ආණ්ඩුව – විපක්ෂය එක පාරක : ජනපති සැක ද?

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසත්‍ය ප්‍රකාශ කිරීමට පෙළඹීමත්, කරුණු විකෘති කරමින් ජනාධිපති මාධ්‍ය අංශය හරහා මාධ්‍ය නිවේදන නිකුත් කිරීමට කටයුතු කිරීමත් කනගාටුවට කරුණක් බව වරාය වෘත්තීය සමිති අවධාරණය කර සිටී.

ජනපති ප්‍රකාශය

පසුගිය 13 දා ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණේ නැගනෙහිර පර්යන්තයේ ප්‍රතිඅපනයන මෙහෙයුම්වලින් සියයට 66 කට ඉන්දියාව දායක වන බවත්, එම මෙහෙයුම් ආදායම අහිමි කර ගත නොහැකි බවත් ය. එසේම එම පර්යන්තය විකිණීමක් හෝ බදුදීමක් සිදු නොකරන බවත්, ඉන්දියාවේ අදානි සමාගමේ ආයෝජනයක් පමණක් ලබාගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

ඉන්දියාවේ අවශ්‍යතාව

වරාය වෘත්තීය සමිති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා පවසන ආකාරයට මෙම ප්‍රතිඅපනයන බහාලුම් මෙහෙයවීමට තරම් ධාරිතාවක් සහිත ගැඹුරු වරායක් ඉන්දියාවට නොමැති බවයි. ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙම බහාලුම් මෙහෙයවීම අහිමිවීමෙන් රටට ආදායම් අහිමි වන බව පෙන්වීමට උත්සාහ කළද, ඉන්දියාවට මේ මෙහෙයුම් සඳහා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අත්‍යවශ්‍ය වී ඇතැයි ද පෙන්වා දෙන අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, ඉන්දියාවේ සමස්ත බහාලුම් ධාරිතාව වන මිලියන 15 න්, මිලියන 3.5 ක මෙහෙයුම් සිදු කිරීමට පවා ඉන්දියාව අපොහොසත් වී ඇතැයි ද පෙන්වා දෙති. ජනාධිපතිවරයා පවසන සියයට 66ක මෙහෙයුම් කතාව සත්‍යයක් වුවද, ඒවා අහිමි වීමේ කිසිදු අවදානමක් නැතැයි ද අවධාරණය කරන අදාළ නිලධාරීන්, ඉන්දියාවට සිංගප්පූරුව හෝ එවැනි රටක පිහිටි වරායක් මගින් මේ සේවා සපයාගැනීම අධික වියදම් දැරීමට සිදුවන ක්‍රියාවලියක් බව ද සඳහන් කර සිටී.

අඩු වියදම්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වාර්ෂිකව බහාලුම් මිලියන 2 ක පමණ මෙහෙයුම් සිදු කරනු ලබයි. මෙය කලාපයේ ඇති වැඩිම ආර්ථික වටිනාකමකින් යුත් වරාය වන අතර, ඉන්දියාවට තම ආර්ථික වර්ධනයට සාපේක්ෂව වරායවල ධාරිතාව වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබී නැත. එම නිසා මේ වන විට ඉන්දියාව බටහිර වෙරළේ නව වරායක් ඉදිකරමින් සිටී. එහෙත් මේ වරායේ ද මෙහෙයුම් කටයුතු වසර පුරා සිදු කළ නොහැකි බවට දැනටමත් අනාවැකි පළවෙමින් තිබේ. ඊට හේතු වන්නේ වසරේ මාස කිහිපයක් මුහුදේ වෙනස්වීම් නිසා වරාය මුහුදේ වැලි පිරීම ය. එම වැලි ඉවත්කිරීම අධික වියදම් සහිත කාර්යයකි.

වාසිය කාටද?

මේ හේතුව නිසා ඉන්දියාවට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සිදු කිරීම අත්‍යවශ්‍ය වන අතර, ඔවුන්ට වෙනත් ලාබදායී විකල්ප නැත. එසේ තිබියදී ජනාධිපතිවරයා රටට ආදායම් අහිමි වීමේ අවදානමක් පෙන්වමින්, මේ සම්බන්ධයෙන් ඇතිවෙමින් තිබෙන විරෝධය වැළැක්වීමට උත්සාහ දරන බව පෙන්වා දෙන අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මගින් ඉන්දියානු බහාලුම්වලට අමතරව අප්‍රිකා, පාකිස්තානු, මාලදිවයින් සහ බංග්ලාදේශ් ඇතුළු රටවල් රැසක බහාලුම් මෙහෙයුම් සිදු කරන බව ද අවධාරණය කර සිටී. මේ අනුව ආණ්ඩුවේ මේ තීරණය මගින් ඉන්දියාවට විශාල වාසියක් සිදුවන බවත්, එම වාසිය ලබාදීමට ජනාධිපතිවරයා මෙතරම් උත්සාහ කිරීම බරපතළ ගැටළුවක් බවත් ඔවුහු වැඩිදුරටත් අවධාරණය කර සිටිති.

‘හිටපු තැන් වෙනස්’

විවිධ කඳවුරුවල සිට දේශපාලන කටයුතු කළ සියල්ලන් කොළඹ වරාය රැකගැනීම වෙනුවෙන් එක්ව සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ වරාය ශාඛාවේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න පැවසීය.
‘අපි හිටියෙ විවිධ කඳවුරු තුළ. එහෙම හිටිය අපිට අද පොදු සටනක් තියෙනවා. ඒ තමයි අපේ වටිනා සම්පත් ටික රැකගැනීමේ සටන. අපේ ජාතියේ වටිනාම සම්පතක් වන කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය දේශපාලන මතවාද පසෙක තබා එක් වී බේරාගැනීමේ සටනකට අපි යා යුතුයි. එහෙම කළොත් අපේ අනාගත පරපුරට මේ සම්පත රැකදිය හැකියි.’

‘කවුරුත් විශ්වාසය රැක්කෙ නෑ’

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දායකත්වයෙන් විවිධ චරිත බලයට ගෙන ආවද, ඔවුන් කිසිවකුගෙන් ඵලක් නොවූ බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති ප්‍රසන්න කළුතරගේ මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේය.
‘අපේ බලපෑම් මත මේ රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළට ඇතුළත් කළා, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බදු දෙන්නේ, විකුණන්නේ නැහැ කියලා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති නායකයන් ලෙස විහාරමහාදේවි කියලා කෙනෙක්ව බලයට ගෙනාව, හරිගියේ නැහැ. දුටුගැමුණු කියල ගෙනාව, හරිගියේ නැහැ. අන්තිමට අපි කිව්ව මේ පාර ගේන්නේ නැගෙනහිර ජැටිය සුරකින කෙනෙක් කියලා. හැබැයි එයිනුත් ඵලක් වුණේ නැහැ. ආණ්ඩු හදපු අපි වරාය රැකගැනීමේ සටනට ඒ හයියම දෙමින් ඉදිරියෙන්ම සහාය දෙනවා.’

‘අවසාන හුස්ම පොද විතරයි’

රටේ තිබූ වටිනා සම්පත් විදේශීය රටවලට සහ පෞද්ගලික අංශයට ලබාදී ඇති බවත්, දැන් ඉතුරුව ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය නම් අවසාන හුස්ම පොද පමණක් බවත් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ අවධාරණය කර සිටී.
‘පහුගිය සෑම රජයක්ම වරායවල් සතු ඉඩම්, වරායවල් සතු දේපොළ, වරාය සම්පත්, වරාය පර්යන්ත පෞද්ගලීකරණය කළා. ත්‍රිකුණාමලය වරායේ ජැටි තුනෙන් දෙකක් පෞද්ගලීකරණය කළා. කොළඹ වරායේ අංශ කිහිපයක්ම අපෙන් ගිලිහිලා. ජාතික සම්පත් රකිනවා කියලා ආපු ආණ්ඩුව ජාතික සම්පත් එකිනෙක අපෙන් අහිමි කර විකුණද්දී අපිට සිද්ධ වී තිබෙනවා ඒකාබද්ධ අරගලයකින් මේ ජාතික සම්පත් ආරක්ෂා කරගන්න. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ අවසාන හුස්ම පොද විතරයි. ඒක රැකගන්න සියල්ලන් එකතු වෙලා ඉන්නවා.’

‘වරායක් නැති අධිකාරියක්’

වරායක් නැති වරාය අධිකාරියක් ඇති එකම රට බවට ලංකාව පත්කිරීමට ඉඩ නොදෙන බව එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධව තිබූ, වර්තමානයේ සමගි ජන බලවේගයට සහාය දක්වන ජාතික සේවක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් සිල්වා පැවසීය.
‘ලෝකයේ කොහෙවත් නෑ, නැව් නැති නැව් සංස්ථාවක්. එහෙම එකක් තියෙන්නෙ ලංකාවෙ විතරයි. කොළඹ වරාය සම්බන්ධයෙන් මේ තියෙන සැලසුම් ඒ අය ජයග්‍රහණය කළොත් වරායක් නැති වරාය අධිකාරියක හිමිකාරයනුත් අපිම වෙනවා. ඒ නිසාම තමයි, අපි මේ සටනට ආවෙ. අද අපි මේ සටන වරායෙන් එළියට අරගෙන සමාජයීය සටනක් බවට පත්කරගෙන තියෙනවා.’

‘විකුණන්න දුන් බලය’

කැබිනට් පත්‍රිකාවකින් ජාතික සම්පත් විකුණන්නේ කෙසේද යන ගැටළුව තම සංගමයට ඇතැයි වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා ක්‍රියාකාරී දායකත්වයක් ලබාදුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සඳහන් කළේය.
‘අපිට මතුවෙන ප්‍රශ්නය තමයි, කැබිනට් පත්‍රිකාවකින් ජාතික සම්පත් විකුණන්නෙ කොහොමද කියන එක. එහෙම තීන්දුවක් ගන්න බෑ. රහසිගත කැබිනට් පත්‍රිකාවකින් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්න කවුද බලය දුන්නෙ. අපි නැවත-නැවත කියන්නෙ ආණ්ඩුවට එහෙම බලයක් දීලා නෑ.’

ජනපතිගේ අත් ඇඹරුවාද?

ඉන්දියාවට ජනාධිපතිවරයාගේ අත් ඇඹරීමට හැකි වුවද, ජනතාවගේ අත් ඇඹරීමට ඉඩ නොදෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ කම්කරු අරගල මධ්‍යස්ථානයේ ලේකම් දුමින්ද නාගමුව අවධාරණය කළේය.
‘මේ සම්පත රැකගැනීම අපිට දේශපාලන වශයෙන් වගේම ආර්ථික වශයෙනුත් වැදගත්. මේ ජාතික සම්පත විකුණන්න හදන්නෙ ලාබ ලබන අවස්ථාවක වීම තවත් විශේෂත්වයක්. ආණ්ඩුව විවිධ වචන යොදාගනිමින් මේ ගමන් කරන්නෙ මිලිටරීකරණයකට. එක සැරයක් ඉන්දියාව ජේ.ආර්.ගෙ අත ඇඹරුවා. හැබැයි ඒ වෙලාවෙ ඔවුන්ට බැරි වුණා මේ රටේ ජනතාවගෙ අත් අඹරන්න. ඕනෑ කෙනෙකුට ගෝඨාභය රාජපක්ෂලගෙ අත් අඹරන්න පුළුවන් ඇති. ඒ වුණාට ඒගොල්ලොන්ට ජනතාවගෙ අත් අඹරන්න අපි ඉඩදෙන්නෙ නෑ.’

‘සැකයක් තියාගන්න එපා’

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ මේ තීරණයට එරෙහි වෘත්තීය සමිති සමග පසුගිය 13 දා පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය තිරසාර සංවර්ධනයකට ලක්කිරීම පමණක් සිදු කරන බවයි. ඊට අදාළව ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් ය.
‘නැගනෙහිර පර්යන්ත සංවර්ධනය සැලසුම් කළේ කලාපීය භූදේශපාලනික සාධක, රටේ ස්වෛරීභාවය, ආදායම් සහ රැකියා උත්පාදනය ඇතුළු සියලු සාධක සමාලෝචනය කිරීමෙන් පසුව යැයි ජනාධිපතිතුමා සඳහන් කළේය. මේ ආයෝජන වැඩසටහන යටතේ නැගෙනහිර පර්යන්තය තිරසාර සංවර්ධනයකට ලක්කරන බව ජනාධිපතිතුමා මෙහිදී පැහැදිලි කළේය. නැගෙනහිර පර්යන්තයේ ප්‍රතිඅපනයන මෙහෙයුම්වලින් සියයට 66කට ඉන්දියාව දායක වෙයි. සියයට 9ක් බංග්ලාදේශයටත්, ඉතිරිය තවත් රටවල් කිහිපයකටත් කෙරෙන ප්‍රතිඅපනයන වේ.
ශ්‍රී ලංකා රජයට සියයට 51ක අයිතිය සහ ඉතිරි සියයට 49 ඉන්දියාවේ අදානි සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව ජනාධිපතිතුමා පැවසීය. ඒ ගැන කිසිදු සැකයක් තබානොගන්නැයි ද ජනාධිපතිතුමා කීය.’
Previous articleලෝකයේ හුදෙකලාව ජීවත්වෙන්න අපිට බැහැ – මානව හිමිකම් කොමිසමේ සභාපති ජගත් බාලසූරිය
Next articleඅධිකරණයට අපහාස කළ මාධ්‍යවේදියාට දඬුවම් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here