි. ගිවිසුම අනුමත කිරීම චීනයේ සහ යුරෝපා සංගමයේ යන දෙපැත්තේම අවශ්‍යතාවන් සඳහා යි.’
චීනය බලහත්කාරයෙන් කම්කරුවන්ගෙන් වැඩ ගැනීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී මෙම ගනුදෙනුව මතභේදාත්මක විය.
යුරෝපීය පාර්ලිමේන්තුව චීනයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් දැඩි ලෙස විවේචනය කර ඇති අතර, සිය සාමකාමී මානව හිමිකම් ක්‍රියාකාරකම් හේතුවෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ චීන උයිගර් ජන කොට්ඨාසයට අයත් විශාරදයෙකු වන ඉල්හැම් ටොතිට 2019දී කීර්තිමත් සකාරොව් ත්‍යාගය පිළිගැන්වීම සහ බොහෝ චීන විරෝධී යෝජනා සම්මත කිරීම වැනි පියවර ගත්⁣තේය. චීනය පවසා ඇත්තේ උයිගර්වරුන් රඳවාගෙන සිටින බවට වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. ත‍්‍රස්තවාදය වැළැක්වීම සහ ඉස්ලාමීය අන්තවාදය මුලිනුපුටා දැමීම සඳහා මර්දනය අවශ්‍ය බවත්, ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී රැඳවියන් පුනරුත්ථාපනය කිරීම සඳහා කඳවුරු ඵලදායී මෙවලමක් බවත් චීනය පවසා තිබේ.
බෝම්බ පිපිරීම්, කඩාකප්පල් කිරීම් සහ ප්‍රජා නොසන්සුන්තා ඇතිකිරීමට කුමන්ත්‍රණය කරමින් උයිගර් සටන්කාමීන් ස්වාධීන රාජ්‍යයක් සඳහා ප්‍රචණ්ඩකාරී ව්‍යාපාරයක් දියත් කරන බව චීනය සඳහන් කර ඇත.
මහා පරිමාණ වන්ධ්‍යකරණය මගින් උයිගර් ජනගහනය අඩු කිරීමට උත්සාහ කරන බවට වන චෝදනා චීනය ප්‍රතික්ෂේප කර ඇති අතර, බලහත්කාර කම්කරු සේවය පිළිබඳ චෝදනා ‘මුළුමනින්ම ගොතන ලද’ ඒවා බව චීනය පවසයි.
යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවලියේ මෙසේ ද දැක්වෙයි.
  • චීන බලධාරීන් විසින් පනවා ඇති පදනම් විරහිත හා අත්තනෝමතික සම්බාධක කතා කිරීමේ නිදහසට, අධ්‍යයනයේ නිදහසට සහ විශ්වීය මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර කැපවීම සහ අවබෝධයට කරන ලද පහරදීමකි. මෙම අසාධාරණ සම්බාධක ඉවත් කරන ලෙස චීන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී;
  • මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, එහි මානව හිමිකම් පිළිබඳ අනුකමිටුව සහ චීන සම්බාධකවලින් පීඩාවට පත් අනෙකුත් සියලුම පුද්ගලයන් සහ ආයතන සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරයි. එනම් යුරෝපා සංගමයේ දේශපාලන හා ආරක්ෂක කමිටුව, ජාතික පාර්ලිමේන්තුවල සාමාජිකයන්, ස්වීඩන් හා ජර්මනියේ සහ ඩෙන්මාර්කයේ ජර්මානු ශාස්ත්‍රඥයන් සහ බුද්ධි මණ්ඩල සමග සහයෝගයෙන් කටයුතු කරයි. සම්බාධක මගින් ඉලක්ක කර ඇති යුරෝපා සංගම් නොවන රටවල මන්ත්‍රීවරුන් වෙනුවෙන් (එක්සත් රාජධානිය, කැනඩාව, එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල) පූර්ණ සහයෝගීතාව ප්‍රකාශ කරයි;
  • මූලික නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා නිදහස් සහභාගීත්වය, අධ්‍යයන නිදහස සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම අපගේ ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු බවත්, යුරෝපා-චීන සබඳතාවලදී මෙම සාරධර්ම කිසිවිටෙකත් සම්මුතියකට ලක්නොවන බවත් යළිත් තහවුරු කරයි. මෙම බියගැන්වීමේ උත්සාහයන් නිෂ්ඵල බවත්, යුරෝපීය පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් වශයෙන්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අපි ක්‍රියාශීලීව හා කිසිදු බාධාවකින් තොරව හෙළා දකිමින් කටයුතු කරන බවත්, යුරෝපා සංගමයේ සියලු බාහිර ප්‍රතිපත්තිවල හරය තුළ මානව හිමිකම්වලට ගරු කරන ලෙසත් යුරෝපා සංගමයට බලකර සිටිමු. චීනයෙන් එල්ල වන මෙම ප්‍රහාර යුරෝපා සංගම්-චීන සබඳතාවල පද්ධතිමය එදිරිවාදිකමක ප්‍රකාශනයක් ලෙස සලකයි;
  • යුරෝපා සංගමයේ සහ එහි සාමාජික රටවල ප්‍රජාතන්ත්‍රවාදී ජීවිත රටාවට ඇඟිලි ගැසීමට හා ප්‍රසිද්ධියේ වැරදි තොරතුරු පතුරුවා හැරීමට චීන රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් ගත් මෙම නව උත්සාහයන් සහ මීට පෙර දැරූ උත්සාහයන් දැඩි ලෙස හෙළා දකී. මෙම සම්බාධක, චීනය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම අවහිර කිරීමට සහ ගෝලීය වශයෙන් කුමන ආකාරයේ එවන් අදහස් ප්‍රකාශ කිරීමකට සහ සාකච්ඡාවකට ඉඩ දිය යුතුද යන්න තීරණය කිරීමේ උත්සාහයක කොටසක් ලෙස සලකන අතර, මෙම උත්සාහය ඒකාධිපති තර්ජනයක කොටසක් ලෙස දකී;
  • චීනය මූලික හා මානව අයිතිවාසිකම්, මානව ගරුත්වය, සංස්කෘතික අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ආගමික විශ්වාසයන් හා කතා කිරීමේ නිදහස සහ සාමකාමී රැස්වීම වැනි විවිධ අයිතීන් උල්ලංඝනය කිරීම සහ උයිගර් ජනතාව, ටිබෙට් ජාතිකයන්, මොන්ගෝලියානුවන්, අනෙකුත් ජනවාර්ගික සුළුතරයන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන්, සමාජ ක්‍රියාකාරීන්, ආගමික කණ්ඩායම්, මාධ්‍යවේදීන්, අසාධාරණයන්ට එරෙහිව කටයුතු කරන පෙත්සම්කරුවන් සහ විරෝධතාකරුවන්ට පද්ධතිමය වශයෙන් හිංසා පීඩා කිරීම (විශේෂයෙන් හොංකොං හි විරුද්ධවාදීන්ගේ හඬවල්වලට එරෙහිව දිනෙන්-දින ඉහළ යන මර්දනය) පිළිබඳ බරපතල ලෙස අවධානය යොමු කරයි.
  • ෂින්ජියැන් හි උල්ලංඝනය කිරීම් මානව වර්ගයාට එරෙහි අපරාධවලට සමාන වන අතර, එවැනි අපරාධ පිළිබඳ වැඩි-වැඩියෙන් සාක්ෂි ඉස්මතු කරයි; ෂින්ජියැන් පිළිබඳ ස්වාධීන එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයක් සඳහා ප්‍රමාණවත් ජාත්‍යන්තර සහයෝගයක් ලබාගැනීමට දරන උත්සාහයන් වැඩි කරන්නැයි යුරෝපා සංගමයෙන් සහ එහි සාමාජික රටවලින් ඉල්ලා සිටී; එබැවින් චීනයේ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට වගකිව යුතු චීන පුද්ගලයන් සිව්දෙනෙකු සහ එක් ආයතනයක් යුරෝපා සංගම් ගෝලීය මානව හිමිකම් සම්බාධක රෙජීමය යටතේ ලැයිස්තුගත කිරීම සාදරයෙන් පිළිගනී; කොමිසමෙන්, කවුන්සිලයෙන් සහ සාමාජික රටවලින් ඉල්ලා සිටින්නේ, ෂින්ජියැන් හි සහ ටිබෙට් වැනි වෙනත් ස්ථානවල කඳවුරු වසා දැමීමටත් සියලුම මානව හිමිකම් උල්ලංඝනයන් අවසන් කිරීමටත් චීන රජයට බල කිරීමට හැකි සියලු ක්‍රියාමාර්ග (වි⁣ශේෂයෙන් ආර්ථික වශයෙන්) ගන්නා ලෙසයි.
  • චීනය ෂින්ජියැන් සමඟ සැපයුම් සබඳතා කපා හැරීමට තීරණය කිරීම සහ ෂින්ජියැන් හි බලහත්කාරයෙන් කම්කරුවන් සේවයේ යෙදවීම පිළිබඳ වාර්තා ගැන කනස්සල්ල පළකිරීමෙන් පසු ජාත්‍යන්තර සමාගම් කිහිපයක්, විශේෂයෙන් ඇඟලුම් හා රෙදිපිළි අංශය පුළුල් තහනමකට ලක්වීම ගැන කනගාටුව පළ කරන අතර, චීන රජය විසින් ඔවුන්ට එරෙහිව ගෙන යන ආක්‍රමණශීලී දේශපාලන බලහත්කාරය දැඩි ලෙස හෙළා දකී ;
  • ආයෝජන පිළිබඳ යුරෝපා-චීන විස්තීර්ණ ගිවිසුම (CAI) යුරෝපීය පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම ඇතුළු ඒ පිළිබඳ ඕනෑම සාකච්ඡාවක් චීන සම්බාධක පැනවීම හේතුවෙන් යුක්ති සහගත ලෙස අත්හිටුවන බවට වන ස්ථාවරයක සිටී; ගිවිසුම සලකා බැලීමට නම් ඊට පෙර චීනය සම්බාධක ඉවත් කළ යුතු බවට ඉල්ලා සිටී; චීනයේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ චීනයේ සිවිල් සමාජයට දක්වන සහයෝගය වැඩි දියුණු කිරීම සඳහා ගිවිසුම වටා ඇති විවාදය උපයෝගී කර ගන්නා ලෙස කොමිසමෙන් ඉල්ලා සිටින අතර, පාර්ලිමේන්තුව ගිවිසුම අනුමත කරන අවස්ථාවේදී  හොංකොං ඇතුළු චීනයේ මානව හිමිකම් තත්ත්වය සැලකිල්ලට ගන්නා බව කොමිසමට මතක් කර දෙයි;
  • බලහත්කාර ශ්‍රමය පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (අයිඑල්ඕ) සම්මුතිය අංක 29, බලහත්කාරයෙන් ශ්‍රමය අහෝසි කිරීම පිළිබඳ 105 සම්මුතිය, සමාගමේ නිදහස සහ සංවිධානය වීමේ අයිතිය ආරක්ෂා කිරීම පිළිබඳ 87 සම්මුතිය සහ සංවිධානය වීමේ අයිතිය සහ  සාමූහික කේවල් කිරීම සඳහා වන 98 සම්මුතිය අනුමත කර ක්‍රියාත්මක කරන ලෙස චීන රජයෙන් ඉල්ලා සිටී ;  සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම අනුමත කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටී.
Previous articleජීවත් වීමේ අයිතිය සහ අකුරුවලට ඇති භීතිය !
Next articleහමුදාපතිගේ බොරුවේ පදනම පැහැදිලි නෑ : අපි කියන්න ඕන හැමතැනටම කියලා තියෙන්නෙ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here