දුමින්ද සිල්වා නිදහස් : අධිකරණ 03 ක විනිශ්චයකාරවරුන් 07කට නොතේරුණු ජනාධිපති කොමිසමේ නිර්දේශය !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීම සම්බන්ධව මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කළ යුතුව තිබූ බව දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නිර්දේශ කර ඇත.
දුමින්ද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකරන ලද නඩුවේ අධිචෝදනා පත්‍රයේ දැක්වුණු සියලු චෝදනාවලින් ඔහුව නිදොස් කළ යුතුව තිබූ බවට ද එම කොමිෂන් සභාව ඒකමතිකව තීන්දු කළ බව අදාළ වාර්තාවේ සඳහන් ය. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සභාපති ධුරය දැරූ මෙම ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසම, ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබුවේ 2020 ජනවාරි 09 වැනි දින ය. විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මෙහි අනෙකුත් සාමාජිකයෝ වූහ.

කොමිසම සහ අරමුණ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යන ආයතන මගින් සිදුකරන ලද විමර්ශන නිසා 2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 වැනිදා දක්වා කාලයේදී දේශපාලන පළිගැනීමට ලක්වූවන් පිළිබඳව සහ එම සිදුවීම්වලට අදාළ පසුබිම සොයා බැලීම මෙම කොමිෂන් සභාව වෙත පවරා තිබූ කාර්යය විය. ඊට අදාළ අවසන් වාර්තාව කොමිසමේ සභාපති උපාලි අබේරත්න විසින් පසුගිය දෙසැම්බර් 08 දා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා වෙත බාරදුන් බව මාධ්‍ය වාර්තා කළේය.
දුමින්ද සිල්වාගේ පියා වන අරුමාදුර වින්සන්ට් ප්‍රේමලාල් සිල්වා විසින් කොමිසම වෙත ඉදිරිපත් කර තිබූ පැමිණිල්ල සම්බන්ධයෙන් වන නිර්දේශ ද මෙම වාර්තාවේ ඇතුළත් ය. දේශපාලන පළිගැනීමේ ක්‍රියාවලියක ගොදුරක් වූ දුමින්ද සිල්වා බන්ධනාගාරගත කිරීම නිසා ඔහුට සිදුවූ හානිය හේතුවෙන් පැමිණිලිකරුට යම් සහනයක් ලබාදීම සුදුසු බව කොමිෂන් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.
එසේම පොලිස් නිලධාරීන්ට එරෙහිව ඇත්ත බොරු කිරීම සහ බොරුව ඇත්ත කිරීම යන වැරදිවලට සහ දූෂණයේ වරද හා පොලිස් සේවය අපකීර්තියට පත්කිරීමේ වරදට පොලිස් විනය නීති යටතේ චෝදනා පත්‍ර ගොනුකර පරීක්ෂණ පවත්වා දඬුවම් පැමිණවිය යුතු බවට ද කොමිසම වැඩිදුරටත් මෙහිදී නිර්දේශ කර තිබේ. මෙම නඩුවේ ඉදිරිපත්ව ඇති සාක්ෂි පරීක්ෂාකාරී ලෙස විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, පැමිණිලිකාර අරුමාදුර ලෝරන්ස් රෙමෙලෝ දුමින්ද සිල්වා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය කිරීමේ වරදට හසු කරලීම සඳහා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් ඔහුට මරණ දඬුවම සහ සිර දඬුවම් පැනවීමට කටයුතු කිරීමටත්, එයට ආධාර අනුබල දීමටත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, පද්මිණී රණවක හා ශානි අබේසේකර යන වගඋත්තරකරුවන් ක්‍රියාකර ඇති බවට ප්‍රබල සාක්ෂි මගින් ඔප්පු කර ඇති බවට ද කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කළ බව වාර්තාවේ සඳහන් ය.
කෙසේ වෙතත් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ කොමිසමට බලය ඇත්තේ නිශ්චිත කරන ලද කාලයට අදාළ රාජ්‍ය නිලධාරීන්ට සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීමට පමණක් බවයි.

අධිකරණය පිළිබඳ සැකයක්

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද මෙම දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ කටයුතුවලින් ජනතාව අතර අධිකරණය පිළිබඳ සැකයක් මතුවිය හැකි බවත්, එය යුක්තිය පසිඳලීමේ කාර්යයේදී බරපතළ කාරණයක් වන බවත් ව්‍යවස්ථාදායක සභාවේ හිටපු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් මහතා අවධාරණය කළේය.
මෙම කොමිසමේදී අධිකරණවල විභාග කෙරෙන අපරාධ නඩුවලට අදාළ සාක්ෂි විමසීම සහ කොමිසමේ නිර්දේශ පිළිබඳව මාධ්‍ය මගින් අතිශයෝක්තියෙන් වාර්තා කිරීම නීති ක්ෂේත්‍රයේ පුළුල්ව කතාබහට ලක්විය යුතු කරුණක් බවත්, එමගින් පැමිණිලි පාර්ශ්වයට හෝ විත්ති පාර්ශ්වයට අනිවාර්යයෙන් වාසියක් වීමේ ඉඩක් පවතින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පෙන්වා දුන්නේය. MediaLK කළ විමසීමට පිළිතුරු දෙමින් කොමිසමේ බලය සහ එමගින් අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වන බලපෑම පිළිබඳව ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පහත අදහස් පළ කළේය.

ජනාධිපති කොමිසමක බලය

‘සාමාන්‍යයෙන් ජනාධිපති කොමිෂන් පත්කරන්නෙ උසාවිවල වගේ නඩු තීන්දුවක් දෙන්න නෙමෙයි. ඒ වුණත් යම් නිශ්චිත කරුණක් හෝ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසලා, ජනාධිපතිතුමාට වාර්තාවක් ලබාදීම තමයි ඔවුන්ගේ කාර්යභාරය. ඒ වාර්තාවට තමන්ගේ නිර්දේශ ඇතුළත් කරන්න කොමිසමට බලය තියෙනවා.
යම් වරදක් තියෙනවා, ඒකට මේ මේ පුද්ගලයන් වරදකරුවන් හෝ නිවැරදිකරුවන් බව පෙනීයනවා කියලා පෙනුණොත්, ඒ පිළිබඳව ජනාධිපතිට නිර්දේශ කරන්න කොමිසමට පුළුවන්. ඊට පස්සෙ ජනාධිපතිතුමා ඒක බලලා, ඉදිරි පියවර ගැනීම අවශ්‍යයි කියලා තීරණය කළොත් නීතිපතිතුමාට ඒ නිර්දේශ යොමු කරනවා. ඊට පස්සෙ නීතිපතිතුමාගෙ උපදෙස් මත අපරාධ අංශ මගින් ඉදිරි විමර්ශන කටයුතු කරන්න හැකියාව තියෙනවා.
මෙම කොමිෂන් සභා පිහිටුවීම සඳහා පනත් දෙකකින් බලය පවරලා තියෙනවා. එයින් එකක් තමයි, විශේෂ ජනාධිපති කොමිෂන් සභා. ඒක 1978 ඉදිරිපත් කරපු එකක්. තවත් එකක් තියෙනවා, විමර්ශන කොමිෂන් සභා කියලා. ඒක සම්මත වෙලා තියෙන්නෙ 1948. මේ අපි කතා කරන කොමිසමත් පත්කරලා තියෙන්නෙ මේ කියන විමර්ශන කොමිෂන් සභාවක් විදිහට. ඒ අනුව රාජ්‍ය සේවයේ සිදු වූ බවට පැමිණිලි ලැබී ඇති අසාධාරණ සම්බන්ධයෙන් කොමිසමට විවිධ සාක්ෂි, විවිධ ලේඛන කැඳවන්න පුළුවන්. ඒකට පනතින්ම බලය ලබාදීලා තියෙනවා.

බරපතළ නීති ප්‍රශ්නයක්

මෙතැන බරපතළ නීති ප්‍රශ්නයක් තියෙනවා. ඕනෑම අපරාධ නඩුවකදි චූදිත පාර්ශ්වය වෙනුවෙන් පෙනීඉන්න නීතිඥ මහත්තයා කියනවා, චූදිතයා නෙමෙයි මේකට වරදකාරයා, චූදිතයා මේකට පටළවලා තියෙන්නෙ කියලා. ඒක සාමාන්‍යයෙන් උසාවිවල වෙනවා. අපරාධ නඩුවලදි සාධාරණ සැකයක් ඇති කළොත්, චූදිතයට නිදහස් වීමේ වැඩි ඉඩක් ලැබෙනවා. ඒකයි මේ කරන්නෙ.
මේ කොමිසමේදි වුණේ ඒ වගේ අපරාධ නඩුවලට අදාළව චෝදනා එල්ල වුණු පුද්ගලයො ගිහින් කිව්වා, අපිව මේවට පැටළෙව්වෙ දේශපාලන හේතු නිසා කියලා. ඒ කාරණාව කාටත් අසාධාරණයක් නොවන ආකාරයට, සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලිය තුළ විසඳගන්න පුළුවන්. තමන්ගෙ නිර්දෝෂීභාවය අධිකරණය ඉදිරියේ ඔප්පු කරන්න අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම දේශපාලන පළිගැනීමක් වගේ කාරණයක් නඩුවකට ඉදිරිපත් කළොත්, හැම විනිසුරුතුමෙක්ම ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.
කොමිසම මේ විදිහට අධිකරණයේ විභාග වන නඩු සම්බන්ධයෙන් කරපු මැදිහත්වීම නීතිපති පවා අනුමත කළේ නෑ. නීතිපතිවරයා ඒක කොමිසමට දැනුම් දුන් බව මාධ්‍ය මගිනුත් ප්‍රකාශයට පත්වුණා. පහුගිය කාලෙ සිදු වුණු බවට චෝදනා එල්ල වුණු තරුණයන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවක්, කොමිසමේ විමර්ශන අවසන් වන තෙක් නවත්තන්න කියලයි කොමිසමෙන් කියලා තිබුණෙ. නීතිපති පැහැදිලිව කියලා තිබුණෙ, කොමිසමට එහෙම කියන්න බලයක් නෑ, අපි සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කරනවා කියලා.

විසඳුම කොතැනද ?

මේ ක්‍රියා පටිපාටිය අපරාධ නීතියේ මූලධර්මවලට එකඟ නැති බව පැහැදිලිව පේනවා. මේක නිසා අධිකරණ පද්ධතියෙන් කෙරෙන කටයුතු ගැන ජනතාව අතර තවදුරටත් විශ්වාසයක් තියෙයිද. ඒ ගැන සැක මතුවෙන්න පුළුවන්. යම් සිද්ධියකට අදාළව සාධාරණයක් ඉෂ්ඨ වෙනවා කියන්නෙ ඒකපාර්ශ්වික කාරණයක් නෙමෙයි. චූදිතයන්ට වගේම වින්දිතයන්ටත් සාධාරණය ඉෂ්ඨ විය යුතුයි. යුක්තිය තියෙන්නෙ එතැන.
ඇත්තටම මේ ප්‍රශ්නෙට අවසාන විසඳුම තියෙන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ හෝ අභියාචනාධිකරණය ඉදිරියේ. කොමිසමට මේවා කරන්න බලය තියෙනවද, ඒ කටයුතු අපරාධ නීති මූලධර්මවලට පටහැනිද-නැද්ද කියන එක ඉහළ අධිකරණවලින් පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනෙ. ඒත් ඒ අධිකරණවලට මේ ගැන යම් මගපෙන්වීමක් කරන්න පුළුවන් වෙන්නෙ, කවුරුහරි ඒ උසාවිවලට ගියොත් විතරයි. ඒක කඩිනමින් සිදුවිය යුතු දෙයක්.’

භාරත ලක්ෂ්මන් කවුද ?

තම පියාගේ දේශපාලන ළබැඳියාවත් සමඟ දේශපාලනයට පිවිසි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා දේශපාලන ගමන ආරම්භ කළේ කොළොන්නාව නගර සභාවේ මන්ත්‍රීවරයකු ලෙස ය. ඒ 1979 වසරේ ය. 1983 වසරේදී ඔහු කොළොන්නාව නගර සභාවේ විපක්ෂ නායකයා විය. පසුව ශ්‍රී ලංකා මහජන පක්ෂයට සම්බන්ධ වූ ඔහු එම පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායකවරයා විය. 1988 දී ශ්‍රී ලංකාවේ පැවැති පළමු පළාත් සභා මැතිවරණයට තරඟ වැදුණු ප්‍රේමචන්ද්‍ර මහතා, මහජන පක්ෂය නියෝජනය කරමින් එක්සත් සමාජවාදී සන්ධානයෙන් පළාත් සභාවට තේරී පත් විය. 1993 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයෙන්ද ඒ මහතා පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය.
අනතුරුව 1994 වසරේ පැවැති මහ මැතිවරණයට තරඟ වැදුණු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවට තේරීපත්වූයේ මනාප ඡන්ද 63,421ක් ලබා ගනිමිනි. 2000 වසරේ සහ 2001 වසරේ පැවැති මහ මැතිවරණවලින් ජයග්‍රහණය කළ ප්‍රේමචන්ද්‍ර මහතා, දෙවැනි සහ තෙවැනි වරටත් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර 2004 දී ඔහුගේ පාර්ලිමේන්තු දිවිය නිමා විය. පසුව ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති පිළිබඳ උපදේශක ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීය.

දුමින්ද සිල්වාගේ ආරම්භය

භාරතගේ බල ප්‍රදේශයේ 2010 සිට බලය අල්ලන්නේ අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා මහතා ය. ඔහු තම දේශපාලන ගමන ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂයෙනි. ඒ පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස ය. 2004 සහ 2009 වසරවලදී ඔහු පළාත් සභාවට තේරීපත්වූයේ කොළඹින් වැඩිම මනාප ලබාගනිමිනි. අනතුරුව ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය ලබාගත්තේය. 2010 වසරේ පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නාමයෝජනා ලැබ, කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කර ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ දෙවැනියා වෙමිනි. ඔහු ලබා ගත් මනාප ගණන 146,333කි.

නගර සභා ඡන්දය

මෙම සිද්ධිය සිදුවන වකවානුවේ, එනම් 2011 වසරේදී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති පිළිබඳ උපදේශකයා වූ අතර, දුමින්ද සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම කොළොන්නාව ආසනයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආසන සංවිධායකවරයාද විය. එමෙන්ම ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස ද පත්කර තිබූ බව එකල මාධ්‍ය වාර්තා කළේය.
කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව පිහිටා ඇත්තේ කොළොන්නාව ඡන්ද බල ප්‍රදේශයේ ය. එහි සභාපතිවරයා වූයේ ප්‍රසන්න සෝලංගආරච්චි මහතා ය. 2011 ඔක්තෝබර් අට වැනිදා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට සෝලංගආරච්චි මහතා යළිත් වරක් තරඟ වැදුණේය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සෝලංගආරච්චි මහතාගේ ජයග්‍රහණය උදෙසා වැඩ කළ අතර, ඔහුගේ මැතිවරණ ප්‍රචාරක රැළිවලටද සහභාගි වූයේය. එම ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයම නියෝජනය කරමින් සුමුදු රුක්ෂාන් මහතා ද තරඟ වැදුණු අතර, සුමුදු රුක්ෂාන් සහ සෝලංගආරච්චි සමඟ තියුණු සටනක් තිබිණි. දුමින්ද සිල්වා මහතා සහයෝගය ලබාදුන්නේ සුමුදු රුක්ෂාන් මහතාට ය. ප්‍රාදේශීය සභාවේ සභාපති වීම සඳහා ලැයිස්තුවේ වැඩිම මනාප ගණන ලබාගැනීමට දෙදෙනා අතර උණුසුම් සටනක් තිබිණි. එම සටන මේ දෙදෙනාගෙන් ඔබ්බට ගොස් දුමින්ද සිල්වාගේ සහ භාරත ලක්ෂ්මන්ගේ බලය උරගා බැලෙන සටනක් ද විය.

උදෑසන 6.30 සිට නීතිවිරෝධී වැඩ

අධිකරණයේදී දිගහැරුණු ආකාරයට සිදුවීම මෙසේය. පළාත් පාලන ඡන්ද විමසීම පැවැති 2011 ඔක්තෝබර් අට වැනිදා කොළොන්නාව එක්සත් ජනතා නිදහස් සන්ධාන සංවිධායක ආර්.දුමින්ද සිල්වා තමිල්නාඩුවත්ත ඡන්දපොළට යෑම සඳහා පෙරවරු 6.30ට නිවසින් පිටත්වී තිබේ. තමිල්නාඩුවත්ත ප්‍රදේශයට දුමින්ද සිල්වා පැමිණි පසු ඔහුගේ ඇමැති ආරක්ෂක අධීක්ෂණ නිලධාරියා වූ ප්‍රියන්ත දිසානායක තවත් නිලධාරීන් පිරිසක් සමඟ එම ස්ථානයට ගොස් ඇත. ඒ යන විට පාරට ආසන්නයේ පුටුවක වාඩිවී සිටි දුමින්ද සිල්වා ඡන්දය දැමීමට යන ඡන්දදායකයන්ගෙන් ඡන්දය දමන්නේ කාටදැයි විමසමින් සිටියේය. එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීමට පැමිණෙන අයට එසේ නොකරන ලෙස ඔහු පවසා ඇත. පෙරවරු 11.30ට පමණ දිවා ආහාරය සඳහා දුමින්ද සිල්වා ඇතුළු පිරිස රමේෂ් නම් පුද්ගලයකුගේ නිවසට පැමිණ එහිදී මත්පැන් පානය කර තිබේ. දහවල් 12ට පමණ චමින්ද රවී ජයනාත් ද තමිල්නාඩුවත්තට පැමිණ ඇති අතර, එතැන සිටි පිරිසෙන් කිහිපදෙනෙක් කණ්ඩායමක් ලෙස පස්වරු 2.45ට තමිල්නාඩුවත්තෙන් පිටත් වී තිබේ. ඔවුන් පිටත් වී තිබුණේ සුමුදු රුක්ෂාන් නම් අපේක්ෂකයාගේ නිවසට යෑමට ය.
සුමුදුගේ නිවසට යන අතරතුර කන්දේ විහාරය නම් ස්ථානයේදී වාහන පෙළ නතර කරන ලෙස දුමින්ද සිල්වා මහතා දැනුම් දී ඇත. දුමින්ද සිල්වා ගමන් ගත් ඩිෆෙන්ඩර් රිය මුලින්ද, ආරක්ෂක නිලධාරීන් (එම්එස්ඩී) සිටි වාහනය පිටුපසින්ද තිබී ඇති අතර, දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයක් රැගත් පෙජරෝව පිටුපසින්ම ය. කන්දේ විහාරය අසල වාහන පෙළ නතර කළ පසු දුමින්ද සිල්වාගේ නියෝග මත අනුර තුෂාර ද මෙල් විසින් චමින්ද රවී ජයනාත් වෙත ටී 56 ගිනිඅවියක් ලබා දී ඇත. එය නීතිවිරෝධී ගිනිඅවියකි. ගිනිඅවි හුවමාරුවෙන් පසු පිරිස පිටත්වී අඹතලේට යන ගමනේදී රාජසිංහ විද්‍යාලය අසල නතර කර ඇත. එතැනදී දුමින්ද සිල්වා විසින් සෝලංගආරච්චිට සහයෝගය දක්වන තරුණයකුට පහරදෙනු ලැබ තිබේ.
යළිත් වරක් පිටත්වූ පිරිස ඊළඟට වාහන පෙළ නතර කර ඇත්තේ රාහුල විද්‍යාලය අසල ය. ප්‍රසන්න සෝලංගආරච්චිගේ බිරිඳ ද ඡන්දය දැමීමට එම ස්ථානයට පැමිණ තිබුණු අතර, දුමින්ද සිල්වා මහතා එම කාන්තාවට බැණවැදී ඇත. ඇය ඡන්දය භාවිත කළේ කාටදැයි දුමින්ද සිල්වා විමසා ඇති අතර, තම සැමියා වන සෝලංගආරච්චිට ඡන්දය දුන් බව ඇය කියා තිබේ. දුමින්ද සිල්වා ඇය දෙසට එද්දී එතැන සිටි ‘පිංකි අක්කා’ නම් කාන්තාවක විසින් ඇය අනුර කඩය නම් කඩය ළඟට කැඳවාගෙන ගොස් තිබේ. දුමින්ද සිල්වා සමඟ සිටි පිරිස ඡන්ද මධ්‍යස්ථානය අසල සිට ඇත්තේ ටී 56 ගිනි අවි ප්‍රදර්ශනය කරමිනි. එම ස්ථානයේ මද වේලාවක් රැදී සිටි පිරිස පසුව හිඹුටාන හන්දිය දෙසට ගොස් ඇත.

පාර හරස් කර, දුමින්ද භාරතට පහර‌ දෙයි

දුමින්ද ඇතුළු පිරිස ඉදිරියට යද්දී හිඹුටාන හන්දිය අසලදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ වාහනය විරුද්ධ පැත්තෙන් පැමිණ තිබේ. ඒ සමඟම භාරතගේ වාහනයට ඉදිරියට යෑමට නොහැකි වන පරිදි දුමින්දගේ වාහනය පාර හරස් කරමින් නතර කර ඇත. දුමින්ද සිල්වා සහ භාරත ලක්ෂ්මන් අතර වාදයක් හට ගැනිණි. වචන හුවමාරුවට එහා ගොස් දුමින්ද සිල්වා විසින් භාරතට පහරක් එල්ල කර තිබේ.
දුමින්ද විසින් භාරතට පහර දෙනු ලැබීමත් සමඟම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂක නිලධාරියා වූ රාජපුරගේ ගාමිණී විසින් භාරත ලක්ෂ්මන් බේරාගැනීම සඳහා තම ගිනිඅවියෙන් දුමින්ද සිල්වා මහතා දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ සමඟම දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයෙකු වූ ප්‍රියන්ත ජනක බණ්ඩාර ගලබොඩ හෙවත් ගලබොඩ ප්‍රියන්ත විසින් පිස්තෝලයකින් භාරතගේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා ඇති අතර, ඉන් ඔහු බරපතළ තුවාල ලැබීය. අනතුරුව දුමින්ද සිල්වාගේ පිරිස අත තිබූ නීතිවිරෝධී ටී56 ගිනිඅවියකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රටත් එම ස්ථානයේ සිටි තවත් පිරිසකටත් වෙඩි තබා ඇත. එම වෙඩිතැබීමෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, දමිත දර්ශන ජයතිලක, මොහොමඩ් අෂීම් සහ මනිවේල් කුමාරස්වාමි යන පිරිස ජීවිතක්ෂයට පත්වූහ. මෙම වෙඩි තැබීමට භාවිත කළ නීතිවිරෝධී ගිනිඅවිය පසුව චමින්දගේ අනාවරණයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගැනිණි. එය එල්ටීටීඊය භාවිත කළ ගිනි අවියක් බව පසුව එම දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා තිබිණි.
මෙම සිදුවීමේදී ආර්.දුමින්ද සිල්වාට ද වෙඩි වැදී තිබුණු අතර, ඔහු ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට රැගෙන යනු ලැබීය.

ශානි අබේසේකර

මෙය දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් විය. ඒ නිසාම මෙහි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරිණි. එම දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයෙන් මෙම සිදුවීම පිළිබඳ විමර්ශනය කරන ලෙස එවකට දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා නියෝග කළේය. කෙසේ වෙතත් අදාළ දිනයේදී විශේෂ විමර්ශන ඒකකය අධීක්ෂණය කරන සහකාර පොලිස් අධිකාරීවරයා නොසිටියෙන් එය අධීක්ෂණය කිරීමට එවකට අධ්‍යක්ෂවරයා විසින් සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පත් කරනු ලැබීය. ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් මීට අදාළ විමර්ශන කටයුතු සිදු කළ අතර, විමර්ශන භාර පොලිස් ස්ථානාධිපතිවරයා වූයේ පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහේවා මහතා ය. විමර්ශනවලදී සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට පත් විය. කෙසේ වෙතත් සිද්ධියේ නිර්මාතෘ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගත්තේ නැත. ඊට හේතුව වූයේ ඔහු ඒ වන විට ලංකාවෙන් පිට සිංගප්පූරුවේ ප්‍රතිකාර ගැනීමයි. මෙම විමර්ශනයේදී දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම සහ ඔහුට එරෙහිව වරෙන්තු ලබා නොගැනීම ගැන අගතියට පත් පාර්ශ්වය නිරන්තරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දොස් නැගීය.

පක්ෂග්‍රාහී චෝදනා

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය චෝදනා කළේ සීඅයිඩීය දුමින්ද සිල්වා අත්අඩංගුවට නොගන්නේ පක්ෂග්‍රාහීව කටයුතු කරන නිසා බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ද ඒ දිනවල සීඅයිඩීයට එරෙහිව එවැනි ප්‍රකාශ කළේය. පසුව රංජන් රාමනායක මහතා කියා තිබුණේ තමන් එවැනි ප්‍රකාශයක් කළේ මෙම විමර්ශනය ශානි අබේසේකර විසින් දුමින්ද සිල්වාට පක්ෂග්‍රාහීව සිදුකරන බවට පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහේවා ප්‍රකාශ කළ නිසා බවයි. පොලිස් පරීක්ෂක මෙරිල්, භාරත ලක්ෂ්මන්ගේ පවුලේ සාමාජිකයන් මුණගැසී ශානි අබේසේකර දුමින්ද සිල්වාට පක්ෂග්‍රාහීව විමර්ශන කරන බවට ප්‍රකාශ කර තිබිණි.
මේ අතර දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමේ අවශ්‍යතාවක් මතුවූ අතර, එම අවස්ථාවේදී ඔහුගේ නීතිඥවරයා දැනුම්දුන්නේ ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක දුමින්ද සිල්වා පසුවන බවයි. දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සීඅයිඩීය නියෝජනය කරමින් සිංගප්පූරුවට ගියේ පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහේවා මහතා ය. ඔහු ලබාගත් ප්‍රකාශයෙන් කියැවුණේ අදාළ සිදුවීම ගැන දුමින්ද සිල්වාට මතකයක් නැති බවයි. ඒ සමඟ යළිත් වරක් සීඅයිඩීය පක්ෂග්‍රාහීව විමර්ශන සිදුකරන බවට භාරතගේ පාර්ශ්වය චෝදනා කළේය.
දුමින්ද සිල්වා අත්අඩංගුවට නොගැනීම සහ ඔහුට එරෙහිව වරෙන්තුවක් ලබා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා ශානි අබේසේකර කැඳවා ප්‍රශ්න කළේය. එම අවස්ථාවේ අබේසේකර මහතා කියා තිබුණේ දුමින්ද සිල්වා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ එන සංඥේය වරදක් කර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි. වරෙන්තුවක් නොමැතිව දුමින්ද සිල්වා අත්අඩංගුවට ගත හැකි බව අබේසේකර මහතා පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

අත්අඩංගුවට නොගත්තේ ඇයි?

සිංගප්පූරුවට ගොස් ඔහු අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි අධිකරණයේදී අගතියට පත් පාර්ශ්ව විසින් ප්‍රශ්න කළ අවස්ථාවක ශානි අබේසේකර කියා තිබුණේ ඔහු සිහියක් නැතිව සිටිනා බව කියන නිසා ඔහු අත්අඩංගුවට ගත නොහැකි බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සැකකරුවකු අත්අඩංගුවට ගත යුත්තේ චෝදනා කියාදීමෙන් අනතුරුව බවත්, නිසි සිහියක් නැති කෙනෙකුට චෝදනා කියාදිය නොහැකි බවත්, ඒ නිසා ඔහුට හරි සිහියක් එනතුරු අත්අඩංගුවට ගත නොහැකි බවත් ශානි අබේසේකර මහතා කියා සිටියේය. ‍කෙසේ වෙතත් සුවය ලැබූ දුමින්ද සිල්වා මහතා ලංකාවට පැමිණි පසු සීඅයිඩීය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු රිමාන්ඩ් බාරයේ සිටි කාලයේ දිගටම සිටියේ නවලෝක රෝහලේ ය. බන්ධනාගාරයේ සිටියේ නැත. නවලෝක රෝහලේ සිටියදී ඔහුට ඇප නියම වූ අතර, ඊට පසුදිනම ඔහු රෝහලේ සිට නිවස බලා ගියේය.
මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව විභාග වනවිට අධිකරණය ඉදිරියේ සීඅයිඩීය වෙනුවෙන් කරුණු දැක්විය යුතු පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහේවා මහතා නඩුවට නොයෑම සම්බන්ධයෙන් අධිකරණයේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. මෙම නඩුවට අගතිදායක වන අයුරින් කටයුතු කිරීම මත පසුව ඔහු අදාළ විමර්ශනයෙන් ඉවත් කරනු ලැබීය.

සැකකරුවන්ට නඩු පවරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලින් පසු විමර්ශන ගොනුව නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබීය. එම ලිපිගොනුව අධීක්ෂණය කළ නීතිපතිවරයා දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළේය. නීතිවිරෝධී ජනරාශියක සාමාජිකයන් වීම, මනුෂ්‍ය ඝාතනය ඇතුළු චෝදනා 17ක් විත්තිකරුවන්ට එරෙහිව එල්ල විය. මෙය විශේෂ අධිකරණ කටයුත්තක් බැවින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය, නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කළේය. එහි සභාපති විනිසුරු වූයේ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ය. අනෙක් විනිසුරුවරුන් දෙදෙනා වූයේ පද්මිණී එම්.රණවක සහ එම්.සී.බී.එස්.මොරායස් යන විනිසුරුවරුන් ය.

මහාධිකරණ විනිසුරු පද්මිණී එම්.රණවක

මහාධිකරණයේ නඩු විභාගය අතරතුරදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි ලබා දීම සඳහා සාක්කිකරුවෝ 118 දෙනෙක් නම් කරනු ලැබ සිටියහ. දීර්ඝ නඩු විභාගයකින් පසු මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා වන ශිරාන් ගුණරත්න මහතා එක් තීන්දුවකුත්, පද්මිණී එම්. රණවක මහත්මිය තවත් තීන්දුවකුත් ප්‍රකාශයට පත් කරනු ලැබූහ. ශිරාන් ගුණරත්න මහතා නියෝග කළේ මෙම නඩුවේ දුමින්ද සිල්වා ඇතුළු සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි. පද්මිණී එම්. රණවක මහත්මිය නියෝග කළේ විත්තිකරුවන් 13 දෙනාගෙන් අට දෙනකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර, දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස් දෙනකුට මරණීය දණ්ඩනය, ජීවිතාත්තය දක්වා සිරදඬුවම් ඇතුළු දඬුවම් නියම කිරීමටයි. විනිශ්චය මණ්ඩලයේ අනෙක් විනිසුරුවරයා වූ එම්.බී.එස්.මොරායස් මහතා ද පද්මිණී එම්.රණවක මහත්මියගේ තීන්දුවට ඒකඟ විය. ඒ අනුව විනිසුරුවරුන් තිදෙනාගෙන් බහුතර විනිසුරුවරුන්ගේ මතය අනුව දුමින්ද සිල්වා ඇතුළු පිරිසට දඬුවම් නියම විය.

මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට

එසේ දඬුවම් නියම කිරීමට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවෝ කිහිපදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළහ. එම අභියාචනය විභාගයට ගැනුණේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ ය. අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එච්.එන්.ජේ.පෙරේරා සහ විජිත් කුමාර මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් එම පංච පුද්ගල විනිසුරු මඬුල්ල සමන්විත විය.
මෙම නඩුවේදී මහාධිකරණ විනිසුරුවරිය සහ මොරායස් විනිසුරුවරයා දුන් තීන්දුව වැරදි බව දිගින් දිගටම විත්තිකරුවන්ගේ පාර්ශ්වයෙන් කීහ. ශානි අබේසේකරලා විමර්ශනය නිසි ආකාරයට සිදු කර නැති බව ද දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ගේ පාර්ශ්වයෙන් කියා සිටියහ. දීර්ඝ ලෙස ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුමඬුල්ල තීන්දු කළේ මහාධිකරණ විනිසුරු පද්මිණී එම්.රණවක සහ මොරායස් දුන් තීන්දු නීතියට අනුකූල බවයි.
1946 අංක 53 දරන පළාත් පාලන ආයතන මැතිවරණ පනතේ 81 ඒ, 82 සී (1) යන වගන්ති අනුව පළාත් පාලන මැතිවරණ දිනයකදී ඡන්දදායකයන්ට බලපෑම් කරමින් කටයුතු කළ නොහැකි බවත්, පිරිසක් එකතු වී ගිනිඅවි සමග ඡන්ද පොළවල් අසලට යා නොහැකි බවත්, එලෙස යෑම නීතිවිරෝධී බවත්, එලෙස කටයුතු කරන කණ්ඩායම නීතිවිරෝධී ජනරාශියක් බවත් අධිකරණ තීන්දුවේ සඳහන් වේ.

අපරාධයට ඇති වගකීම

නීතිවිරෝධී ජන රාශියක කිසියම් සාමාජිකයකු කරන වරදකට එම නීතිවිරෝධී ජනරාශියේ සියලුම සාමාජිකයන් වගකිවයුතු බවට දණ්ඩනීති සංග්‍රහයේ 146 වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් කර තිබෙන බව එම වගන්තිය උපුටා දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පැහැදිලි කර තිබේ.
දුමින්ද සිල්වාට මෙම අපරාධයට ඇති වගකීම සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙසේ ද සඳහන් තර තිබේ.
‘ඔහුගේ (දුමින්ද සිල්වාගේ) හිසට වෙඩි තැබූ මොහොත දක්වාම 11 වන චූදිතයා (දුමින්ද සිල්වා) නීතිවිරෝධී රැස්වීමට නායකත්වය දී ඇත. මෙයින්, පළමු වෙඩි තැබීම සහ ප්‍රතිප්‍රහාරය අතර කාලයේ මිලි තත්පර වෙනසක් පමණක් තිබිය හැකි බවට අදහස් කර ගත හැකිය.
පාර්ශ්වයන් සහ අපරාධ සිදුවීම අතර කාලය හා අවකාශය අතර සැලකිය යුතු වෙනසක් සිදුවී ඇත්නම් හෝ වෙඩි තැබීමේ ක්‍රියාව කර ඇත්තේ මූලික වශයෙන් වෙනස් පුද්ගලයෙක් වූවා නම්, 11 වන චූදිතයා (දුමින්ද සිල්වා) නීතිවිරෝධී එක්රැස්වීමෙන් ඉවත්ව ගොස් ඇති බවට සහ එම ක්‍රියාවන්ගෙන් වෙන්වී ඇති බවට තර්ක කළ හැක.
නමුත් මා කලින් සාකච්ඡා කර ඇති ආකාරයට, ගිනිඅවිවලින් මියයෑම ඔවුන්ගේ අපරාධ වැඩපිළිවෙළ අනුව පූර්ව අනුමාන කළ හැකි ප්‍රතිඵලයකි. තත්පර 60 ක් හෝ ඊට ආසන්න කාලයක් පමණක් ගත වූ මෙම සිද්ධිය ආරම්භ වන විටම 11 වන චූදිතයා (දුමින්ද සිල්වා) එම අයුතු ජනරාශියේ සාමාජිකයෙකු වූ බව සත්‍යයකි.
ඒ අතරම, ඊට පෙර ඕනෑම වේලාවක, 11 වන චූදිතයා (දුමින්ද සිල්වා) රැස්වීමෙන් වෙන්වීමේ අදහසින් ක්‍රියා කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත. 11 වන චූදිතයා (දුමින්ද සිල්වා) ආබාධ වනවාත් සමගම වාගේ මියගිය පුද්ගලයාට මාරාන්තික තුවාල සිදුවී ඇත.
ඔහු (දුමින්ද සිල්වා) නිතරම නීතිවිරෝධී එක්රැස්වීමේ ක්‍රියාකාරකම්වල නිරතවෙමින් ඒවාට සහාය ලබා දී තිබේ. එබැවින් නීතිවිරෝධී ලෙස එක්රැස්වීමේ පදනම මත අපරාධ චෝදනා පැවරිය හැකිය. එබැවින් ඔහු වරදකරු කිරීම සහ දඬුවම් නියම කිරීම නීතියට අනුකූල වේ.’

විමල් වීරවංශගේ තර්කය

දුමින්දගේ නඩුවේදී පක්ෂග්‍රාහීව කටයුතු කළැයි විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ පද්මිණී එම්.රණවක විනිසුරුවරිය ගැන ය. එහෙත් ඇය එම නඩුව විභාග කළ එක් විනිසුරුවරියක් පමණි. මහාධිකරණයේදී දුමින්ද සිල්වා වරදකරුවකු කරමින් ඇයට අමතරව විනිසුරු මොරායස් මහතාද නියෝග ලබා දී තිබේ. ඊට අමතරව මහාධිකරණ තීන්දුවට එරෙහිව දුමින්ද සිල්වා ඇතුළු පිරිස ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථාවේදී එය විභාග කළ විනිසුරුවරුන් පස්දෙනාම දුමින්දට එරෙහි නඩු තීන්දුව සහ දඬුවම ස්ථිර කර තිබේ. එනම් මහාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් අටදෙනකු දුමින්දගේ නඩුව විභාග කර ඇති අතර, එයින් එක් මහාධිකරණ විනිසුරුවරයකු හැරුණු විට සෙසු විනිසුරුවරුන් හත්දෙනාම දුමින්ද සිල්වා වැරදිකරු කරමින් ඔහුට දඬුවම් පැමිණවීමට නියෝග කර තිබේ. පක්ෂග්‍රාහීයැයි චෝදනා කෙරෙන විනිසුරු පද්මිණී එම්.රණවක මහත්මිය ද ඉවත් කළ විට විනිසුරුවරුන් හයදෙනකු දුමින්ද සිල්වා වැරදිකරු කර දඬුවම් නියම කරන ලෙස නියෝග කර තිබේ.

අධිකරණ තුනක නියෝග වැරදි ද ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කරන්නැයි ඒකමතිකව නිර්දේශ කර ඇත්තේ, විනිසුරුවරුන් අටදෙනකුගෙන්, හත්දෙනකුම දුන් තීන්දුවක් විසිකර දමා ය. මහේස්ත්‍රාත් අධිකරණයේදී දුමින්දට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට සාක්කි ඇති බව අනාවරණය විය. මහාධිකරණයේදී දුමින්ද වරදකරුවකු වී දඬුවම් නියම විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ දී එම දඬුවම යළිත් වරක් ස්ථිර විය.
Previous articleඅර්ථසාධක ගෙවීම් පැහැර හැරීමේ නඩු 16,000 ක් : පනත සංශෝධනයට පියවර !
Next articleක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදයේ කාදිනල් හිමිගේ භූමිකාව !

2 COMMENTS

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here