මානසික රෝගියකුටත් පොලිසිය දස වද දීලා ; ඕඅයිසී හා ඒඑස්පීත් දැනුම්වත්

(තරිඳු ජයවර්ධන)
ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ දිනවල දියත් කර ඇති ‘යුක්තිය‘ මෙහෙයුම යටතේ ‘සොර බඩු ළඟ තබා ගත්තේයැයි‘ කියමින් කිසිම පැමිණිල්ලක් නැතිව මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පහරදී අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කරවා ඇති සිද්ධියෙන් MediaLK වෙත පොළොන්නරුවෙන් වාර්තා වේ.
පොලොන්නරුව අරලගංවිල පිඹුරත්තෑවේ පදිංචි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන පහර දී ඇත්තේ අරලගංවිල පොලිසියට වන අතර ඒ පිළිබඳව සිද්ධිය වූ දිනයේම පවුලේ පිරිස විසින් වැලිකන්ද සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල වෙත දැනුම්දී පසුව ඔහුට ලිඛිතව ද දැනුම් දී තිබේ. කෙසේ වෙතත් මේ වන තෙක් සැකකාර පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන හෝ වැඩ තහනම් කර හෝ නැති බව පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.
වදහිංසාවට ලක්වූ පුද්ගලයාගේ පවුලේ පිරිස් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන්වරයාටත්, ජාතික පොලිස් කොමිෂන් සභාවටත්, උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිටත් ලිඛිතව දැනුම්දී තිබේ.
සිද්ධියට ලක්වූ පුද්ගලයා ප්‍රදේශයේ බයිසිකල් අලුත්වැඩියා කරන ස්ථානයක වැඩ කරන අතර අදාල දිනයේ දී ඔහු වින්කලයේ වැඩට ගොස් ඇති බව ඔහුගේ සහෝදරයා  මානව හිමිකම් කොමිසමට යොමු කළ පැමිණිල්ලේ සඳහන් වේ. ඔහු වින්කලයේ නොමැති බවට තවත් සහෝදරයකු ප්‍රකාශ කළ හෙයින් තමන් ඔහු සොයා ගිය බවත්, තම සහෝදරයාට මහපාරේ දී පොලිසියෙන් පහර දෙනු දුටු බව හා ඔහු මානසික රෝගයකට ප්‍රතිකාර ලබන්නකු බවට ප්‍රකාශ කළ ද එය නොතකා පොලිස් නිලධාරීන් පහර දුන් බවත් ප්‍රදේශවාසියකු ඔහු සමග ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඔහු සොයා පොලිසියට ගිය අවස්ථාවේ අදාල පුද්ගලයා කූඩුවේ සිටි බවත්, තමාට පහර දුන් බව ඔහු ප්‍රකාශ කළ බත්, ඒ වන විට ඔහුගේ හිස දහ දණහිස් තුවාල ලබා ලේ ගලා තිබුණු බවත්, එම ස්ථානයට පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණි බවත්, තම සහෝදරයා ස්ථානාධිපතිට සිද්ධිය විස්තර කළ බවත් මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
‘ඒ වෙලාවේ එස්අයි ලලිත් මහත්තයයි මේ සිද්ධියේ පැමිණිලිකාරයයි එතන හිටියා. ඕඅයිසී මහත්තයා පැමිණිලිකාරයාගෙන් ඇහුවා සිද්ධියට පැමිණිල්ලක් දාලද තියෙන්නේ කියලා. ඒ මනුස්සයා කිව්වා නෑ කියලා. ඒකත් අහගෙන ඕඅයිසී මහත්තයා එස් අයි ලලිත් මහත්තයයි අර පැමිණිලිකාරයයි එක්කරගෙන එතනින් ගියා. ඒත් අයියව හොස්පිටල් දැම්මේ නෑ.‘ යැයි වින්දිත පුද්ගලයාගේ සහෝදරයා වැඩිදුරටත් සඳහන් කරයි.
නැවත පොලිසියෙන් පිටතට පැමිණ සවස 4.00ට 4.30ට පමණ පොලිස් ස්ථානය වෙත යද්දී තම සහෝදරයා කාමරයකට දමා තිබුණු බවත්, උප පොලිස් පරීක්ෂක ලලිත්ද එහි සිටි බවත්, තමා කවුදැයි ඔහු විමසූ බවත්, අනන්‍යතාවය හෙළි කළ පසු, ඉන් පසු බයිසිකලයක් ගැලෙව්වාදැයි අයියාගෙන් විමසන ලෙස දැනුම් දුන් බවත්, තමා බයිසිකලයක් නොගැලවූ බව සහ පුද්ගලයකු පැමිණ කොටස් කිහිපයක් වින්කලයට විකුණු බව ප්‍රකාශ කළ බවත්, එවිට අදාල බයිසිකලය හෝ වෙනත් බයිසිකලයක් ලබා දුනහොත් නඩු නොදා ගොඩිං බේරා දිය හැකි බවට උප පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශ කළ බවත් පැමිණිලිකරු වැඩිදුරටත් කියයි.
‘හවස එහෙනම් එන්න කියලා ගමනක් යන්න තියනවා කියලා ලලිත් මහත්තයා අයියව ආයෙම සිරකූඩුවට දාලා ගියා. ඊට පස්සේ මම ගෙදර ඇවිත් ආයෙම පොලිසියට ගියා. ඒ යනකොටත් අයියව හොස්පිටල් දාලා නෑ. ඊට පස්සේ මමයි මගේ යාළුවෙක් වන මනෝජ් එක්ක පොලොන්නරුවේ එස්එස්පී කාර්යාලයේ ලොකු මහත්තයා හමුවෙලා අයියව හොස්පිටල් දාන්න කියලා ඉල්ලන්න ගියා. ඒ කාර්යාලයේ හිටපු පොලිසියෙ මහත්තයකුට මම විස්තරේ කිව්වා. ඒ මහත්තයා ඒඑස්පී මහත්තයාගේ නම්බරේ දීලා අපට කිව්වා ඒඑස්පී මහත්තයට කාරණේ කියන්න කියලා. මම ඒඑස්පී මහත්තයට එතනදි ඒ වෙලාවෙම කෝල් කරලා කිව්වා. ඒඑස්පී මහත්තයා කිව්වා අරලගංවිල ඕඅයිසී මහත්තයට කෝල් කරලා කියන්නම් අයියව හොස්පිටල් දාන්න කියලා ඔයාලා පොලිසියට ගිහින් බලන්න කිව්වා. අපි ආපහු පොලිසියට එනකොටත් අයියව හොස්පිටල් දාලා නෑ. ඒ නිසා ඕඅයිසී මහත්තයා හම්බවෙන්න කාමරේට ගියා. අපි ඕඅයිසී මහත්තයාගෙන් ඇහුවා තාම අයියා හොස්පිටල් දාන්නැත්තේ ඇයි කියලා. එතකොට වෙලාව රෑ 10ට 10.30ට ඇති. ඕඅයිසී මහත්තයා කිව්වා දැන් යවන්න ලෑස්ති කරලා තියෙන්නේ කියලා.‘
ඉන් අනතුරුව ඔවුන් පොලිසියේ ගේට්ටුව ළඟ බලා සිටියද සහෝදරයා ගෙන යනු නුදුටු බවත්, පසුව බලද්දී වෙනත් ගේට්ටුවකින් සහෝදරයා අරලගංවිල රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඔහුගේ මුත්‍රාශයෙන් ලේ පිටවන බව කියමින් පසුව ඔහු පොලොන්නරුව රෝහලට මාරු කර යවා ඇති බවත් පැමිණිලිකරු සඳහන් කරයි.
ඔහු රෝහලේ සිටියදීම හොර බඩු ළඟ තබා ගැනීම යටතේ ඔහු සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර රිමාන්ඩ් කර ඇති අතර දින 14කට පමණ පසු ඔහුට ඇප හිමිවී තිබේ.
මෙම පහරදීම ගැන වැලිකන්ද සහකාර පොලිස් අධිකාරී වෙත පැමිණිලි කර ඇතත් මේ වන තෙක් වද හිංසා පනත යටතේ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන නැතැයි ද, අඩුතරමේ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර හෝ ස්ථාන මාරු කර හෝ නැතැයි ද දැනගන්නට තිබේ.
සිද්ධියේ වින්දිතයාට යුක්තිය ඉෂ්ඨ කර දීම සඳහා මාධ්‍යවේදී එස් එම් මනෝජ් මහතා වෙහෙස දරමින් සිටින අතර ඔහු ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන සියල්ලටම පාහේ පවුලේ උදවිය පැමිණිලි කර ඇතත් මෙතෙක් යුක්තිය ඉටුවී නැති බවයි.
මෙවැනි වදහිංසා සිදුවීම් දිගින් දිගටම වාර්තා වීම ගැන කළ විමසීමකදී මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අපරාධ මර්දනය කිරීම සඳහා මෙවැනි වදහිංසාව වැනි නීති විරෝධී ක්‍රම අනුමත කරන පිරිස් පොලිසියේ මෙන්ම සමාජයේ ද සිටීම අභියෝගයක් බවයි. වදහිංසාවට වැරදිකරුවකු වූ පොලිස් නිලධාරියකු වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කිරීමට යුක්තිය ඉෂ්ඨ කිරීමට බාධාවක් බව ඒ මහතා සඳහන් කළේය.
‘‘පොලිසියෙ වගේම සමාජයෙත් මතයක් තියෙනවා අපරාධ මර්දනය කරන්න වධහිංසාව වගේ නීති විරෝධී ක්‍රම පාවිච්චි කරාට කමක් නෑ කියල. විමර්ශන කරන්න විද්‍යාත්මක ක්‍රම වෙනුවට වධහිංසාව වගේ නීති විරෝධී ක්‍රම පාවිච්චි කරන එක ෂෝට්කට් එකක් කියල හිතන පොලිස් නිළධාරින් ඉන්න පුලුවන්. මේක ලොකු අභියෝගයක්.
වධහිංසාවට ලක්වෙන අයට මානව හිමිකම් කොමිසම, ශ්‍රෙෂ්ඨාධිකරණය වගේ ආයතන වලින් යුක්තිය ඉෂ්ට කරගන්න හුගක් අමාරුයි. හුගක් කල් යනවා. ඒක තවත් වදයක්, හිසරදයක් වෙනවා. ඒ යාන්ත්‍රන වින්දිතයන් කේන්ද්‍රී (victim centred), වින්දිතයන්ට මිත්‍රශීලි (victim friendly) ඒව නෙමෙයි. වින්දිතයන්ට පැමිණිලි කරන්න, සාක්ශි එකතුකරගන්න, පැමිණිලි විභාග වලට යන්න විශාල කාලයක්,  ශ්‍රමයක් ගත කරන්න වෙනව.
හුගක් වෙලාවට වධහිංසාවට ලක්වෙන අය දුප්පත්, කුලී වැඩ වගේ කරන අය. වධහිංසාව නිසා රැකියා කරන්න බැරි වෙනව. බේත් වලට ලොකු වියදමක් යනව. නඩු දාපුවම, පැමිණිලි කරපුවාම, ඒවල වැඩ වලට ගියාම දවසෙ ආදයම නැතිවෙනවා. ඊට අමතරව ලොකු වියදමක් දරන්න වෙනවා. මානව හිමිකම් කොමිසමට බලය තියෙනවා පැමිණිල්ල කරන්න, ඒකට සහභාගි වෙන්න යන වියදම් වෙනුවෙන් වින්දිතයන්ට ගෙවීමක් කරන්න, ඒත් හුගක් වෙලාවට ඒක වෙන්නෙ නෑ.
ඒත් පොලිසිය වගේ වගඋත්තරකරුවන් මේ නඩු, පැමිණිලි වලට එන්නෙ මහජන මුදලින් පඩි අරන්, රාජකාරි වෙලාවෙ, මහජන මුදලින් නඩත්තු වෙන රාජකාරි වාහනවලින්. මහජන අරමුදල් වලින් නඩත්තු වෙන පොලිසියෙ නීති කොට්ඨාසයේ නිලධාරින්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී ඉන්නව.වලින්.  ඒත් වින්දිතයන්ට නීති සහය ලබාගන්න අමාරුයි. නීති ආධාර කොමිසමෙන් නීති ආධාර ලැබෙන්නෙ නෑ.
මේවගෙ විවිධ හේතුනිසා වදහිංසාව ගැන හුගක් වින්දිතයන් පැමිණිලි කරන්නෙ නෑ. කරත් ඉස්සරහට අරන් යන්න අමාරුයි. මේ යතාර්ථය පොලිසිය දන්නවා.
කලාතුරකින් තමයි ලොකු කැපවීමක් තියෙන වින්දිතයකු පැමිණිලි කරල, නඩු දාලා, හොඳ නඩු තීන්දු එන්නෙ. මේ ළඟදි ආපු හොඳ නඩු තීන්දුවක් තමයි වැඩබලන පොලිස්පති කෙලින්ම වධහිංසාවට සම්බන්ධ වෙලා තියෙනවා කියන ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව. ඒත් වැඩබලන පොලිස්පති  තාම හොඳට තනතුරෙ ඉන්නව, මාධ්‍යටත් හොඳට කතාකරනව, මාධ්‍යවේදීන් එයාගෙන් ඒගැන අහනව මම දැකලත් නෑ. එයාට විරුද්ධව තව හුගක් චෝදනා තියෙනවා. මත්ද්‍රව්‍ය මර්දනයට ඝාතන පවා කරන්න ලෑස්තියි කියල පොලිසිය භාර ඇමතිවරයාත් මාධ්‍ය ඉස්සරහ කිව්ව. ඉතින් ඊට පහලින් ඉන්න පොලිස් නිළධාරින් වදහිංසාව කරන එක නවත්වන්න අමාරුයිනෙ?‘ යැයි රුකී ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
Previous articleමිග් ඩීල් වහගන්න ලසන්ත සහ තවත් අය බිලිගත් හැටි
Next articleත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here