අලස්-දේශබන්දු දෙන්නාත් තෝරාගෙන ඇත්තේ කුඩු සැකකරුවන් වෙනුවෙනුත් පෙනී සිටි නීතිඥවරුන්

ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාව වන ටිරාන් අලස් පසුගිය දිනෙක කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට නීතිඥ ප්‍රජාව අතර ලොකු කතා බහක් ඇතිවී තිබේ. ඔහු චෝදනා කළේ ඇතැම් නීතිඥවරුන් මිලියන, බිලියන ගණන් මුදල් ගෙන කුඩු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවයි. එවැනි නීතිඥවරුන් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වීමට විරුද්ධ බව ද ඔහු කීවේය.
‘දේශබන්දු තෙන්නකෝන්ව පොලිස්පති කරන්න මම කියන වෙලාවේ ඒකට විරුද්ධ වෙච්ච නීතිඥවරු තමයි පස්සේ බලනකොට මිලියන බිලියන ගණන්වලින් සල්ලි අරගෙන කුඩු ජාලයේ ඔක්කොම වෙනුවෙන් පෙනී සිටින්නේ. මං මෙතන නම් කියන්න කැමති නෑ. සමාජ මාධ්‍ය ජාලවල ප්‍රෙස් තියන ලොකු ලෝයර්ස්ලා ඉන්නේ.  ඒ ලෝයර්ස්ලා තමයි ඇපීල් කෝර්ට් එකේ, කොටුව උසාවියෙ එන්නේ අර කුඩුකාරයො වෙනුවෙන්. එතකොට තේරෙනවා මොකක්ද මේකෙ පිටිපස්සේ තියන කතාව කියලා. අපිව මේකෙන් අයින් කර ගන්න ඕන කුඩුකාරයන්ටයි පාතාලයන්ටයි.‘  යැයි ඇමති ප්‍රකාශ කළ බවට ජනමාධ්‍ය වාර්තා කළේය.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විටත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ කොළඹ මහාධිකරණ නීතිඥවරුන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ‍
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණයකින් වැරදිකරුවකු කරනු ලබන තෙක් සෑම තැනැත්තකුම නිර්දෝෂී පුද්ගලයකු ලෙස සැලකියයුතු අතර අධිකරණයෙන් වරදකරුවකු කරනු ලැබූ බරපතල අපරාධකරුවකුට ද මූලික අයිතිවාසිකම්වලට හිමිකම් ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු කිහිපයකදීම තහවුරු කර තිබේ.
ඕනෑම පුද්ගලයකුට තමන් කැමති නීතිඥවරයකුගේ උපදෙස් ලබා ගැනීමට, තමන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමට අවස්ථාව සලසා ගැනීමට හැකියාව ඇති බවත්, නීතිඥවරයකුගේ සහාය ලබා ගැනීම ලංකාවේ නීතියට අනුව වරදක් නොවන බවත්, ඕනෑම සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥවරුන්ට හැකියාව ඇති බවත් නීතිඥවරු ප්‍රකාශ කරති.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා නීතිඥවරුන්ට මෙවැනි චෝදනාවක් කරන්නේ ඔහුගේ සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥවරුන් ලෙස අධිකරණය ඉදිරියේ පෙනී සිටි ඇතැම් නීතිඥවරුන් ද හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවන් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටි පසුබිමක වීම විශේෂත්වයකි.
ගාලුමුවදොර පැවැති ගෝඨාගෝගමට පසුගිය වසරේ මැයි 09 වැනිදා පහරදීම ගැන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති පැමිණිල්ලට අදාලව දේශබන්දු තෙන්නකොන් මහතා වෙනුවෙන් පෙනී සිට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා ඊට පෙර හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයෙකි.
එසේම මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ආ සලිඳු මල්ෂික ගුණරත්න නම් සැකකරුගේ ජීවිතය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඔහුගේ මව අභියාචනාධිකරණයේ ගොනු කළ නඩුකරයට ද පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා වූයේ දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නලීන් ලද්දුවහෙට්ටි මහතාය.
එසේම ටිරාන් අලස් මහතාට එරෙහි ආන්දෝලනාත්මක රාඩා නඩුවේදී ටිරාන් අලස් මහතා වෙනුවෙන් කොළඹ මහාධිකරණයේ පෙනී සිටියේ ද ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතාය.
ජනාධිපති මන්දිරයෙන් හමු රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල් නීත්‍යනුකූල ක්‍රමවේදයෙන් බැහැරව ටිරාන් අලස් අමාත්‍යවරයාට ලබා දෙන ලෙසට කොටුව පොලිස් ස්ථානාධිපතිට බලපෑම් කිරීම සම්බන්ධයෙන් තිබූ පෞද්ගලික නඩුවට එරෙහිව දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණයේ පැවරූ නඩු කරයේ දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් කරුණු දැක්වූයේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාය. ඔහු තෝරාගත් ජනාධිපති නීතිඥවරයා  2021 වසරේදී සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ මව වෙනුවෙන් අභියාචනාධිකරණයේ කරුණු දැක්වූ නීතිඥවරයෙකි. වෙලේ සුදා යනු මන්ත්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයෙකි.
එසේම පසුගියදා මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කළ ටිරාන් අලස් මහතා 2015 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවක ඒ මහතා වෙනුවෙන් පෙනී සිටියේ ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාය.
අලස් සහ දේශබන්දු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පවා මත්ද්‍රව්‍ය චෝදනා නැගෙන පිරිස් වෙනුවෙන් පෙනී සිට තිබෙන අතර එය එම නීතිඥවරුන්ගේ අයිතිවාසිකමක් පමණක් නොව අදාල සැකකරුවන්ගේ ද අයිතිවාසිකමකි. එසේ තිබියදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට අමාත්‍යවරයා චෝදනා කිරීම බරපතල තත්ත්වයක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් ප්‍රකාශ කළේය. මත්ද්‍රව්‍ය සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට ඇති අතිය හා සමාන අයිතයක් එම නීතිඥවරුන්ට අලස් සහ දේශබන්දු වෙනුවෙන් ද පෙනී සිටීමට ඇති බවත්, ඒ ගැන අනිත් පිරිස් ප්‍රශ්න නොකරද්දී අමාත්‍යවරයාම එය ප්‍රශ්න කිරීම එක් අතකට තමාගේ නීතිඥයාව තමාම ප්‍රශ්න කිරීමක් බවත් එම නීතිඥවරයා සඳහන් කළේය.
රාඩා වංචාව වැනි බරපතල චෝදනාවක් එල්ල වූ ටිරාන් අලස් මහතා වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටිද්දී වංචාකරයන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටින බවට කිසිවකු චෝදනා කළේ නැත. එවැනි චෝදනා කරමින් නීතිඥවරුන් ඔහු වෙනුවෙන් පෙනී නොසිටියේ නම් ඇතැම් විට අලස් මහතා සිරදඬුවම් විඳිමින් සිටිනවා වන්නටද පිළිවෙන.
Previous articleආන්දෝලනාත්මක පනත් කෙටුම්පත ඇමතිට ලබාදී ඇත්තේ ආරක්ෂක කවුන්සිලයේදී
Next article‘යුක්තිය‘ නීති විරෝධී ; පොලිසියත් බයෙන් ; 2020 ඇල්ලූ දේපොළම යළිත් අල්ලලා

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here