Home පුවත් නීතිපති ස්ථාවරය දැනුම් දී දින 2න් පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් !

නීතිපති ස්ථාවරය දැනුම් දී දින 2න් පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් !

0
නීතිපති ස්ථාවරය දැනුම් දී දින 2න් පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් !
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවෙන් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් කෙරිණි.
පිල්ලෙයාන්ට අමතරව මේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි ටීඑම්වීපී පක්ෂයේ ප්‍රධානීන් දෙදෙනෙකු වන එඩ්වින් ක්‍රිෂ්ණ නන්දරාජා නොහොත් ප්‍රදීප් මාස්ටර් සහ රංගසාමි කනගනායගම් නොහොත් ගජන් මාමා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ද නිදෙස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණ විනිසුරු එස්.සුසෙයිදාසන් අද (13) නියෝග කළේය. පසුගිය 11 දා මේ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් අධිකරණයට දැනුම් දී තිබුණේ නඩුව ඉදිරියට ගෙන යෑමේ අපේක්ෂාවක් නොමැති බවයි. ඒ අනුව මෙහි තීන්දුව ලබාදීම අද දිනට කල් දැමිණි.
2005 දෙසැම්බර් 25 වැනි දින අලුයම 1.20 ට පමණ මඩකලපුව මධ්‍යම පාරේ ශාන්ත මරියා දේවස්ථානයේ පවත්වන ලද විශේෂ නත්තල් දේව මෙහෙයට සහභාගි වී සිටි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම්ට නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා පළාගොස් තිබිණි. මෙම වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාගේ බිරිඳ වන සුගුනම් පරරාජසිංහම් සහ සිවිල් වැසියන් 07 දෙනෙකු තුවාල ලැබීය.
මේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් 2015 ඔක්තෝබර් 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනිණි. 2020 නොවැම්බර් 24 වැනිදා ඔහු ඇප මත මුදාහැරිණි. ඇප ලැබීමට පෙර රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී මන්ත්‍රී ධුරයේ දිව්රුම් දුන් පිල්ලෙයාන්ට නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී කතා කිරීමේ අවස්ථාව ලැබිණි. ඒ පක්ෂ නායකයෙකු ලෙස ය. එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ තමන් ඉදිරියේදී කොන්දේසි විරහිතව වර්තමාන ආණ්ඩුවට සහයෝගය ලබාදෙන බවයි.
මේ කතාවෙන් පසු අධිකරණයෙන් ඇප ලැබීමටත් පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන්ව මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා වශයෙන් පත්කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ කටයුතු කර තිබිණි. ඊට අදාළ පත්වීම් ලිපිය පසුගිය නොවැම්බර් 22 දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගමැති මහින්ද රාජපක්ෂ විසින් පිල්ලෙයාන් වෙත බාරදුන් බව මාධ්‍ය වාර්තා කළේය. දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන නිලධාරීන් කැඳවා ගැටළු සාකච්ඡා කිරීම සහ ඒවා විසඳීමට අදාළ නියෝග නිකුත් කිරීමේ බලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ප්‍රධානීන් සතු ය.
නොවැම්බර් 24 දා මන්ත්‍රීවරයාට ඇප ලැබීමෙන් පසු ඔහුගේ දේශපාලන ප්‍රචාරක කටයුත්තක් සඳහා පාසල් ළමුන් යොදාගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය. මන්ත්‍රීවරයා පිළිගැනීමේ උත්සවයකට කල්කුඩාහි පංචන්කර්නි විදුහලේ සිසුන් පාසල් නිල ඇඳුමෙන් මෙසේ සහභාගි කරගෙන තිබුණේ පසුගිය දෙසැම්බර් 07 දා ය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා පාසල් සිසුන් සහභාගි කරගැනීම වරදක් බවයි. යම් කටයුත්තකට එසේ පාසල් ළමුන් සහභාගි කරගන්නේ නම් ඊට අධ්‍යාපන බලධාරීන්ගෙන් අවසර ලබාගත යුතුයැයි ද පැවසූ ලේකම්වරයා, කවර තත්ත්වයක් යටතේ වුවද දේශපාලන ප්‍රචාරක කටයුතුවලට සිසුන් සහභාගි කර ගැනීමට නොහැකි බව ද සඳහන් කළේය. මේ සිද්ධිය බරපතළ විවේචනයට ලක්වුවද, මන්ත්‍රීවරයාට හෝ අදාළ උත්සවයේ සංවිධායකවරුන්ට හෝ අදාළ පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනුණේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here