ලෝකයේ හුදෙකලාව ජීවත්වෙන්න අපිට බැහැ – මානව හිමිකම් කොමිසමේ සභාපති ජගත් බාලසූරිය

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ලෙස ආචාර්ය ජගත් බාලසූරිය මහතා පත්කර ඇති අතර, ඔහු මීට පෙර කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස මෙන්ම ආණ්ඩුකාරවරයෙක් ලෙසද කටයුතු කර ඇත. ආණ්ඩුවේ ප්‍රධානීන් සමග සමීප සම්බන්ධතාවක් ඇති ඔහු, මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වී තිබේ.
මානව හිමිකම් පිළිබඳ ඔබේ දැක්ම කෙබඳුද?
මානව හිමිකම් පිළිබඳ මට අත්දැකීම් තියෙනවා. මම දේශපාලනඥයෙක් හැටියට මිනිසුන්ගෙ දුක්-කරදර සියල්ල හොඳින් අධ්‍යයනය කරනවා. ඇතැම් විට ඒ දුකත් සමග තමයි අපිට ජීවත්වෙන්න සිදුවෙලා තියෙන්නෙ. මොකද නිතරම අපිට අහන්න ලැබෙන්නෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්න. 1988-89 භීෂණ යුගයෙදි මම විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධුරයෙන් ඉවත්වෙලා ජීවත්වීමේ මාර්ගයක් ලෙස නීති වෘත්තියට පිවිසුණා. භීෂණ යුගය කියන්නෙ මානව හිමිකම් අමු-අමුවේ උල්ලංඝනය කළ යුගයක්. ඒ කාලෙ ත්‍රස්තවාදී මර්දන පනත යටතේ තිබුණු නඩුවලට මම පෙනී හිටියා. ඒ කාලෙ කෑගල්ල මහාධිකරණයේ වැඩිම නඩු ප්‍රමාණයක් කතා කළේ මම. නමුත් මම සල්ලි ගත්තෙ නැහැ. ඒ තුළින් අපි දැනගත්තා මිනිස්සුන්ගෙ මානව අයිතිවාසිකම් වෙනුවෙන් අපි ඉදිරිපත්විය යුතුයි කියලා.
මානව හිමිකම් කොමිෂන් සභාව රටකට, එහි පුරවැසියන්ට වැදගත් වෙන්නෙ ඇයි?
මානව හිමිකම් කියන්නෙ පරමාදර්ශයක්. ඉතාම උතුම් ප්‍රතිපත්තියක්. ආගම්වලත් පරමාදර්ශ විශාල ප්‍රමාණයක් හමුවෙනවා. නමුත් ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ නැහැ කියලා අපි දන්නවා. ඒ වගේ මානව හිමිකම් ගැන අපි කවුරුත් කතා කළත්, රජයයන් ඒ ගැන කතා කළත් ඒක ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන්නෙ නැහැ. ඒකට විවිධ හේතු තියෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ලේකම්වරයෙක් වරක් පවසා තිබුණා, ලෝකය තුළ දුගීභාවය, ලෝකයේ තිබෙන අසමතුලිතතාව, වෙනස් කොට සැලකීම්, යුද ගැටුම්, ප්‍රජාතන්ත්‍රවාදයේ දුර්වලකම්, දුර්වල ආයතන ආදිය නිසා මානව හිමිකම් නිසියාකාරව ක්‍රියාත්මක වෙන්නෙ නැහැ කියලා. මානව හිමිකම් පිළිබඳ ඇත්ත තත්ත්වය එයයි. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය අපි හැමෝම පිළිගෙන තිබෙනවා. නමුත් එයට නීත්‍යනුකූල බැඳීමක් නැහැ. ඒ වගේම ලෝකයේ රටවල් විශාල ගණනක මාධ්‍ය මර්දනය සිදු වෙනවා. උතුම් පරමාදර්ශයක් තිබුණත් එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ නැහැ කියන දේ මෙවැනි කාරණාවලින් අපිට පෙනී යනවා.
මානව හිමිකම් කොමිෂන් සභාව ගැන කතාකරද්දි අපිට නිළධාරි හිඟයක් තියෙනවා. ඒ වගේම විමර්ශන අවසන් නොකරපු පැමිණිලි රාශියක් තියෙනවා. අසරණ පුද්ගලයෙක් තමන්ගෙ ගැටළුව ගැන මානව හිමිකම් කොමිසමට කියලා ඒකත් ඉෂ්ඨ වෙන්නෙ නැත්නම් එතැනදිම මානව හිමිකම් බිඳ වැටිලා. සම්පත් හිඟය තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය. මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන කාර්යාලයට අමතරව තවත් ශාඛා කාර්යාල දහයක් තියෙනවා. මෙම කාර්යාල ගණන වැඩි කරන්න කියලා බොහෝදෙනා ඉල්ලීම් කරනවා. නමුත් ඒ සඳහා අපිට සම්පත් නැහැ. සෑම දිස්ත්‍රික්කයකටම එක බැගින් මානව හිමිකම් කාර්යාල පිහිටුවන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. කොහොම වුණත් අවසන් නොකරන ලද විමර්ශන ඉක්මනින් අවසන් කරන එකයි අපේ මූලික අරමුණ.
ඔබේ පුතා රාජ්‍ය ඇමතිවරයෙක්, ඔබේ බිරිඳ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය. එහෙම තත්ත්වයක් තුළ ඔබට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්ද?
මූලික වශයෙන් මෙතැනදි මතුවෙන්නෙ පුද්ගලයෙක් තුළ තියෙන බුද්ධිමය සහ ආකල්පමය ප්‍රශ්නයක්. පවුල් සම්බන්ධතාව නිසා මෙහි කටයුතු උල්ලංඝනයක් වෙයිද කියලා විවිධ පුද්ගලයන්ට විවිධ අර්ථකතන ලබාදෙන්න පුළුවන්. ලාංකික සමාජයේ අනෙකුත් ක්ෂේත්‍ර දිහා බැලුවත් මේ තත්ත්වය හැමතැනම තියෙනවා. නමුත් මම ඒක හොඳයි කියන්නෙ නැහැ.
මම ක්‍රියාකාරී දේශපාලනඥයෙක්. ඒ වගේම මම විශ්වවිද්‍යාලයේ උගන්වපු පුද්ගලයෙක්. මම දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගිය කෙනෙක්. ජනාධිපතිතුමා මේ පත්වීම කරන කොට මේ විශ්‍රාම යෑම සම්බන්ධයෙන් සලකන්න ඇති කියලා මම හිතනවා.
මගේ පුතා දේශපාලනයේ ඉන්න බව සැබෑවක්. නමුත් ඔහු තරග කරලයි මන්ත්‍රී ධුරයට පැමිණියේ. ජනතාව ඔහුට ඡන්දය දීලා තියෙනවා. එයා මගේ දරුවෙක් වීම නිසාම දේශපාලනය කිරීමට අයිතියක් තියෙනවද, නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්.
මගේ බිරිඳ ඔහුගේ ලේකම් කෙනෙක් හැටියට වැඩ කරනවා. එයත් විවිධාකරයෙන් අර්ථකතනය කරන්න පුළුවන්. ඇයට ඉංග්‍රීසි සහ සිංහල භාෂා පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා. ඒ වගේම ආණ්ඩුකාරවරයෙක් හැටියට කටයුතු කරලා තියෙන නිසා රාජ්‍ය පරිපාලන නීති සහ රෙගුලාසි සියල්ලම ඇය හොඳට දන්නවා. මේ රටේ දේශපාලනඥයන්ගෙ බිරින්දෑවරු, දූවරු, පුතුන්, ඥාතීන් කීදෙනක් පෞද්ගලික ලේකම් ධුර දරනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඒක හොඳයි කියලා මම කියන්නෙ නැහැ. නමුත් පෞද්ගලික ලේකම්වරයෙක් ලෙස තමන්ට විශ්වාසවන්ත පුද්ගලයෙක් තබාගැනීම හොඳයි. ආසන්නම පවුලේ කෙනෙක් තනතුරු දැරීම සුදුසු නැහැ කියලා රජය තීරණයක් ගත්තොත් කවුරුත් මෙය කරන්නෙ නැති වෙයි. කොහොම වුණත් මේ ප්‍රශ්නය පුද්ගලයා මත තීරණය වෙන දෙයක්. සාධාරණව, යුක්තිසහගතව පුද්ගලයෙක් ඉන්නවා නම් මධ්‍යස්ථ ස්වරූපයෙන් කටයුතු කරන්න පුළුවන්. එහෙම නොකරනවා නම් ඒක සුදුසු නොවෙන්න පුළුවන්.
ආණ්ඩුවෙ පාර්ශ්ව බොහොමයක් කියනවා, මානව හිමිකම් කියන්නෙ විදේශ උපක්‍රමයක් කියලා. ඔබේ පුතා පවා ඇමැති ධුරයේ වැඩභාරගන්නා විට එසේ පැවසුවා. මේ සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?
මානව හිමිකම් කියන දේ වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන බොහෝදුරට මැදිහත් වෙනවා. අවංකවම මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් මැදිහත් වෙන රාජ්‍ය නොවන සංවිධානත් තියෙනවා. විදේශ අතකොළු වශයෙන් කටයුතු කරන සංවිධානත් තියෙනවා. යම්කිසි රටක රාජ්‍ය ව්‍යුහය කඩාදැමීමේ අරමුණෙන් කවුරුන් හෝ ක්‍රියාත්මක වෙනවා නම් එයට ඉඩ නොදිය යුතුයි. ඉන්දියාවෙ වුණත් රාජ්‍ය නොවන සංවිධානවල යම්-යම් සීමා තියෙනවා. නමුත් ලංකාවෙ තවම එවැන්නක් කරලා නැහැ. බොහෝඅය කියන්න හදනවා මානව හිමිකම් කියන්නෙ බටහිර කේන්ද්‍ර කරගත් සංකල්පයක් කියලා. ලෝක බල දේශපාලනය ගැන කතා කරද්දි ප්‍රධාන ජාතීන් සියල්ලම බලපෑම් කරන බව අපි දන්නවා. ඇමරිකාව පමණක් නෙමෙයි, චීනයත් බලපෑම් කරනවා. ලෝකයේ ස්වභාවය එයයි. ලෝකයේ හුදෙකලාව ජීවත්වෙන්නත් අපට බැහැ. තුන්වැනි ලෝකයේ රටක් හැටියට මේ සියල්ලන්ගෙම සහයෝගයෙන් තමයි අපිට ඉදිරියට යන්න සිදුවෙලා තියෙන්නෙ.
හිටපු ඇමතිවරයෙක්, ආණ්ඩුව සමග සමීප සම්බන්ධතා පවත්වන පුද්ගලයෙක් විදිහට මානව හිමිකම් කොමිෂන් සභාවෙදි පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන්ද?
පුරවැසියන්ගෙ සුබසිද්ධිය සඳහා මූලික වශයෙන් තියෙන පරමාදර්ශයක් අපිට ක්‍රියාත්මක කරන්න බැරි නම්, අපි මෙතැන ඉන්න එකේ තේරුමක් නැහැ. යම් කෙනෙක් ඔහුගේ දුක්ගැනවිල්ලක් කියලා තියෙනවා නම්, ඔහුට අසාධාරණයක් වෙලා තියෙනවා නම් අපි ඒකට මැදිහත් වෙනවා. උදාහරණයක් විදිහට රිමාන්ඩ් බන්ධනාගාරවලට යන්න අපිට අයිතියක් තියෙනවා. විශේෂයෙන්ම කාන්තා හිංසනය, ළමා හිංසනය වෙනුවෙන් අපිට මැදිහත්වෙන්න පුළුවන්. කුමන දේශපාලන මතයක් තිබුණත් ප්‍රතිපත්තියක් විදිහට වැරැද්ද, වැරැද්දක් විදිහට දකින්න අපිට පුළුවන් විය යුතුයි. අපි ඒ ස්ථාවරයෙ ඉන්නවා. කොමිෂන් සභාවට කිසිම ආකාරයේ බලපෑමක් එන්නෙ නැහැ.
මානව හිමිකම් කොමිෂන් සභාවට ඇමතිවරයෙක් පත්වුණු මුල්ම අවස්ථාව මේක. මේ සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?
මේ සඳහා විශාල විවේචන තිබුණා. මම දේශපාලනඥයෙක්. 1977 ඡන්දෙට තරග කළාට පස්සෙ මම නියෝජ්‍ය ඇමතිවරයෙක් ලෙස, කැබිනට් ඇමතිවරයෙක් ලෙස කටයුතු කළා. ආණ්ඩුකාරවරයෙක් ලෙස කටයුතු කළා. මේ විදිහට මම දීර්ඝ කාලයක් දේශපාලනයේ යෙදී සිටිනවා. පක්ෂග්‍රාහීව ක්‍රියා නොකරන්න පුද්ගලයෙක් තුළ මානව භක්තියක් තියෙනවා නම් ඒක වැදගත් වෙනවා. මම මගේ හොරණෑව වාදනය කරගන්නවා නෙමෙයි. මම කිසිම දවසක ප්‍රචණ්ඩ දේශපාලනයක් කරලා නැහැ. පගා අරගෙන නැහැ. දූෂිත වැඩ කරලා නැහැ. ඒ නිසා මට පරමාදර්ශීව කටයුතු කරන්න පුළුවන්. නමුත් ඒක පුද්ගලයන්ගෙන් පුද්ගලයට ඒක වෙනස් වෙනවා.
මහර බන්ධනාගාරයේ සිදුවීම ඔබ දකින්නේ කෙසේද?
සිදුවීම සම්බන්ධයෙන් කොමිසමක් පත්කරලා වාර්තාවක් දුන්නා. වාර්තාවේ විවිධ හේතු කියලා තියෙනවා. වෙඩි තැබීමක් වුණා කියලා තියෙනවා. මේ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැනත් මේ වාර්තාවෙම සඳහන් වෙනවා. ලංකාවෙ බන්ධනාගාරවල අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්න බව දකින්න තියෙන කාරණයක්. එහෙම වුණාම සිරකරුවන් පාලනය කරන්න බැහැ. කොවිඩ් සමග එය පාලනය කරන්න බැරි වුණා. ඒකයි එහෙම දෙයක් සිදුවෙන්න ඇත්තෙ. මේ ලබාදුන් වාර්තාවෙ කරුණු ක්‍රියාත්මක කිරීමයි කළ යුත්තෙ.
කොවිඩ් වැළඳී මියයන දේහයන් භූමදානය හෝ ආදාහනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප්‍රකාශ කර තියෙනවා. නමුත් ලංකාවෙ එය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. මානව හිමිකම් කොමිසම පවා මේ සම්බන්ධයෙන් නිර්දේශයක් ලබාදුන්නා. නමුත් එය තවමත් ක්‍රියාක්මක වෙන්නෙ නැහැ…?
අපි පත්වෙන්න කලින් එහෙම නිර්දේශ දීලා තිබුණෙ. මේක ආගමික සංකල්පයක්. වෛද්‍ය විශේෂඥයන්ගෙ තීරණ මත අපේ රටේ තීන්දු ගත යුතුයි. භූමදානය කළත්, ආදාහනය කළත් ප්‍රශ්නයක් නැහැ කියල ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙනවා. නමුත් එය රටකට අදාළ වෙන්නෙ විශේෂඥ මණ්ඩලයක් ගන්නා තීන්දු අනුව. රටක පොදු නීතියක් තිබිය යුතුයි. මීට සමාන සම්ප්‍රදායක් උඩරට මිනිස්සුන්ගෙත් තියෙනවා. මව සහ පියා ජීවත්ව ඉන්න විට දරුවෙකු මියගියොත් ඒ දේහය භූමදානය කළ යුතුයි, ආදාහනය කරන්නෙ නැහැ කියලා ඔවුන්ගෙ සම්ප්‍රදායක් තියෙනවා. එහෙනම් මුස්ලිම් ජනතාවටත් රටේ කොටසක් හැටියට ඔවුන්ගෙ සම්ප්‍රදාය වත්-පිළිවෙත් වෙනුවෙන් පෙනී ඉන්න අයිතියක් තියෙනවා. කොහොම වුණත් රටේ පොදු නීතියක් තීබීම හොඳයි.
ජාතීන් අතර යම්-යම් ආරවුල් ඇතිවන, ඇති කරන බවක් පෙනෙන්නට තිබෙනවා. ඒවා වළක්වන්න කොමිසම ලෙස ඔබ මැදිහත්වෙන්නෙ කොහොමද?
ජාතීන් අතර ගැටුම් ආරම්භ වෙනවා කියලා දැනුණු ගමන් අපි මැදහත් විය යුතුයි. එහෙම නැතිවුණොත්විශාල අර්බුද කරා එය ගමන් කරනවා. ආසන්නතම සිදුවීම යාපනය විශ්වවිද්‍යාලයේ තිබුණු ස්මාරකයක් කඩා දැමීම. දැන් ඒක ආපහු හදන්න පටන් අරගෙන. එක්තරා ආකාරයකින් ඔවුන්, ඔවුන්ගෙ වීරයො කියලා පිරිසක් පිළිගන්නවා නම් අපි කොච්චර නීතී දැම්මත් ඔවුන්ට ඒක කරන්න පුළුවන්. ගෙයක්-ගෙයක් ගාණෙ ස්මාරක හදන්න පටන් ගත්තොත් අපි මොකද කරන්නෙ. ඒවා කඩලා දාන්නද. එහෙම නැත්නම් ගෙයක්-ගෙයක් ගාණෙ පොලිසිය දාන්නද. හැබැයි අපි මේ ගැන සුහදව සාකච්ඡා කරනවා නම් විසඳුමකට එන්න පුළුවන් වෙයි. මෙවැනි ප්‍රශ්නවලදි සංවාදය හරිම වැදගත්. මේවා මරාගන්න ඕනේ ප්‍රශ්න නෙමෙයි. අපි පන්සල්-කෝවිල් දෙකටම යනවා. හැබැයි මිනිස්සු ගහගන්නවා.
Previous articleනීතිපති ස්ථාවරය දැනුම් දී දින 2න් පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් !
Next articleආණ්ඩුව – විපක්ෂය එක පාරක : ජනපති සැක ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here