ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදයේ කාදිනල් හිමිගේ භූමිකාව !

(වරදත්ත ගුරුගේ)
‘කතෝලික අප සිටින්නේ බෞද්ධ සෙවනැල්ල යට ය’ යනු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් කලකට පෙර කළ ප්‍රසිද්ධ ප්‍රකාශයකි. ‘අප හුස්ම ගන්නේ සිරිමා බෝධිය හා දළදා හිමි පිස එන සුළඟ ය’ යනු උන්වහන්සේ කළ එවැනි ම තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයකි.
මා එය ආන්දෝලනාත්මක යැයි කීවේ මේ රටේ වෙසෙන බහුතරයක් වූ සිංහල බෞද්ධයන් අරභයා නොවේ. කිතුණු හා කතෝලික ලබ්ධිකයන් අරභයා ය. මෙවැනි ප්‍රකාශයක් මගින් කාදිනල්වරයාට බෞද්ධ ජනයා අතර විශාල ජනප්‍රියභාවයක් අත්පත් කරදුන්නද, කතෝලිකයන් අතර එය ඇති කළේ කුකුසකි. මන්ද යත් රාජ්‍යය මෙන්ම වූ බලයක් අදටත් පල්ලියට හිමි බැවිනි. අනෙක් අතට මේ ප්‍රකාශ ලෝකයේ සෙසු දියුණු රටවල කෙරෙන කිතුණු දේශපාලනයේ ජනප්‍රිය දර්ශනයට ද නොගැලපෙන බැවිනි. නිදසුනකට සෑම ආගමක්ම එක හා සමානය වැනි ලෞකික සහ වඩාත් ලිබරල් වූ මතයක් අවධාරණයට වඩා ක්‍රිස්තියානි ආචාරධර්ම පිළිබඳව වැඩි අවධානයක් එම දේශපාලනයේදී යොමුවීම දැක්විය හැකිය. එහෙත් ලෝක දේශපාලනයේ කතෝලික / කිතුණු නියෝජනය මෙන්ම ලංකාවේ දේවස්ථාන දේශපාලනය ගැන බහුතරයක් වූ සිංහල බෞද්ධ සමාජයට තොරතුරු නොමැති බැවින් කාදිනල් හිමියන් කරන දේශපාලනය අවබෝධ කරගැනීමට ද එම ජන කොටසට අපහසු වී තිබේ. අනෙක් අතට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය පවා මෙම දේශපාලන රංගයේ වේදිකා පසුතල නිර්මාණකරුවන් වී ඇති බැවින් වඩ-වඩාත් දුෂ්තොරතුරු බෞද්ධ සමාජයට සන්නිවේදනය වෙමින් තිබේ. ඒ නිසා දේවස්ථාන දේශපාලනය ගැන යම් පමණකින් හෝ විමසීම වටී.
සංගණන වාර්තා පවසන ආකාරයට ලංකාවේ සියයට 7ක් ක්‍රිස්තියානි ලබ්ධිකයෝ ය. සියයට 6ක් රෝමානු කතෝලික වන අතර, රෝමානු කතෝලික නොවන පිරිස සියයට 1ක් යැයි වාර්තා කරයි. එහෙත් රෝමානු කතෝලික නොවන පිරිස පවසන්නේ සිය සංඛ්‍යාත්මක අගය ඊට වැඩි බවයි. රෝමානු කතෝලිකයන්ට රදගුරුවරු 15 දෙනෙක් සිටිති. කාදිනල් හිමි යනු ඔවුන් අතරෙන් එක් අයෙකි. ඔහු නියෝජනය කරන්නේ කොළඹ පදවියයි. කාදිනල් පදවිය යනු රෝමයේ පිහිටි රෝමානු කතෝලික මූලස්ථානයෙන් හිමි වූ තනතුරකි. එහෙත් කාදිනල් හිමි ප්‍රධානියා වන්නේ කොළඹ පදවියට පමණි. අනෙකුත් පදවිවලට ඇඟිලි ගැසීමට ඔහුට අයිතියක් නැත.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව වසර 4කට වරක් පැවැත්වේ. එහි සභාපතිවරයා ඇතුළු තනතුරු තෝරා ගැනෙන්නේ එහිදී ය. එහි වත්මන් සභාපති තනතුර හිමි ඌව පදවියේ රදගුරු හිමියන්ට ය. වයඹ රදගුරු හිමියන් විසින් මහ ලේකම් ධුරය හොබවනු ලබයි. සමස්ත ලංකාවට ම කියා කතෝලික සභාවේ ප්‍රධානියෙක් නැත. පාප් වහන්සේ සාමාන්‍යයෙන් මෙම සභා සලකනු ලබන්නේ වෙනම රාජ්‍ය හැටියට ය. ඒ අනුව සෑම රදගුරුවරයකුට ම වතිකානුව සමග සෘජුව ගනුදෙනු කළ හැකිය. එහෙත් සාමාන්‍ය බෞද්ධ ජනතාවට මෙම ව්‍යුහය ගැන අවබෝධයක් නැති නිසා ඔවුන්ට අනුව කාදිනල් හිමියන් යනු කතෝලික සභාවේ ප්‍රධානියා ය.
රදගුරු පදවිවල ස්වාධීනත්වය අවබෝධ කරගැනීම සඳහා නිදසුන් කිහිපයක් දැක්විය හැකිය. 2008 වසරේ නත්තල එළැඹියේ යුද්ධය උග්‍ර අවස්ථාවේ ය. මේ නිසා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස උතුරු-නැගෙනහිර රදගුරුවරුන් විසින් එවකට පැවති ආණ්ඩුවෙන් සහ එල්ටීටීඊ සංවිධානයෙන් ඉල්ලීමක් කරනු ලැබීය. එහෙත් එම ලිඛිත ඉල්ලීමට සෙසු රදගුරුවරුන්ගෙන් අත්සන් කළේ අනුරාධපුර රදගුරු පමණි. සෙසු රදගුරුවරු ඊට පක්ෂ නොවූහ. එසේම යුද්ධය පැවති සමයේ සිදුවුණා යැයි කියන අපරාධවලට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය යැයි මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් ඉල්ලා සිටියද, කොළඹ රදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් දැරුවේ වෙනස් මතයකි. ඒ සඳහා දේශීය පරීක්ෂණයක් ප්‍රමාණවත් යැයි ද, ජාත්‍යන්තර පරීක්ෂණයක් යනු අපේ දැනුමට ලැජ්ජාවක් යැයි ද එහිමියෝ කීහ. එමෙන්ම රතුපස්වල කුප්‍රකට වෙඩි තැබීම වූ අවස්ථාවේදී කතෝලික ජනයාට සිදු වී යැයි කියන හිරිහැර සම්බන්ධයෙන් ජනමාධ්‍යයට අදහස් දැක්වීම් වැළැක්වීමට ද කාදිනල් හිමියන් මැදිහත් වූ බවට තොරතුරු තිබේ. පරිපාලන ව්‍යුහය අනුව රතුපස්වල අයත් වන්නේ ඔහුගේ බල ප්‍රදේශයට නිසා යම් ආකාරයක මැදිහත්වීමක් කිරීමට ඔහුට අවස්ථාව ඇත.
මෙසේ බලද්දී පරිපාලනමය වශයෙන් ප්‍රධාන ඒකකය වන්නේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයයි. එහෙත් ජනමාධ්‍ය නිර්මිතය නිසා බෞද්ධ ජනයා හිතන්නේ කතෝලික ප්‍රජාවේ නායකත්වය කාදිනල් හිමි සතු බව ය. අනෙක් අතට රදගුරු සම්මේලනයේ සභාපති වින්ස්ටන් ප්‍රනාන්දු හිමියන් ප්‍රචාරණ උන්මාදයෙන් පෙළෙන්නකු නොවන බැවින් එහිමියන්ගේ රූපකාය තබා නාමයවත් රූපවාහිනී තිරවල හෝ පත්තර මුල් පිටුවල දකින්නට නැත. යතාර්ථයේදී කාදිනල් හිමියන්ට වගකීම ඇත්තේ රටේ මුළු ජනගහනයෙන් ලක්ෂ හතරකට ආසන්න කතෝලික පිරිසකට පමණකි. සමස්තයේ පරිපාලන නායකයා වන්නේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපතිවරයා ය. සිව් වසරක නිල කාලයක් ඔහුට හිමි ය.
ලංකාවේ දේශපාලනයට පන්සල කරන තරමේ ම නොවුණත්, ආගමික වශයෙන් කිසියම් මැදිහත්වීමක් ක්‍රිස්තියානි දේශපාලන දර්ශනයෙන් ගෝලීය වශයෙන් සිදු වේ. ලොව විවිධ රටවලදී ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදය විවිධ හැඩතල ගනී. එහෙත් එය කාදිනල් හිමියන්ගේ බඳු වෙස් බැඳගත් එකක් නොව එළිපිට කරන දේශපාලනයකි.
ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදය යැයි කිවහොත් එක්වරම සාමාන්‍ය ජනයාගේ ඔළුවට එනු ඇත්තේ බටහිර අධිපතිවාදී දේශපාලනය විය හැකිය. එහෙත් මේ කියන ක්‍රිස්තියානි දේශපාලනය එවැන්නක් නොවේ. දේශපාලන පක්ෂ නියෝජනය කරන්නකි.
නෙදර්ලන්තය, බෙල්ජියම, ප්‍රංශය, ජර්මනිය හා ඉතාලිය වැනි යුරෝපයේ රටවල් ගණනාවක ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ක්‍රියාත්මක ය. ඒවා ජාතික සීමාවේදී එයට ම අනන්‍ය වූ ලක්ෂණවලින් සමන්විත ය. ඒවායේ මූලික ලක්ෂණය නම් ඒවා රෝමානු කතෝලික තත්ත්වය මත පදනම් වූ ප්‍රතිපත්තිවලට පක්ෂපාත වීම ය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව සමාජ ප්‍රතිසංස්කරණ වැනි ක්ෂේත්‍රවලදී යුරෝපා දේශපාලන ප්‍රතිපත්ති සැකසීමට මේවායින් යම් බලපෑමක් විය.
බොහෝ විට ගතානුගතිකවාදී ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීහු සිය රටවල ක්‍රිස්තියානි උරුමය ගැන වද වෙති. මෙම පක්ෂ සෑම ආගමක්ම එක හා සමාන ය වැනි ලෞකික සහ වඩාත් ලිබරල් වූ මතයක් අවධාරණය කරනවට වඩා ක්‍රිස්තියානි ආචාරධර්ම පිළිබඳව වැඩි අවධානය යොමු කරයි. ගබ්සාවට සහ සමලිංගික විවාහවලට විරුද්ධ වීම කිතුණුවන්ගේ වටිනාකමක් හැටියට අප සිතුවත්, නිශ්චිත නෛතික සීමා තුළ ඒවා පිළිගත යුතු බවට අදහස් දරන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ද වේ. එසේ බලන විට එහි ඇත්තේ කිසියම් රැඩිකල් ප්‍රවේශයකි. එමෙන්ම ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන් පවසන්නේ ආර්ථිකයේ පැවැත්ම මනුෂ්‍යත්වයට සේවාවක් වශයෙන් සිදුවිය යුතුය කියා ය. ඇතැම් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ක්‍රිස්තියානි සමාජවාදයට විරුද්ධ වෙද්දී, ඇතැම් ඒවා සමීප ලක්ෂණ පෙන්වයි. පසුගිය කාලවල දී යුරෝපයේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ බර තැබුවේ ලිබරල් ආර්ථිකය හා දක්ෂිණාංශික ප්‍රතිපත්ති කෙරෙහි වැඩි ඇල්මක් දක්වමින් ආර්ථිකයෙහි රාජ්‍ය භූමිකාව අඩු කිරීමට ය.
මෙසේ බලද්දී ගෝලීය තලයේදී ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදීන් ලෝක දේශපාලනයට දක්වන දායකත්වය ඇසින් දැකිය හැකි දෙයකි. එහෙත් ලංකාවේ දේශපාලනයේදී කාදිනල් හිමිගේ හැසිරීමෙන් පෙන්නුම් කරන්නේ වෙනස් තත්ත්වයකි. ජනමාධ්‍ය විසින් උළුප්පා පෙන්වන එමගින් බැලූ බැල්මට පෙනෙන්නේ ප්‍රසිද්ධ දේශපාලනයට කාදිනල් හිමියන් විරුද්ධ බව ය. බුද්ධාගමට ප්‍රමුඛතාව දෙන්නකු බවය. මේ නිසාම 2019 අප්‍රේල් 21 සිදු වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව බෞද්ධ සමාජයේ හද මනස වඩාත් ප්‍රබල ලෙස ආමන්ත්‍රණය කිරීමේ හැකියාවක් ඔහුට හිමි විය. ඒ, පූර්වයෙන් තමන් කෙරෙහි ඇතිකරගත් විශ්වාසයක් ද නිසා ය. මේ නිසා බෞද්ධ දර්ශනයේ විසල් දැනුමක් හිමි කරගත් මර්සලින් ජයකොඩි, ඇලෝයි පීරිස් වැනි පියවරුන්ට වඩා, ප්‍රසිද්ධියෙන් ඉහළට එන්නට කාදිනල් හිමියන්ට හැකි විය. ඉනිමග දිගේ මෙසේ ඉහළ නැගීම තුළ ම කාදිනල් හිමියන් සතු කරගත් බලය පෙරළා යෙදුණේ ම දේශපාලනයට ය. දේශපාලන පක්ෂවලත්, දේශපාලකයන්ගේත් නම් නොකියා තම වදන් බලය භාවිතයෙන් එක් කඳවුරකට පහරදෙන්නටත් තවත් කඳවුරක් නගා සිටුවන්නටත් ය, එය භාවිත වූයේ.
බෞද්ධ සමාජයේ ඇතිකරගෙන තිබූ විශ්වාසය විසින් කාදිනල් හිමිගේ ප්‍රකාශ දේව වාක්‍ය බවට පත්වූයේ රූපවාහිනී හා පත්තර මුල් පිටුවල පුවත් මවමිනි. එහෙත් ඒ ප්‍රධාන ධාරාව යැයි කියන ජනමාධ්‍යය ද කාදිනල් හිමියන් මෙන්ම එක් දේශපාලන කඳවුරක් නියෝජනය කරන බවත්, ඒ නියෝජනය නිසා ම අයුතු වාසි ලබන බවත් ගම්-නියම්ගම්වල ජනයා දන්නේ නැත. ඒ නිසා දැන් කාදිනල් හිමියන් පාස්කු ප්‍රහාරය ගැන සොයන කොමිසමට බනින විට පවා ඒ ජනයා විශ්වාසය තබන්නේ කාදිනල් හිමි ගැන ය. ඒ හිමියන්ගේ සූක්ෂ්ම දේශපාලනය ඔවුන්ට ගෝචර නොවේ. මේ ඇත්ත ගැන යම් පමණකට අවබෝධ කරගෙන සිටින කතෝලිකයන්ට වුව උඩ බලාගෙන කෙළ ගසන්නට අපහසු ය. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් කිරීම වනාහි මේ රංගය කතෝලික ප්‍රජාව හමුවේ පරීක්ෂාවට භාජනය කරන ලිට්මස් පරීක්ෂාවකි. දේශපාලන කොමිසමක් මගින් ඊට කිසියම් නාටකීය ස්වභාවයක් දිය හැකි වුවද, ඊට ද ගතහැකි උපරිම කාලයක් තිබේ. කාදිනල් හිමියන්ගේ නෝක්කාඩුවෙන් එහිමියන් ආණ්ඩුවට නොකියා කියන්නේ එයයි.
Previous articleදුමින්ද සිල්වා නිදහස් : අධිකරණ 03 ක විනිශ්චයකාරවරුන් 07කට නොතේරුණු ජනාධිපති කොමිසමේ නිර්දේශය !
Next articleරට දිනන්න නම් මිත්‍යාවෙන් ඈත්වෙලා හතරවැනි කාර්මික විප්ලවයට යන්න ඕනෙ – ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here