රට දිනන්න නම් මිත්‍යාවෙන් ඈත්වෙලා හතරවැනි කාර්මික විප්ලවයට යන්න ඕනෙ – ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් සියලුදෙනා වැඩිපුර ආදායම් ඉපයිය යුතු කාලයක් උදාවී ඇති බව ඇඩ්වොකේට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි, ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

2021 නව වසරේ ලංකාවට මුහුණ දීමට තිබෙන අභියෝග සම්බන්ධයෙන් Medialk.com සමග අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය. ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධනනාත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙසේ ද අවධාරණය කළේය.

‘අතට සල්ලි එන්න ඕනෙ’

‘ලංකාවට අවශ්‍ය ආර්ථික වර්ධන වේගය අපි ලබාගන්නෙ කොහොමද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ලංකාව ඉදිරියට අරගෙන යන්න නම් අපි සියලුදෙනාම වැඩිපුර ආදායම් ඉපයීම කළ යුතු වෙනවා. ඒකියන්නෙ ජනතාවගෙ අතට සල්ලි එන ක්‍රමයක් තිබිය යුතුයි. එහෙම සල්ලි එන්න නම් කාගෙ හරි වියදමක් තවත් කාගෙ හරි ආදායමක් බවට පත්වෙන්න ඕනෙ. මේ නිසා කවුරුන් හෝ වියදම් කළොත් තමයි තවත් කෙනෙකුට ආදායම් උපදවාගන්න පුළුවන් වෙන්නෙ.
ශ්‍රී ලංකාව කුඩා රටක් නිසා ලංකාව ඇතුළෙම මිනිස්සු වැඩිපුර වියදම් කරලා ලංකාව ඇතුළෙම වැඩිපුර ආදායම් ලබන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. අපේ වෙළෙඳපොළ කුඩා වෙ‌ළෙඳපොළක් නිසා ලෝකයේ අනෙක් මිනිස්සුන්ගෙ වියදම් අපේ ආදායම් බවට පත්කරගැනීම තමයි අපිට කරන්න සිදුවෙන්නෙ. ඒ නිසා තමයි අපනයන වැදගත් වෙන්නෙ. අපේ රටේ කුරුඳුවලට ලෝකයේ මිනිස්සු වැඩිපුර වියදම් කළොත් අපේ ආදායමක් බවට පත්කරගන්න පුළුවන්. ඇඟළුම්වලට මිනිස්සු වැඩිපුර වියදම් කළොත් එය අපිට ආදායමක් බවට පත්කරගන්න පුළුවන්.
ආදායම් වැඩිකරගැනීම සම්බන්ධයෙන් අපිට මූලික වශයෙන්ම තියෙන්නෙ ඒ අභියෝගයයි. ආදායම් වැඩිකරගන්න නම් අපේ ආර්ථිකය සීඝ්‍රයෙන් විශාල කරගන්න අවශ්‍යයි. දැනට ඇමරිකන් ඩොලර් බිලියන 82ක් වගේ තිබෙන එය අපි තවදුරටත් වර්ධනය කරගත යුතුයි. ඒ වගේම අපේ ඒක පුද්ගල ආදායම වැඩිවෙනවත් එක්ක තමයි අපේ රට සංවර්ධනයට යනවා කියලා අපි කියන්නෙ. මේ කියන සංවර්ධනය ඉලක්කයට අපි යනව නම් ආදායම් උපයාගන්න පුළුවන් ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් වෙනවා. ඒ ඉලක්කයට යෑමේදී අපිට විසඳගන්න ප්‍රශ්න කිහිපයකුත් තියෙනවා.

‘ඩොලර් හොයන්න ඕනෙ’

මූලිකව රටක් විදිහට අපේ තියෙන ණය සම්බන්ධ ප්‍රශ්නය එහිදී අපිට බලපානවා. අපි ආර්ථික වර්ධනයක් ලබාගත්තොත් ණය අර්බුදයටත් යම්තාක් දුරකට විසඳුමක් ලැබෙනවා. අවුරුද්දකට ණය ගෙවන්න ඩොලර් බිලියන 4.5ක් පමණ අවශ්‍ය වෙනවා. ඒ වගේ තවත් අවුරුදු පහක් විතර යනකම් එවැනි මුදලක් අපිට අවශ්‍ය වෙනවා. ඒ කියන්නෙ විශාල මුදලක්. 2018 වසරේ අපි හම්බන්තොට වරාය බදුදීලා අරගත්තෙ ඩොලර් බිලියන 1.2ක් වගේ මුදලක්. දළ වශයෙන් එම මුදල වගේ හතර ගුණයක් පමණ අවශ්‍ය වෙනවා අවුරුද්දකට ණය ගෙවන්න.  හම්බන්තොටින් ගත්තු මුදල වගේ 16 ගුණයක මුදලක් අවශ්‍ය වෙනවා ඉතිරි අවුරුදු හතරේ ණය විතරක් ගෙවන්න. ඒ කියන්නෙ විශාල මුදලක්. ඒ සඳහා අවශ්‍ය වන ඩොලර් උපයාගැනීමක් සිදු කළොත් යම් පමණක හෝ සහනයක් ලබාගන්න අපිට පුළුවන් වෙයි. ඒ සඳහා ක්‍රම කිහිපයයි තියෙන්නෙ. අපනයන ආදායම් ලෙස උපයාගැනීම එක ක්‍රමයක්, විදෙස් රටවල සිට ශ්‍රමිකයන් එවන විදේශ ප්‍රේෂණ තව ක්‍රමයක්, එහෙම නැත්නම් සෘජු විදේශ ආයෝජන හරහා එය ලබාගන්නත් පුළුවන්. ණය ගෙවීමේදී සිදුවන ප්‍රධාන ගැටළුව, අපි ණය ගෙවිය යුත්තේ අපේ මුදල්වලින් නෙවෙයි. අපි එය ගෙවිය යුත්තේ ඩොලර්වලින්. ඒ සඳහා අපි ඩොලර් උපයාගැනීම කළ යුතුයි.

‘කාර්යක්ෂමතාව වැඩි කරන්න ඕනෙ’

ඒ වගේම මම දකින තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි, අපේ කාර්යක්ෂමතාව. ලංකාවෙ මිනිස්සු විදිහට අපි කරන කිසි වැඩක් උපරිම කාර්යක්ෂම නැහැ. ඒ කියන්නෙ අපි විශාල සම්පත් ප්‍රමාණයක් වැයකරලා තමයි, පොඩි දෙයක් හරි කරන්නෙ. සෑම ක්ෂේත්‍රයකම කාර්යක්ෂමතාව වැඩි කරගැනීමයි අපි කළ යුතු වෙන්නෙ. කෘෂිකර්ම ක්ෂේත්‍රය වේවා, සේවා අංශය වේවා හැමදෙයක් සම්බන්ධයෙන්ම විශාල කාර්යක්ෂමතාවක් අවශ්‍යයි.
මේක සියලුදෙනාට තේරෙන්න මම උදාහරණයක් කියන්නම්. අපි බස් එකක් ගත්තොත් එය පදවන්න රියදුරු මහත්තයෙක් ඉන්නවා, ටිකට් දෙන්න වෙනම කොන්දොස්තර මහත්තයෙක් ඉන්නවා. වෙනත් රටවල්වල සාමාන්‍යයෙන් බස් එකට කොන්දොස්තර මහත්තයෙක් කියලා වෙනම කෙනෙක් නැහැ. රියදුරු මහත්තයම තමයි, මුදල් අයකිරීමත් කරන්නෙ. වෙන රටවල්වල එක පුද්ගලයෙකුගෙන් බස් රථයක් ධාවනය කරනවා. නමුත් ලංකාවෙ ඒ සඳහා පුද්ගලයො දෙන්නෙක් අවශ්‍ය වෙනවා. එහෙම බැලුවම අපි ශ්‍රමය නිකරුණේ නාස්ති කරලා තියෙනවා. ඒ කියන්නෙ අපි බොහොම අකාර්යක්ෂමයි. මෙතැනදි කවුරුහරි කියන්න පුළුවන්, දෙන්නෙකුට රස්සාව දීලා තියෙනවා නේද කියලා. මේ විදිහට දෙන්නෙකුට රස්සාව දෙනවට වඩා තවත් ඵලදායී දෙයක් කරන්න පුළුවන්. ඒ අවස්ථාව තමයි මේ හරහා අපි නැතිකරගෙන තියෙන්නෙ. අපේ කෘෂිකර්මය ගත්තත්, අපේ වගාවන් ගත්තත්, අපේ සේවාවන් ගත්තත් මේ හැමදෙයකම අකාර්යක්ෂමතාව තියෙනවා. අකාර්යක්ෂමතාව කියන්නෙ දූෂණය-වංචාව කියන දේවල්වලට විතරක්ම නෙමෙයි. ඒවත් අකාර්යක්ෂමතාවයේ කොටසක්. නමුත් මේ කියන විදිහට අකාර්යක්ෂමතාව නැතිකරගන්න අපිට පුළුවන් නම් ඉහළට යන්න අවස්ථාවක් උදාවෙනවා. දිගුකාලීනව අපේ ආර්ථික වර්ධන වේගය ළඟාකරගන්න නම් අපි අවධානය යොමු කළ යුතුම දෙයක් තමයි, අපේ කාර්යක්ෂමතාව කියන කාරණය. එහෙම නැතිවුණොත් අපිට ආර්ථික විප්ලවයක් කරන්න හැකිවෙන්නෙ නැහැ.

‘අපි තාමත් අතරමග’

තාක්ෂණය සම්බන්ධයෙන් අපි ඒ තරම් සුබවාදී තැනක නැහැ. මොකද අපි හැමෝම හිතනවා දැන් අපිට අන්තර්ජාලය තියෙනවා, ස්මාර්ට් දුරකතන භාවිතා කරනවා, ෆේස්බුක් පාවිච්චි කරනවා, මේ නිසා තාක්ෂණික වශයෙන් දියුණුයි කියලා. නමුත් ඩිජිටල් පුද්ගලයෙක් ලෝකය සමග සම්බන්ධ විය යුතුයි. ස්මාර්ට් දුරකතන භාවිතා කිරීමෙන් එහාට ඩිජිටල් ලෝකය සමග සම්බන්ධවීමක් තිබිය යුතුයි. උදාහරණයක් විදිහට කියනව නම් කෘෂිකර්මාන්තයෙදි කාලගුණික විපර්යාසවලින් ඇතිවෙන ප්‍රශ්න බලන්න. ඩිජිටල් තාක්ෂණයෙන් අපිට මේකට විසඳුමක් හොයාගන්න පුළුවන්. ඩිජිටල් උපාංග භාවිතා කරන එකයි, ආර්ථිකය ඩිජිටල් කරනවා කියන එකයි අතරෙ ලොකු පරතරයක් තියෙනවා.
ලෝකය දැන් ඉන්නෙ හතරවෙනි කාර්මික විප්ලවයෙ. නමුත් ලංකාව තවම ඉන්නෙ දෙවැනි කාර්මික විප්ලවය කාලෙ. පළමු කාර්මික විප්ලවය ඇති වුණේ හුමාලයෙන් මැෂින් ක්‍රියාත්මක කිරීම ආරම්භවීමත් එක්ක. දෙවැනි කාර්මික විප්ලවය ඇති වුණේ විදුලිය භාවිතා කරලා මැෂින් ක්‍රියාත්මක කරවීමත් එක්ක. තොරතුරු තාක්ෂණය හඳුන්වාදීමත් එක්ක තමයි තුන්වැනි කාර්මික විප්ලවය සිදුවුණේ. කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගැනීමේ ආරම්භය හතරවැනි කාර්මික විප්ලවය විදිහට හඳුන්වනවා. ලංකාව තවමත් ඉන්නෙ දෙවැනි කාර්මික විප්ලවය යුගයෙ. මේ නිසා ඉදිරියට යෑමට ඩිජිටල්කරණය භාවිතා කරනවා නම් ඒක ඉතා වැදගත්.

‘මිත්‍යාවෙන් සම්පත් නාස්ති වෙනවා’

අපි මිත්‍යාව පසුපස යද්දි අපේ සම්පත් නාස්ති වෙනවා. උදාහරණයක් විදිහට ගලකින් රැස් විහිදෙනවා කියලා ජනතාව අන්දවන බොරුවක් කිව්වා කියලා හිතන්න. ඒක බලන්න මිනිස්සු යනවා. ජනමාධ්‍ය ඒකට කාලය වෙන්කරනවා. විද්වතුන් ඒ ගැන කතා කරන්න කාලය වැයකරනවා. මේ හැමදේකින්ම වෙන්නෙ මිනිස්සුන්ට නිර්මාණාත්මකව හිතන්න තියෙන වෙලාව අපතේ යෑම. ඒ වෙනුවෙන් වියදම්වෙන මිනිස් ශ්‍රමය, කාලය, ඉන්ධන, ප්‍රචාරය කෙරෙන ගුවන් කාලය මේ හැමදෙයක්ම අපතේ යනවා. විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල්වල මේ විදිහෙ මිත්‍යාවන් වැඩි වශයෙන් තියෙනවා. මේ දේවල්වලට පැටළිලා, විශාල සම්පත් ප්‍රමාණයක් සහ කාලය නාස්ති කරගන්නවා. ඒක අවසාන වශයෙන් බලපෑම් කරන්නෙ රටේ දියුණුවටම තමයි. ඒක නිසා මේ ගැනත් අපි අවධානය යොමුකළ යුතු වෙනවා.

‘අවබෝධයෙන් වැඩ කරන්න’

මේ වසර පිළිබඳව යම් අවබෝධයක් ඇතිව වැඩකටයුතු සිදුකිරීම අපි හැමෝම කළ යුතුයි. දුක-සතුට වෙනස් විදිහට එන කාල තියෙනවා. මේ කාලය දුෂ්කර කාලයක්. ඒ දුෂ්කර කාලය හරි විදිහට ගතකළොත් අපිට සාර්ථක කාලයක් එනවා. හරියට මේ කාලය කළමනාකරණය කරගන්න නම්, අපි අනවශ්‍ය දේවල්වලින් ඉවත්වෙලා දැනුම මත ඉදිරියට යා යුතුයි. මිත්‍යාව වගේ සම්පත් නාස්ති කරන දේවල් අත්හැරලා, හතරවැනි කාර්මික විප්ලවයට ගියොත් අපිට දිනන්න පුළුවන්.
Previous articleක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදයේ කාදිනල් හිමිගේ භූමිකාව !
Next articleසේනා දළඹුවා : කෘමිනාශක පර්යේෂණය හමුදාවේ වැඩක්, විශේෂඥයන් සම්බන්ධ වුණේ නෑ – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here