ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත ඇමතිට ලබාදී ඇත්තේ ආරක්ෂක කවුන්සිලයේදී

(තරිඳු ජයවර්ධන)
ආන්දෝලනාත්මක මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතාවය පිළිබද පනත් කෙටුම්පත මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත බාර දී ඇත්තේ ආවරණ ලිපියක් හෝ රහිතව ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී බව හෙළිදරව් විය.
මේ බව හෙළිදරව් වනුයේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ කළ ඉල්ලීමකට අනුව මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ තොරතුරුවලිනි.
ආරක්ෂක අමාත්‍යංශයේ පැවැත්වුණු ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී 2022 මාර්තු මස 21 හෝ ඊට ආසන්න දිනකදී ඉදිරි වැඩකටයුතු කරගෙන යන ලෙස දන්වමින් මෙම පනත් කෙටුම්පත මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත බාර දී ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි. 2022 මාර්තු මාසය යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ රැසක් දිවයින පුරා පැවැත්වෙන කාලවානුවක් වන අතර 2022 අප්‍රේල් මස මුල් සතියේ එම උද්ඝෝෂණ රැල්ල පාලනය කිරීම සඳහා රජය විසින් සමාජ මාධ්‍යවලට පිවිසීම නීති විරෝධීව අවහිර කිරීම ද සිදු විය.
‘අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය සහ හැසිරීම් මගින් ආරක්ෂා වීමේ පනත් කෙටුම්පත‘ මැයෙන් 2021 අප්‍රේල් මස 21 වැනිදා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි විසින් මීට අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ලැබුණු කැබිනට් අනුමැති අනුව සකස් කරන ලද කෙටුම්පත 2023 මැයි මස 30 වැනිදා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන අතර විද්‍යුත් මාධ්‍ය සඳහා වන විකාශන අධිකාරීය පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා එම අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ තොරතුරුවල සදහන් වේ.
කෙසේ වෙතත් විද්‍යුත් විකාශන අධිකාරී පනත් කෙටුම්පත ප්‍රමාදවීම හේතුවෙන් අගෝස්තු මස 29 වැනිදා යලිත් වරක් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතබව පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අනුමැතිය ඉල්ලා තිබේ. ඒ අනුව ලැබුණු අනුමැතිය පරිදි ගැසට් පත්‍රයේ පළ කර පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත සමාජයේ දැඩි කතාබහකට ලක්විය.
මෑත ඉතිහාසයේ පනත් කෙටුම්පතකට  එරෙහිව ලැබුණු වැඩිම පෙත්සම් සංඛ්‍යාව ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබුණේ ද මෙම පනත් කෙටුම්පතට එරෙහිවය.
තොරතුරු පනත අනුව තොරතුරු ලබා දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම පනත් කෙටුම්පත සකස් කිරීමට අදාලව කමිටු පත්කිරීම ඇතුළු තොරතුරු ඇත්තේ අධිකරණ අමාත්‍යංශයේ බවයි.
මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට සහ එය පාර්ලිමේන්තුවෙන් පැනවීමට හැකි බවට නීතිපතිවරයා 2023 මැයි 24 දින අංක බී /04/2022 දරණ ලිපියෙන් සහතිකයක් නිකුත් කර ඇති හෙයින් මෙම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ටිරාන් අලස් අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවෙල් ඉල්ලා තිබුණ ද පනත් කෙටුම්පත අධිකරණයේදී අභියෝගයට ලක් කළ අවස්ථාවේදී නීතිපතිවරයා විසින්ම සංශෝධන 30කට වැඩි ප්‍රමාණයක් ඊට ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

 

Previous articleසනත් නිශාන්තගේ ගමන් තහනම ඉවත් නොකරයි ; මහාධිකරණ තීන්දුව අභියාචනාධිකරණයත් ස්ථිර කරයි
Next articleඅලස්-දේශබන්දු දෙන්නාත් තෝරාගෙන ඇත්තේ කුඩු සැකකරුවන් වෙනුවෙනුත් පෙනී සිටි නීතිඥවරුන්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here